අලුතින් එන කුලී නිවාස නීතිය ගැන ඔබ දැනගත යුතු කරුණු 5ක්

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 6

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත නමින් කෙටුම්පතක් මේ වන විට සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මෙය බදු කුලී පදනම මත පරිශ්‍රයක පදිංචිව සිටින තැනැත්තන් නෙරපීම වළක්වා ගැනීම සහ ඊට සම්බන්ධ හෝ ඊට අනුශාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වන නීතියකි.

මෙම පනතේ විධිවිධාන, යම් පරිශ්‍රයක නීත්‍යනුකූලව පදිංචි වී සිටින්නන්ට සහ පනතේ 3, 4, හෝ 5 යන වගන්තිවලින් නිශ්චිතව දක්වා ඇති සිද්ධි සිදුවීමට මාස තුනකට වැඩි කාලසීමාවක් ඒ පරිශ්‍රයේ නිරවුල්ව සහ අඛණ්ඩව පදිංචි වී සිටින්නන්ට අදාළ වේ.

මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ එම නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු කරුණු 5කි.

01. බදු කුලී ගිවිසුම අවසන් වීමට කලින් ඔබට යන්න කියන්න පුළුවන් ද?

ඔබ නිවසක බදු කුලී ගිවිසුමක් අත්සන් කර ඇති මොහොතක ඔබට එම පරිශ්‍රයෙන් ඉවත්ව යන ලෙස පැවසීමට ගෙහිමියාට හැකියාවක් මෙම පනත් කෙටුම්පත අනුව නොමැත.

ඔබ අදාළ කුලී නිවසේ, කාමරයේ හෝ ගොඩනැගිල්ලේ නිරවුල්ව සහ අඛණ්ඩව මාස තුනකට වැඩි කාලයක් පදිංචිව සිටියේ නම් අධිකරණ ආඥාවක් මත මිස ඔබව එම ස්ථානයෙන් නෙරපීමේ හැකියාව නිවාස හිමි ගෙහිමියාට නැත.

පස් වන වගන්තිය, අනුව එම පරිශ්‍රයේ ගෙහිමියා හෝ තැනැත්තෙකු ඔබව එම ස්ථානයෙන් නෙරපා දැමීමේ හැකියාවක් නොමැත.

බදු ගිවිසුමක් හෝ කුලී නිවැසි ගිවිසුමක් තිබියදී යම් අයෙකුට කුලියට ලබාදී ඇති නිවාස නැවත ලබා ගැනීමට අවශ්‍ය නම් 2023 අංක 01 දරන බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ අධිකරණයට යාමට හැකි ය.

02. නඩත්තු කටයුතු ප්‍රතික්ෂේප කළ හැකි ද?

ඔබ බදු පදනම මත හෝ කුලී පදනම මත රැඳී සිටින පරිශ්‍රයක ගිවිසුමක් යටතේ සිටියදී පරිශ්‍රයක ගෙහිමියා විසින් හෝ ගෙහිමියා විසින් බලය පවරන වෙනත් තැනැත්තෙකු හරහා පදිංචි වී සිටින පුද්ගලයාට එතෙක් සපයන ලද පහසුකමක් හෝ අත්‍යවශ්‍ය සැපයුමක් හෝ උපයෝගිතා සේවාවක් නැවැත්වීමට නොහැක.

එමෙන් ම තුන් වන වගන්තිය අනුව, ඒවා අලුත්වැඩියා කිරීම හෝ නිසි තත්ත්වයෙන් පවත්වාගෙන යාම ප්‍රතික්ෂේප කිරීම, පැහැර හැරීම හෝ අලුත්වැඩියා කිරීමට සහ නිසි තත්ත්වයෙන් පවත්වාගෙන යාමට අවසර නොදීමේ හැකියාව ගෙහිමියාට නොමැත.

අත්‍යවශ්‍ය සැපයුම් සහ උපයෝගීතා සේවා යන්නෙන් පනත් කෙටුම්පතේ අදහස් වන්නේ ජලය, විදුලිය, මලාපවහන සේවා, පිසීමේ ගෑස් සහ ප්‍රවේශ මාර්ගවල හා තරප්පුවල විදුලි පහන් ඇතුළු විදුලි පහන්, සෝපාන, කසළ ශෝධන සහ සනීපාරක්ෂක සේවා ඇතුළත් ය.

ඔබ කුලියට සිටින නිවසේ විදුලි බල්බ ක්‍රියාවිරහිත වූ විට හෝ ජල නළ වැනි ඒවාවල ගැටලු ඇති වූ විට ඒවා ගෙහිමියා ඔබට පිළිසකර කර දීම සිදු කළ යුතු ය.

ඔබ ඒවා නැවත පිළිසකර කර ගැනීමට අවසර ඉල්ලන්නේ නම් ඔවුන් අවසර ලබා දිය යුතු වේ.

එමෙන් ම ඔබව නෙරපීමේ අරමුණින් වතුර කපා හැරීම වැනි පහසුමක් කපා හැරීම මෙම නව නීතියෙන් තහනම් ය.

03. ඉවත් වන ලෙස තර්ජනය කිරීමත් තහනම්

එසේ ම, මෙම යෝජිත පනත් කෙටුම්පතේ හතර වන වගන්තියට අනුව බදු හෝ කුලී නිවාස ගිවිසුමක් අවසන් වීමට ප්‍රථම හා ඔබ මාස තුනකට වඩා වැඩි කාලයක් එම ස්ථානයේ පදිංචිව සිටින තත්ත්වයක් යටතේ ගෙහිමියා හෝ ගෙහිමියා විසින් යොදවන පුද්ගලයෙකුට ඔබට එම ස්ථානයෙන් පිටත්ව යන ලෙස තර්ජනය කිරීමට හැකියාවක් නොමැත.

කෙලින් ම හෝ වක්‍රාකාරයෙන් ඔබ එම ස්ථානය හැර යාමට පෙළඹෙන සේ ඔබ ජීවත් වන පරිශ්‍රයට යම් කිසි හානියක් සිදු කිරීම, අලාභ කිරීම, කඩා බිඳ දැමීම මෙයින් තහනම් ය.

04. මෙවැනි අසාධාරණයක් සිදුවහොත් ඔබ කළ යුත්තේ කුමක් ද?

ඔබට මෙම පනත් කෙටුම්පතේ තුන් වන, හතර වන සහ පස් වන වගන්තිවල ඇති ආකාරයේ සිදුවීමකට මුහුණ දීමට සිදු වුවහොත් මෙම පියවර අනුගමනය කළ හැකි ය.

මෙවැනි ආකාරයේ සිදුවීමක් සිදුවී මාසයකට නොඅඩු කාලයකදී නඩුව පදනම් වන හේතු සඳහන් කෙරෙන දිවුරුම් පෙත්සමක් සහ වෙනත් යම් අදාළ කරුණු මගින් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ආඥාවක් ඉල්ලා සිටිය හැකි ය.

පනත් කෙටුම්පතේ හය වන වගන්තියට අනුව, බලයලත් අධිකරණයක නඩු පවරමින් පහත දැක්වෙන සහන එකක් හෝ වැඩි ගණනක් ලබා ගැනීම සඳහා ආඥාවක් ඉල්ලා සිටිය හැකි ය.

  • සේවාවන්, පහසුකම්, අත්‍යවශ්‍ය සැපයුම් සහ උපයෝගීතා සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අවසර දීම
  • පදිංචිකරුට සාහසිකකමක්, බලහත්කාරයක් පෑම, අනතුරක්, තර්ජනයක් පාඩුවක් කිරීම හෝ එලෙස කරන බවට තර්ජනය කිරීම වැළක්වීම
  • පරිශ්‍රයට අලාභහානි කිරීම කඩා බිඳ දැමීම වැනි යමක් කිරීමෙන් වැළක්වීම
  • පෙත්සම්කරු එම පරිශ්‍රයේ හිස් වූ සහ නිරවුල් සන්තකයේ පිහිටුවීම
  • අධිකරණය විසින් නිශ්චය කරනු ලබන වෙනත් සහනයක්

ඒ අනුව අධිකරණය පෙත්සම්කරුට ඉහත සහන ලැබීමට සුදුසු බව සිතන්නේ නම් ඒ සඳහා නයිසයි ආඥාවක් නිකුත් කරනු ඇත. (අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර ලබා දෙන ආඥාවක්)

05. දිගින් දිගට ම ගෙහිමියා බාධා කරන්නේ නම් කළ යුත්තේ කුමක් ද?

පනත් කෙටුම්පතේ දස වන වගන්තියට අනුව, අදාළ පරිශ්‍රයේ නැවත පෙත්සම්කරු පිහිටුවීමට අධිකරණය අඥා කරන අවස්ථාවක, අඥාවේ සඳහන් ස්ථානයේ පදිංචි සියලු තැනැත්තන් ඉවත් කර පෙත්සම්කරු එම ස්ථානයේ පිහිටුවීමට අධිකරණය විසින් පිස්කල් නිලධාරියාට නියෝග කරනු ලබයි.

එලෙස නැවත පෙත්සම්කරු එම ස්ථානයේ පිහිටුවීමේදී වගඋත්තරකරු වන ගෙහිමියා හෝ වෙනත් අයෙකු පිස්කල් නිලධාරියාට විරෝධය පාන්නේ නම් හෝ බාධා කරන්නේ නම්, එයින් දින 14ක් ඇතුළත ඒ පිළිබඳව අධිකරණයට වාර්තා කළ යුතු ය.

ඒ සඳහා ආකෘතියක් ද පනත් කෙටුම්පත අවසානයේ දක්වා තිබේ.

එලෙස පෙත්සම්කරු නැවත පදිංචි කිරීමෙන් අවුරුද්දක් සහ එක් දිනක් ගත වීමට පෙර මුලදී සඳහන් කළ බාධා කිරීම් සිදු කළහොත් එතැන් සිට මාසයක් තුළ නැවත අධිකරණයට පෙත්සමක් මාර්ගයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබේ.

එලෙස ඉදිරිපත් කරන පෙත්සමකදී වගඋත්තරකරු වන ගෙහිමියා හෝ වෙනත් තැනැත්තෙකු විරෝධය පෑම, බාධා කිරීම, අවහිර කිරීම හෝ පිටමං කිරීම යන ඒවා සිදු කර තිබෙන්නේ නම්, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රු. ලක්ෂ පහකට නොවැඩි දඩයක් හෝ අවුරුද්දකට නොවැඩි කාලයක් බන්ධනාගාරගත කිරීම හෝ එම දඬුවම් දෙක ම ලබා දීමට හැකි ය.

කෙසේ වුවත්, ගෙහිමියාට අසාධාරණයක් සිදුවන බව හැඟෙන අවස්ථාවක 2023 අංක 01 දරන බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතියි.

ඔබ ගෙහිමියා වුවත්, අදාළ ස්ථානයේ කුලී හෝ බදු පදනම මත පදිංචි වන්නා වුවත් ඔබට මේ නීතිවලින් ආරක්ෂා වීමට නම් බදු ගිවිසුමක් හෝ කුලී නිවාස ගිවිසුමක් තිබීම වැදගත් ය.

අධිකරණ ඇමතිගේ පැහැදිලි කිරීම

ගෙවල් කුලී පනත ඉවත් කිරිම සඳහා වූ පනත් කෙටුම්පත හා පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් අද (ජූනි: 03) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරන ලදී.

"මෙම පනත් කෙටුම්පත් මගින් ගෙවල් කුලියට ලබා දෙන පුද්ගලයින්ට හෝ කර්මාන්තයක් ලෙස ගෙවල් කුලියට ලබා දෙන අයට හානියක් වන්නේ නැහැ. පනත් කෙටුම්පත් දෙක විශේෂඥ කමිටුවක් විසින් සකස් කර විධිමත් කාර්ය පටිපාටිය අනුගමනය කිරීමෙන් අනතුරුව 2025.09.18 වන දින ගැසට් පත්‍රයේ පළ කිරීමට හා ඉන්පසු එම පනත් කෙටුම්පත් දෙක 2025.11.04 දින සිට 2026.01.15 දින දක්වා කාලය තුළ මහජන අදහස්, විමසීම සඳහා අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ හා සිංහල දෙමළ හා ඉංග්‍රිසී පුවත්පත්වල භාෂා ත්‍රයෙන් ම පළ කිරීමට කටයුතු කළා. අදාළ කාලය තුළ ලැබුණේ යෝජනා 2ක් පමණ යි. මෙය හොර රහසේ ගෙන එන ලද පනතක් නොවෙයි. අපි මේ රටේ ජනතාවට හොඳ ම පනත ගේනවා. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු දෙනාගෙන් සාධනීය යෝජනා ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. 2026.01.29 දින එවන ලද ලිපියක් මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ සම්බන්ධව කරුණු දැක්වීම සඳහා අවශ්‍ය බවට අමාත්‍යාංශය දැනුවත් කරනු ලැබුවා. ඉල්ලීම් සියල්ල සලකා බැලීමෙන් අනතුරුව, මෙම පනත් කෙටුම්පත් පිළිබඳව තවදුරටත් මහජන අදහස් විමසීම සඳහා කාලය 2026.02.03 සිට මාසයක කාලයක් සඳහා දීර්ඝ කිරීමට තීරණය කරනු ලැබුවා. එම අදහස් ලිඛිතව ලැබීමෙන් පසු එකී නිර්දේශ, අදහස්, යෝජනා සලකා බැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති)ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් කටයුතු කරනු ලබනවා. අදහස් දැක්වීමට අපේක්ෂිත පාර්ශව සිය අදහස් ලිඛිතව අමාත්‍යාංශය වෙත කඩිනමින් යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා."

මේ රටේ ජනතාවට හොඳ ම නීතිය ගෙන ඒම අරමුණ බව ද අමාත්‍යතුමා එහිදී සඳහන් කළේය.