කුසල් සහ පැතුම් වාර්තා අලුත් කරති: ඔස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කඩුලු 08ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට සමත් විය.

මෙම ජයග්‍රහණයේ තවත් සුවිශේෂී කරුණක් වූයේ, වසර 17කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් ඔස්ට්‍රේලියානු කණ්ඩායමකට එරෙහිව T20 ලෝක කුසලාන තරාගවලියකදී ජයග්‍රහණයක් වාර්තා කිරීම ය.

අද තරගයේ විශේෂ අවස්ථා

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකර තිබිණි.

ඒ, ආරම්භක පිතිකරු කමිල් මිෂාර වෙනුවට කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම වෙත කැඳවා තිබීම ය.

ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරුවන්ගේ වේගවත් ආරම්භය

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසි මිචෙල් මාර්ෂ් සහ ට්‍රැවිස් හෙඩ් ශ්‍රී ලංකා පන්දු යවන්නට එරෙහිව අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළහ.

ඔවුන් දෙදෙනා එක්ව පළමු පන්දුවාර 06 තුළදී ලකුණු 70ක් රැස් කිරීමට සමත් විය.

ඔස්ට්‍රේලියානු ඉනිමේ 06 වන පන්දු වාරයේදී මිචෙල් මාර්ෂ්, මහීෂ් තීක්ෂණට එරෙහිව හතරේ පහර 05ක් පිට පිට එල්ල කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නට එරෙහිව දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් විය.

ට්‍රැවිස් හෙඩ් පන්දු 27කදී සිය අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, මිචෙල් මාර්ෂ් පන්දු 22කදී සිය අර්ධ ශතකයක් වාර්තා කළේ ය.

මේ අතර, ඔස්ට්‍රේලියා ඉනිමේ 03 වන පන්දු වාරය ක්‍රියාත්මක කරමින් සිටි මතීෂ පතිරණ පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අමතර පීඩනයක් එක්වී තිබිණි.

ඔස්ට්‍රේලියානු පිතිකරුවන් අසරණ කළ දඟ පන්දු යවන්නෝ

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස ට්‍රැවිස් හෙඩ් ලකුණු 56කට දවා ගැනීමට දුෂාන් හේමන්ත සමත් විය.

ඒ වන විට ඔස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු පුවරුව දිස්වූයේ පන්දු වාර 8.3කට ලකුණු 104ක් ලෙස ය.

9 වන පන්දු වාරයේදී දුනිත් වෙල්ලාලගේ යොමු කළ පන්දුවක් හමුවේ ලකුණු 03ක් රැස් කර සිටි කැමරන් ග්‍රීන් දැවී ගියේ ය.

ඔස්ට්‍රේලියානු ඉනිමේ 11 වන පන්දු වාරයේදී දුෂාන් හේමන්ත, ලකුණු 54ක් රැස් කර සිටි මිචෙල් මාර්ෂ් දවා ගැනීමෙන් පසුව නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයට පිවිසීමට අවස්ථාවක් සැලසිණි.

මාර්ෂ්ගේ කඩුල්ල දවා ගැනීමෙන් පසු දුෂාන් හේමන්ත විසින් යවනු ලැබූ අනෙක් පන්දුවෙන් ජෝෂ් ඉන්ග්ලිෂ් ස්ටම්ප් කිරීමකට ලක් කර ගැනීමට තිබූ අවස්ථාව කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අතින් ගිලිහි ගියේ ය.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු ඉනිමේ 14 වන පන්දුවාරයේදී ලකුණු 06ක් රැස් කර සිටි ටීම් ඩෙවීඩ්ගේ කඩුල්ල දවා ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත් විය.

ඔස්ට්‍ර්ලියානු ඉනිමේ 17 වන පන්දු වාරයේ දී ලකුණු 22ක් රැස් කරගෙන සිටි ග්ලෙන් මැක්ස්වෙල් දවා ගැනීමට දුෂාන් හේමන්ත සමත් විය.

ඉන් පසුව 18 වන පන්දු වාරයේදී දුෂ්මන්ත චමීර ලකුණු 27ක් රැස් කරගෙන සිටි ජොස් ඉන්ග්ලිෂ්ගේ කඩුල්ල දවා ගන්නා විට ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව දිස් වූයේ, ලකුණු 174කට කඩුලු 6ක් ලෙස ය.

ඔස්ට්‍රේලියානු ඉනිමේ 19 වන පන්දු වාරය ක්‍රියාත්මක කළ මහීෂ් තීක්ෂණ ලකුණු 3ක් රැස් කරගෙන සිටි කොපර් කොනලිගේ කඩුල්ල දාවා ගැනීමට සමත් විය.

ඔස්ට්‍ර්ලියානු ඉනිමේ අවසන් පන්දු වාරය ක්‍රියාත්මක කළ දුෂ්මන්ත චමීර, මාර්කස් ස්ටෝනිස්ගේ කඩුල්ල බිඳ හෙළී ය.

ඉන්පසුව ශ්‍රී ලංකා පන්දු රකින්නන් විසින් ඔස්ට්‍රේලියානු පිතිකරුවන් දෙදෙනෙක් දුවද්දී දවා ගැනීමට සමත් වීමත් සමග ඔවුන්ගේ ඉනිම ලකුණු 181කට සීමා විය.

පන්දු යැවීමේදී දුෂාන් හේමන්ත ලකුණු 33 කට කඩුලු 3ක්, දුෂ්මන්ත චමීර කඩුලු දෙකක් සහ මහිෂ් තීක්ෂණ, කමිඳු මෙන්ඩිස් මෙන් ම දුනිත් වෙල්ලාගේ එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු හඹා යාම

ලකුණු 182ක ඉලක්කයක් සමග පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා එක් ලකුණකට දැවී ගියේ මාර්කස් ස්ටොයිනිස්ගේ පන්දුවක් හමුවේ ය.

කුසල් ජනිත්ගේ කඩුල්ල දැවී යන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දිස් වූයේ, එක් කඩුල්ලකට ලකුණු 8ක් ලෙස ය.

ඔහුගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසුණු කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක සමග එක්වෙමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට සමත් විය.

පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක සබඳතාවක් ගොඩ නැගූහ.

කුසල් මෙන්ඩිස් අද තැබූ වාර්තා

කුසල් මෙන්ඩිස් මෙවර ලෝක කුසලාන තරගාවලියේ පිට පිට ම වාර්තා කළ 3 වන අර්ධ ශතකය මෙම තරගයේදී රැස් කළේ ය. විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියකදී අඛණ්ඩව අර්ධ ශතක 3ක් රැස් කළ දෙවන ශ්‍රී ලාංකික පිතිකරුවා බවට කුසල් මෙන්ඩිස් වාර්තා අතරට එක් විය.

මීට පෙර එම දක්ෂතාව දක්වා තිබුණේ, මහේල ජයවර්ධන පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ 12 වන පන්දු වාරයේදී පන්දු 38කට ලකුණු 51ක් රැස් කර සිටි කුසල් මෙන්ඩිස් මාර්කස් ස්ටොයිනිස්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව කඩුලු 2කට ලකුණු 105ක් ලෙස දිස්විය.

මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ වැඩි ම ලකුණුලාභීන් අතර පෙරමුණ ගැනීමට ද කුසල් මෙන්ඩිස් සමත් වූයේ, ඔහු මේ දක්වා ක්‍රීඩා කළ ඉනිම 3 දී ලකුණු 168ක් ලබා ගනිමිනි.

පැතුම්ගේ සුපිරි ඉනිම

ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය පැතුම් නිස්සංක අද තරගයේදී විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් රැස් කළ දෙවන ක්‍රීඩකයා බවට පත් විය.

ඔහුට පෙර විස්සයි 20 ලෝක කුසලාන තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් රැස් කළ එක ම පිතිකරුවා වූයේ, මහේල ජයවර්ධන පමණි.

පැතුම් නිස්සංක පන්දු 52කදී නොදැවී ලකුණු 100ක් රැස් කිරීමට සමත් වූයේ, හයේ පහර 05ක් සහ හතරේ පහර 10ක් එල්ල කරමිනි.

ඒ අනුව, මෙවර පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශතකයක් රැස් කළ පළමු පිතිකරුවා බවට පැතුම් නිස්සංක පත්විය.

පවන් රත්නායක පන්දු 15 කදී නොදැවී ලකුණු 28ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රි ලංකා ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් පැතුම් නිස්සංක සහ පවන් රත්නායක ලකුණු 79ක සබඳතාවක් ගොඩ නගමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වූයේ තවත් පන්දු වාර දෙකක් ඉතිරිව තිබියදී ය.