අණ නොතකා රිය ධාවනය කරන්නන්ට වෙඩි තැබීමට පොලිසියට හැකි ද?

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 6

යාපනය, කයිට්ස්, අල්ලේපිඩ්ඩි මංසන්ධිය ආසන්නයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ සැක කටයුතු වෑන් රථයක් නැවැත්වීමට සිදුකළ වෙඩි තැබීමකදී අද(පෙබරවාරි 10) අලුයම තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීමෙන් වෑන් රථය පැදවූ 17 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා ඇති අතර ඔහු යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය.

වෑන් රථයේ ගමන්ගත් තවත් තරුණයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය කයිට්ස් පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර තංගල්ල සිට බේරුවල දක්වා ගවයින් ප්‍රවාහනය කරමින් සිටි ලොරියකට ද පොලිසිය අද (පෙබරවාරි 10 වැනිදා) අළුයම වෙඩි තබා තිබුණේ එය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් ය.

මෑතකදී පොළොන්නරුව ප්‍රදේශයේදී ද ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකු ද පොලිසිය වෙඩි තැබූ අතර එම පුද්ගලයා ද මිය ගියේ ය.

'අවම බලය කියලා නෑ පොලිසිය බලය පාවිච්චි කිරීම සඳහා නීතියේ ප්‍රතිපාදන තියෙනවා'

මෙම වෙඩි තැබීම් දෙක ම සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර්ගෙන් විමසීමක් සිදු කරන ලදී.

"පොලිස් අණ නොතකා යන්න ඉඩක් නෑ, එහිදී පොලිසිය විසින් අහසට වෙඩි තැබුවා. ඉන්පසුත් නතර කරන්නේ නැති නම් මොකක් හරි බරපතල අපරාධයක් වෙයි කියලා අපි හිතනවා. ඒ නිසා පොලිසිය බලය පාවිච්චි කරනවා. අණ නොතකා යන්න බෑ. පොලිස් නිලධාරියෙක් වාහනය නතර කරන්න කියනවා නම් වාහනය නතර කළ යුතුමයි," ඔහු පැවසුවේ ය.

"ඒගොල්ලෝ සමාජ විරෝධී, නීති විරෝධී, අනීතික කටයුත්තක යෙදෙනවා. අවම බලය කියලා නෑ පොලිසිය බලය පාවිච්චි කිරීම සඳහා නීතියේ ප්‍රතිපාදන තියෙනවා. ඒ අනුව බලය පාවිච්චි කරලා තියෙනවා, පුද්ගලික ආරක්ෂාවේ අයිතිය තියෙනවා, යම්කිසි අපරාධයකට අවශ්‍ය කරන, අපරාධ කරලා යන, අපරාධයක් කරන්න යන අයෙකු කියන සැකය නිසා තමයි මේගොල්ලො නතර කරන්නේ. එහෙම නැතිනම් ඒගොල්ලෝ පැන යන්න හේතුවක් නෑ."

වෙඩි තැබීම සිදු කළ නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වන්නේදැයි එහිදී බීබීසී සිංහල විමසා සිටියේ ය.

"කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය නෑ, ඔවුන් නීතියට අනුව කටයුතු කරලා තියෙනවා," පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

'අවසර තිබෙන්නේ සීමිත අවස්ථාවන් සඳහා පමණයි'

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය, නීතිඥ කුසල් කාවින්ද අමරසිංහගෙන් බීබීසී සිංහල කළ විමසීමකදී ඔහු පෙන්වා දුන්නේ පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීම සඳහා අවසර තිබෙන්නේ සීමිත අවස්ථාවන්වලදී පමණක් බව ය.

"පොලිස් නිලධාරියකු යනු නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා නෛතික වගකීමක් සහ බලධාරිත්වයක් සහිත නිලධාරියෙක්. එහෙත් ඔවුන් සිය නෛතික වගකීම හා බලතල භුක්තිවිඳිය යුතු වන්නේ නීතියෙන් නියම කරන ලද නෛතික රාමුවකට අදාළවයි," ඔහු සඳහන් කරයි.

"මෙම නෛතික රාමුව මූලික වශයෙන් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය, 1979 අංක 15 දරන අපරාධ නඩුවිධාන සංග්‍රහ පනතේ විධිවිධාන සහ 1865 අංක 16 දරන පොලිස් ආඥා පනතේ විධිවිධාන මගින් රාමුගත කර තිබෙනවා."

"වෙඩිතැබීම සඳහා පොලිස් නිධාරියකුට අවසර ඇත්තේ, නීතිය හා සාමය ආරක්ෂා කරනු ලබන අවස්ථාවකදී කැරළි මර්දනයට හෝ තමාගේ හෝ අන් අයගේ ආත්මාරක්ෂාව පතා අවශ්‍යතාවයේ සීමාවට යටත්ව; හෝ අත්අඩංගුවට ගැනීම සඳහා බලය භාවිතා කරන අවස්ථාවකදී අවශ්‍යතාවයේ සීමාවට යටත්ව; වැනි සීමිත අවස්ථාවන් වලදී පමණයි," ඔහු පෙන්වා දෙයි.

වෙඩි තැබීමේ නියෝග නිකුත් කළ හැක්කේ කෙසේ ද?

පොලිසියට වෙඩි තැබීම සඳහා බලය හිමිවන නීතිමය පසුබිම ද කථිකාචාර්ය කුසල් විස්තර කළේ ය.

"1865 අංක 16 දරන පොලිස් ආඥා පනතේ 55 වන වගන්තියේ ප්‍රතිපාදන අනුව පොලිස්පතිවරයා විසින් 1986 දී පොලිස් නිලධාරීන් වෙත නිකුත් කරන ලද පොලිස් අත්පොතෙහි 4.10 වගන්තිය යටතේ දක්වා ඇති නියෝගය සඳහන් වෙනවා," ඔහු පැවසුවේ ය

"පොලිස් නිලධාරින්ට තුවක්කු පාවිච්චි කිරීමට සිදුවන අවස්ථාවලදී ඔවුන් මතක තබා ගත යුත්තේ අවම බලය පාවිච්චි කිරීමේදි අනුගමනය කළ යුතු වන සමානුපාතිකත්වයේ මූලධර්මයයි. එනම් බලය අවශ්‍ය ප්‍රමාණයට පාවිච්චි කිරීම. තුවක්කු භාවිතා කළ යුතු වන්නේ විශේෂිත අවස්ථාවලදී වන අතර, ඒවා පාවිච්චි කළ යුතු වන්නේ ආත්මාරක්ෂාවට හෝ බරපතල තුවාල හෝ මරණීය තුවාල සිදුවීමට ඉඩ ඇති අවස්ථාවන්වලදී හෝ ඊට අත්‍යාසන්න අවස්ථාවන්වලදී ය."

මෙම නියෝගය තවදුරටත් එහි විස්තර කර ඇති බව ඔහු සඳහන් කරයි.

අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩිතබා අත්අඩංගුවට ගත හැකි ද?

"1979 අංක 15 දරන අපරාධ නඩුවිධාන සංග්‍රහ පනතේ 23 වගන්තිය අනුව තැනැත්තන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ විධිවිධාන දක්වනවා," කථිකාචාර්යවරයා විස්තර කරයි.

"23(2) වගන්තිය අනුව 'අත්අඩංගුවට ගැනීමට ප්‍රතිරෝධය දක්වන අවස්ථාවකදී, සාධාරණ ලෙස අවශ්‍ය උපක්‍රම යොදා අත්අඩංගුවට ගතහැකි බව' දක්වයි. ඒ අනුව, යම් අවස්ථාවකදී අත්අඩංගුවට ගැනීමේදී අවශ්‍යතාවය හා සමානුපාතිකත්වය මත වෙඩි තැබීමක් සිදුකිරීමට අවශ්‍ය නම් ඊට නීතිමය බාධාවක් නෑ," ඔහු පැවසුවේ ය.

"එහෙත්, 23(3) වගන්තිය අනුව 'මරණීය දඬුවමෙන් දඬුවම් කළ හැකි වරදකට අදාළව සැකකරුවකු අත්අඩංගුවට ගැනීමකදී එම තැනැත්තා මරණයට පත්කිරීමට නීතිමය අවසරයක් හිමිවන්නේ නැත.' මෙම කාරණය තුළින් පැහැදිලි වන්නේ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී එය ජීවිත හානි නොවන ආකාරයෙන් සිදුකළ යුතු බව," ඔහු සඳහන් කරයි.

"කෙසේ නමුත්, අත්අඩංගුවට ගැනීමේදී සිදුකරන වෙඩිතැබීමකදී සැකකරුවකු මරණයට පත්වුවහොත් එවැනි අවස්ථාවකදී දණ්ඩනීති සංග්‍රහයේ 69 වන වගන්තිය අනුව ව්‍යාතිරේඛී රැකවරණයක් එම නිලධාරියාට පවතී. එම ව්‍යාතිරේඛී රැකවරණය ඇත්තේ නීතිමය වගකීමක් සද්භාවී ලෙස ක්‍රියාත්මක කිරීමකදී සිදුවන සිද්ධිමය වැරදීමක් හා සම්බන්ධවයි."

"එහෙත් කිසිඳු විටක අසද්භාවීව හෝ අවශ්‍යතාවයේ හා සමානුපාතිකත්වයේ සීමා ඉක්මවා අයෙකුට වෙඩි තැබීමක් සිදුකර මරණයක් සිදුවී නම් මෙම ව්‍යතිරේඛයේ සහය එම නිලධාරියා වෙත හිමි වන්නේ නෑ."

නීතිය ඉක්මවා බලය භාවිතා කිරීමකදී සිදුවන හානියකට ගතහැකි පියවර

පොලිස් නිලධාරියෙකු බලය ඉක්මවා කටයුතු කළ අවස්ථාවකදී මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමේ හැකියාවක් පවතින බවට කථිකාචාර්ය කුසල් පෙන්වා දෙයි.

"යම් නිලධාරියකු නීතිය ඉක්මවා යමින් බලය භාවිතා කිරීමකදී සිදුවූ ජීවිත හානියක් සම්බන්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමේ හැකියාව වින්දිත පාර්ශවයන් සතුව පවතිනවා. මන්දයත් එය විධායක ක්‍රියාවකින් සිදුවන මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් බැවින්."

ඒ සඳහා ඔහු නිදසුන් වශයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් සඳහන් කළේ ය.

"තරංගා ලක්මාලි එදිරිව. නිරෝෂන් අබේකෝන් (SC/ FR Application 577/2010) වැනි නඩු තීරණ තුළින් පැහැදිලි වන්නේ තම භාරයේ සිටියදී සැකකරුවෙකුගේ ජීවිතය අහිමි කිරීමට කිසිඳු අවස්ථාවකදී පොලිස් නිලධාරින්ට අවසරයක් නොමැති බවයි. මෙම තත්ත්වය අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකරුවකු වෙතට ද එලෙසින් ම අදාළ වෙනවා," ඔහු පෙන්වා දෙයි.

"එමෙන් ම චේතනාන්විතව මනුෂ්‍ය ඝාතනයක් සිදුකරන්නේ නම් එවැනි අවස්ථාවකදී අපරාධ නඩුවක් ගොනු කිරීමට එම අපරාධය සිදු කළ තැනැත්තා රාජ්‍ය නිලධාරියකු ලෙස කටයුතු කිරීම බාධාවක් නොවෙයි."

මෙවැනි සිදුවීම් වළක්වා ගත හැක්කේ කෙසේ ද?

කථිකාචාර්යවරයා පෙන්වා දෙන්නේ මෙවැනි සිදුවීම් වලක්වා ගැනීමට අවශ්‍ය පියවරයන් ගත යුතු බවයි.

"අත්අඩංගුවට ගැනීම් වලදී හා අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයාම (custodial deaths) ශ්‍රී ලංකාවට අලුත් අත්දැකීමක් නොවෙයි. මෙවැනි සිදුවීම් වැළැක්වීමට නම් නිලධාරින්ට ගිනිඅවි භාවිතය සම්බන්ධයෙන් පමණක් නොව නීතිය ක්‍රියාත්මක කිරීමේ සීමා පිළිබඳව ද මනා පුහුණුවක් ලබාදිය යුතුයි. එමෙන් ම, 'නිල ඇඳුමට සවි කළ කැමරා' (body cam) වැනි උපකරණ හඳුන්වාදීම තුළ, නිලධාරීන්ට පහසුවෙන් රාජකාරි කිරීමටත් සැකකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් මහත් පිහිටුවහලක් වෙන්න පුළුවන්, ඔහු පැවසුවේ ය.

'නීතියක් තියෙන ශිෂ්ට සම්පන්න රටක අපි මෙවැනි සිදුවීම් ප්‍රතික්ෂේප කරන්න ඕනේ'

නීතිය හා සමාජ භාරයේ වැඩසටහන් අධ්‍යක්ෂ සඳුන් තුඩුගල පැවසුවේ මෙවැනි තත්ත්වයන් පුරවැසියන් විසින් ප්‍රතික්ෂේප කළ යුතු බව ය.

"කිසිලෙසකවත් පොලිසියට බෑ මිනිස්සුන්ට එහෙම වෙඩි තියන්න. පුරවැසියෝ හැටියට මේක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. පොලිසිය විවිධ අවස්ථාවල පාතාලේ කියලා වෙඩි තියෙනවා, ආයුධ හොයන්න ගිහින් කියලා වෙඩි තියනවා. පහුගිය දවස්වල පොළොන්නරුවෙත් එහෙම සිදුවීමක් වුණානේ," ඔහු පවසයි.

"නීතියක් තියෙන ශිෂ්ට සම්පන්න රටක අපි මෙවැනි සිදුවීම් ප්‍රතික්ෂේප කරන්න ඕනේ, එකට වහා ම ක්‍රියාමාර්ග ගන්න ඕනේ."

ශ්‍රී ලංකාව වෙනසක් බලාපොරොත්තුවෙන් සිටින කාලයක මෙවැනි සිදුවීම් හරහා එම තත්ත්වය අවුල්සහගත කරන බව ඔහු සඳහන් කළේය.

"ලංකාවේ අපි කතා කරනවනේ අපි දේශපාලනය පැත්තෙන් වෙන ගමනක් යන්න ඕනේ කියලා කතා කරමින් ඉන්නවනේ. නමුත් මේ හැම දෙයක් ම තියෙද්දී පොලිසිය කටයුතු කරමින් ඉන්නේ පරණ පුරුදු විදිහටමනේ. ආණ්ඩුව කියනවා පොලිසියේ දේශපාලනය ඉවත් කරලා තියෙනවා, පොලිසියට නිදහසේ වැඩ කරන්න ඉඩ තියෙනවා කියලා. නමුත් ඒ කිසිදේකින් වැඩක් නෑ පොලිසිය තාමත් හිතනවා නම් තමන්ට හිතෙන විදිහට වැඩ කරන්න පුළුවන් කියලා,"