පිරිමි දරුවන් 36 දෙනෙකු අපයෝජනයට ලක් කළ බව කියන මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

අවුරුදු 18ට අඩු වයසේ පසුවන පිරිමි දරුවන් ලිංගික අපහරණයට ලක් කළ බවට සැකකරෙන පුද්ගලයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය මගින් 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව ය.

'පැමිණිල්ල ලැබුණේ නොවැම්බර් මාසයේදී'

16 හැවිරිදි වියේ පසුවන පිරිමි දරුවෙකුට ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය වෙත ඉකුත් වසරේ නොවැම්බර් මස 24 වැනිදා පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය බීබීසී සිංහල කළ විමසීමකදී පැවසීය.

ලද පැමිණිල්ල මත ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබු බව පොලිසිය පැවසුවේය.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන සැකකරුගේ මහනුවර ප්‍රදේශයේ පිහිටි නිවස සහ ව්‍යාපාරික ස්ථානය පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

පරිගණකයෙන් හමුවූ වීඩියෝ සාක්ෂි

පොලිස් මාධ්‍ය කොට්ඨාසයට අනුව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් සැකකරුට අයත් මහනුවර, පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයේ තිබු විද්‍යුත් උපාංග පරීක්ෂාවට ලක් කර තිබේ.

එහිදී විමර්ශන නිලධාරීන් සැකකරුගේ ව්‍යාපාරික ස්ථානයෙන් සොයා ගත් ලැප්ටොප් පරිගණකයේ තිබී අවුරුදු 18 ට අඩු බවට විශ්වාස කෙරෙන පළමු පැමිණිල්ලේ සඳහන් පිරිමි දරුවා හැර වෙනත් පිරිමි ළමුන් 30කට වැඩි දෙනෙකු ලිංගික අපයෝජනය කරන අයුරු දැක්වෙන වීඩියෝ සොයා ගෙන තිබේ.

විමර්ශන අඛණ්ඩව ඉදිරියට

බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මෙලෙස හමුවූ වීඩියෝ සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විමර්ශන කරගෙන යන බවයි.

ඒ අනුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සැකකරු පැය 72ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට කොටහේන පොලිසිය මේ වන විට කටයුතු කරමින් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.