පැතුම් නිස්සංකගෙන් තවත් වාර්තාවක්

කියවීමේ කාලය: මිනිත්තු 2

2026 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති තරගයේදී ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිස්සංක තවත් වාර්තාවක් බිඳ හෙළීමට සමත් විය.

ඒ, පන්දු වාර 20 ක්‍රිකට් තරගවලදී වැඩි ම ලකුණු රැස් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

කුසල් මෙන්ඩිස් අභිබවා යාම

අද දිනය වන තෙක් පන්දු වාර 20 ක්‍රිකට් තරගවලදී වැඩි ම ලකුණු රැස් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වූයේ, කුසල් මෙන්ඩිස් ය.

ඔහු පන්දු වාර 20 තරගවලදී ලකුණු 2593ක් රැස් කරමින් පෙරමුණ ගෙන සිටියේ ය.

එහෙත්, අද දිනයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 62ක් රැස් කිරීමත් සමග පැතුම් නිස්සංකගේ සමස්ත ලකුණු සංඛ්‍යාව 2636 දක්වා ඉහළ ගියේ ය.

ඒ අනුව, පන්දු වාර 20 වැඩි ලකුණු රැස් කළ පිතිකරුවා බවට පැතුම් නිස්සංක පත් විය.

අද තරගයේදී කුසල් මෙන්ඩිස් රැස් කළේ, ලකුණු 14ක් පමණි. ඒ අනුව, ඔහුගේ සමස්ත ලකුණු සංඛ්‍යාව 2607 දක්වා ඉහළ ගියේ ය.

පැතුම් නිස්සංක 2026 ලෝක කුසලාන තරගාවලියේදී දැක්වූ දක්ෂතා

පැතුම් නිස්සංක විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් රැස් කළ දෙවන ක්‍රීඩකයා බවට ද පත් විය.

ඒ, පසුගිය දා ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයේදී ය.

ඔහුට පෙර විස්සයි 20 ලෝක කුසලාන තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් රැස් කළ එක ම පිතිකරුවා වූයේ, මහේල ජයවර්ධන පමණි.

පැතුම් නිස්සංක ඔස්ට්‍රේලියාවට එරෙහිව පන්දු 52කදී නොදැවී ලකුණු 100ක් රැස් කිරීමට සමත් වූයේ, හයේ පහර 05ක් සහ හතරේ පහර 10ක් එල්ල කරමිනි.

ඒ අනුව, මෙවර පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශතකයක් රැස් කළ පළමු පිතිකරුවා බවට ද පැතුම් නිස්සංක පත්විය.