අලුතින් නිකුත් කළ එප්ස්ටීන් ලිපිගොනු මිලියන ගණනකින් හෙළිවන ආන්දෝලනාත්මක තොරතුරු

    • Author, සාක්ෂි වෙන්කට්රාමන්
    • Author, ක්වාසි ග්‍යාම්ෆි අසියේදු
  • කියවීමේ කාලය: මිනිත්තු 10

මේ වන විට මියගොස් සිටින ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටීන්ට අදාළ නව ලිපිගොනු මිලියන ගණනක් ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව (DOJ) විසින් නිකුත් කරනු ලැබ ඇති අතර, එම ලේඛන මහ ජනතාවට නිකුත් කළ යුතු බවට වන නීතියක් පසුගිය වසරේ සම්මත වීමෙන් පසු රජය නිකුත් කළ විශාලතම ලේඛන සංඛ්‍යාව මෙය යි.

පිටු මිලියන 3ක්, ඡායාරූප 180,000ක් සහ වීඩියෝ 2000ක් පසුගිය සිකුරාදා මහජන ප්‍රදර්ශනය සඳහා ඉන්ටර්නෙට් ඔස්සේ නිකුත් කෙරිණි.

එප්ස්ටීන් සම්බන්ධ සියලු ම ලියකියවිලි මහ ජනතාවට නිකුත් කළ යුතු බවට වූ නීතිය, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් කරනු ලැබීමෙන් සති හයකට පසුව මෙම ලේඛන නිකුත් කෙරිණි.

"අද මේ ලේඛන නිකුත් කරන්නේ ඇමෙරිකානු ජනතාවට විනිවිදභාවය සහතික කිරීම සඳහා ඉතා පුළුල් ලේඛන සමාලෝචන ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලයක් ලෙස යි," නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලැන්ච් පැවසීය.

ජෙෆ්රි එප්ස්ටීන් සිරගතව සිටි කාලය - [මනෝවිද්‍යාත්මක වාර්තාවක් ඇතුළුව] - ඔහුගේ මරණය පිළිබඳ විස්තර, බාලවයස්කාර ගැහැනු ළමයින් ප්‍රවාහනය කිරීමට ඔහුට උදව් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ එප්ස්ටීන්ගේ හවුල්කාරිය වන ගිලෙන් මැක්ස්වෙල් පිළිබඳ විමර්ශන වාර්තා මෙම ලිපිගොනුවලට ඇතුළත් වේ.

එප්ස්ටීන් සහ ඉහළ පෙළේ පුද්ගලයින් අතර හුවමාරු වූ ඊමේල් ද ඒ අතර වේ.

බොහෝ ඊමේල් සහ ලේඛන දශකයකට වඩා පැරණි ඒවා වන අතර, එමඟින් එප්ස්ටීන්ගේ නීතිමය ගැටලු මධ්‍යයේ ඔහු පැවැත්වූ සබඳතා පෙන්නුම් කරයි. නීතිඥයින් සමග මතභේදාත්මක අභියාචනා ගිවිසුමකට එළඹීමෙන් පසු 2008 දී ෆ්ලොරිඩාවේදී 14 හැවිරිදි ගැහැනු ළමයෙකු සමග ලිංගිකව හැසිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු කරනු ලැබී ය.

පුළුල් ලිංගික ජාවාරම් නඩුවක චෝදනා මත සිරගතව සිටියදී ඔහු 2019 අගෝස්තු මාසයේදී මිය ගියේ ය.

රුසියානු කාන්තාවක හමුවීම සඳහා එප්ස්ටීන් 'ආදිපාදවරයාට' ඇරයුම් කරයි

චෝදනා ලැබූ ව්‍යාපාරික එප්ස්ටීන්, බ්‍රිතාන්‍යයේ ප්‍රභූ පැලැන්තිය සමග පැවති සමීප සම්බන්ධය පිළිබඳව ලේඛන මගින් අනාවරණය වෙයි.

ඒවාට එප්ස්ටීන් සහ ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් යැයි විශ්වාස කරන "ද ඩියුක්" නම් පුද්ගලයෙකු අතර "අතිශය පෞද්ගලිකත්වයක්" සහිත බකිංහැම් මාලිගයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ගැන සාකච්ඡා කරන ඊමේල් ඇතුළත් වේ.

එප්ස්ටීන්ගේ තවත් පණිවුඩයකට "ආදිපාදවරයා" 26 හැවිරිදි රුසියානු කාන්තාවකට හඳුන්වා දීමේ යෝජනාවක් ඇතුළත් වේ.

එම ඊමේල් පණිවුඩ "A" ලෙස අත්සන් කර ඇති අතර එහි "HRH යෝර්ක් ආදිපාදවරයා KG" ලෙස ලියා ඇති බව පෙනේ. ඒවා හුවමාරු වූයේ 2010 අගෝස්තු මාසයේදී ය, එනම් එප්ස්ටීන් බාල වයස්කරුවෙකු ඉල්ලා සිටීම සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් වසර දෙකකට පසුව ය.

නවතම ලිපිගොනු එකතුවේ, හිටපු රජ කුමාරයා බිම වැතිර සිටින කාන්තාවකගේ සිරුර මත හතර ගාතයෙන් දණ ගසා සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද තිබේ.

එප්ස්ටීන් සහ මවුන්ට්බැටන්-වින්ඩ්සර් අතර 2011 පෙබරවාරි මාසයේ දින සහිත ඊමේල් පණිවිඩ ද ඇත - ඒවා මගින් ඇන්ඩෲ පසුගිය වසරේ එප්ස්ටීන් සමග පැවැත්වූ සියලු සම්බන්ධතා නවතා දැමූ බවට දුන් සහතිකවලට තවත් පළුදු ඇති කරයි.

ඊමේල් පණිවුඩවල කිසිදු වරදක් පිළිබඳව සඳහන් නොවේ.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලබා ගැනීම සඳහා බීබීසී පුවත් සේවය, යෝර්ක් ආදිපාදවරයා ලෙස හැඳින්වූ ඇන්ඩෲ සම්බන්ධ කරගෙන ඇත. එප්ස්ටීන් සමග ඔහුගේ අතීත මිත්‍රත්වය සම්බන්ධයෙන් මවුන්ට්බැටන්-වින්ඩ්සර් වසර ගණනාවක් තිස්සේ පරීක්ෂාවට ලක් වී ඇත. ඔහු කිසිදු වරදක් නොකළ බව නැවත නැවතත් පවසා තිබේ.

නවතම නිකුතුවේ ඇති ඇතැම් ඊමේල් පණිවුඩ එප්ස්ටීන් සහ ඇන්ඩෲගේ හිටපු බිරිඳ වන සාරා ෆර්ගියුසන් අතර හුවාමාරු වී තිබේ.

2009 අප්‍රේල් 4 වන දා යැවූ එක් ඊමේල් පණිවුඩයක "ආදරෙයි සාරා, රතු කොණ්ඩකාරි...!! ("Love, Sarah, The red Head.!!") යනුවෙන් සඳහන් කර තිබේ.

එහි සඳහන් වන්නේ, ඇය පාම් බීච් වෙත යාමට නියමිතව සිටි බවත්, තේ පානය කිරීමට අවශ්‍ය වූ බවත් ය. ෆර්ගියුසන්ගේ සමාගම වන මදර්ස් ආමි සඳහා අදහස් සාකච්ඡා කිරීමට ඊමේල් පණිවුඩය යොමු කර තිබේ. හිටපු යෝර්ක් ආදිපාදවරිය එප්ස්ටීන් හඳුන්වන්නේ, "මගේ ආදරණීය දර්ශනීය සහ විශේෂ මිතුරා ජෙෆ්රි" ("My dear spectacular and special friend Jeffrey") ලෙස ය.

ඇය ඔහුව "විශිෂ්ටයෙකු" ලෙස හඳුන්වන අතර, "මට ඔබ ගැන හරි ම ආඩම්බර යි" යනුවෙන් ද සඳහන් කරයි.

මෙම ඊමේල් හුවමාරුව සිදුව ඇත්තේ, එප්ස්ටීන් 2008 වසරේදී වරදකරු වීම නිසා නිවාස අඩස්සියේ සිටියදී ය.

Virgin Group නිර්මාතෘ බ්‍රිතාන්‍ය ජාතික රිචඩ් බ්‍රැන්සන් සම්බන්ධයෙන් ලිපිගොනුවල අවස්ථා සිය ගණනක සඳහන් වේ. 2013 දී සිදුවූ ඊමේල් හුවමාරුවකදී, බ්‍රැන්සන් එප්ස්ටයින්ට ඔහුව දැකීම "ඇත්තට ම සතුටක්" යැයි පවසන බව පෙනේ, "ඔබ ප්‍රදේශයේ සිටින ඕනෑ ම වේලාවක ඔබව දැකීමට කැමති යි. ඔබ ඔබේ අන්තඃපුරය රැගෙන එන තාක් කල්!"

"හෙයාරෙම්" යන්නෙන් එප්ස්ටීන්ගේ කණ්ඩායමේ වැඩිහිටි සාමාජිකයින් තිදෙනෙකු ගැන සඳහන් වන බව Virgin Group ආයතනය පැහැදිලි කළ අතර, "රිචඩ් සහ ජෝන් බ්‍රැන්සන් එප්ස්ටීන් සමග පැවැත්වූ ඕනෑ ම සම්බන්ධතාවක් වසර දොළහකට පෙර අවස්ථා කිහිපයකදී පමණක් සිදුවූ අතර එය පුණ්‍ය ටෙනිස් තරගයක් වැනි කණ්ඩායම් හෝ ව්‍යාපාරික කරුණුවලට සීමා වූ," බව එම ආයතනය පවසයි.

ස්ලෝවැකියාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක මිරොස්ලාව් ලාජ්කැක් ඇතුළු අනෙකුත් විදේශීය පුද්ගලයින් පිළිබඳව ද මෙම ලේඛනවල සඳහන් කර තිබේ. ඔහු සහ එප්ස්ටීන් අතර කෙටි පණිවිඩ ලිපිගොනු හරහා හෙළිදරව් වීමෙන් පසුව ඔහු ඉල්ලා අස්විය. 2018 දී කාන්තාවන් සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් සමග ඉදිරියේදී පැවැත්වෙන රැස්වීමක් පිළිබඳව සැහැල්ලුවෙන් සාකච්ඡා කළ අවස්ථාව ද ඊට ඇතුළත් විය.

එප්ස්ටීන් යැවූ වාර්තාවේ දැකිය නොහැකි ඡායාරූපයක් යැවූ පසු, ලාජ්කැක් ප්‍රතිචාර දක්වා ඇත්තේ,: "ඇයි ඔයා මට මේ ක්‍රීඩාවලට ආරාධනා නොකරන්නේ? මම 'MI' කෙල්ලව ගන්නම්" යනුවෙනි.

කෙසේ වෙතත්, ලිපිගොනුවල නම් සඳහන් වීම කිසියම් වරදක් සිදුවී ඇති බවට ඇඟවීමක් නොවේ.

සිකුරාදා ලිපිගොනු නිකුත් කළ විට එප්ස්ටීන් සමග කාන්තාවන් සාකච්ඡා කළ බවට වන වාර්තා ලාජ්කැක් මුලින් ප්‍රතික්ෂේප කළ බව ස්ලෝවැකියා මාධ්‍ය වාර්තා කළේ ය. පසුව ඔහු රොබර්ට් ෆිකෝට දේශපාලනිකව හානි නොකිරීම සඳහා ඉල්ලා අස්වීමට තීරණය කළ බව වාර්තා විය.

වීඩියෝව නරඹන්න

එප්ස්ටීන් මැන්ඩල්සන්ට අයත් ගිණුම්වලට මුදල් ගෙවීම

ලිපිගොනුවල නිකුත් කර ඇති බැංකු ප්‍රකාශනවලින් පෙනී යන්නේ, එප්ස්ටීන්, මැන්ඩෙල්සන්ට (බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ දේශපාලනඥයෙකි) සම්බන්ධ ගිණුම්වලට ඩොලර් 75,000ක (£55,000) ගෙවීම් කර ඇති බව ය.

2003 සහ 2004 අතර කාලය තුළ, එප්ස්ටීන් මැන්ඩෙල්සන් සාමිවරයා සඳහන් කරමින් ඩොලර් 25,000ක වෙන ම ගෙවීම් තුනක් යවා ඇති බව පෙනී යයි.

එම මුදල් ලැබුණු බවට කිසිදු වාර්තාවක් හෝ මතකයක් තමාට නොමැති බවත්, එම ලේඛන සත්‍ය දැයි තමා නොදන්නා බවත් මැන්ඩෙල්සන් සාමිවරයා පැවසීය.

තවත් ඊමේල් සමූහයක, මැන්ඩෙල්සන් සාමිවරයා එප්ස්ටීන්ගේ නිවසක රැඳී සිටීමට ඉල්ලීමක් කරයි.

මෙම ඊමේල් ලිපි හුවමාරු වී ඇත්තේ, 2009 ජූනි 16 වන දින සිට ය. ඒ කාලයේ එප්ස්ටීන් වයස අවුරුදු 18ට අඩු තැනැත්තියක ගණිකා වෘත්තියේ යොදවා ගැනීම සම්බන්ධයෙන් සිර දඬුවමක් විඳිමින් සිටියේ ය. ඔහුගේ දඬුවමෙන් වැඩි කාලයක් සඳහා, එප්ස්ටීන්ට දිවා කාලයේ ඔහුගේ කාර්යාලයේ සිට වැඩ කිරීමට අවසර ලැබුණු අතර සෑම රාත්‍රියක ම බන්ධනාගාරයට නැවත පැමිණියේ ය.

2024 දෙසැම්බර් මාසයේදී, මැන්ඩෙල්සන් සාමිවරයා ඇමෙරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානියේ තානාපතිවරයා ලෙස පත් කරන ලද නමුත්, වසරකටත් අඩු කාලයකට පසු ඔහු සේවයෙන් පහ කරන ලද්දේ එප්ස්ටීන්ට සහය පළ කරමින් පණිවිඩ යවා ඇති බව අනාවරණය වීමත් සමග ය.

එප්ස්ටීන් සමග පැවති ඔහුගේ අතීත මිත්‍රත්වය ගැන කනගාටු වන බව මැන්ඩෙල්සන් සාමිවරයා නැවත නැවතත් පවසා තිබේ. එප්ස්ටීන් සමග සිටියදී තමා කිසිදු වරදක් දැක නැති බවත් "ඔහුගේ බොරුවලට හසු වූ" බවත් ඔහු පවසා තිබේ.

ට්‍රම්ප්ගේ නම සඳහන් ස්ථාන සිය ගණනක්

අලුතින් නිකුත් කරන ලද ලිපිගොනුවල ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නම ස්ථාන සිය ගණනක සඳහන් කර ඇත. ට්‍රම්ප් එප්ස්ටීන් සමග මිත්‍රත්වයක් පැවැත්වූ නමුත් එය වසර ගණනාවකට පෙර බිඳවැටුණු බවත් ඔහුගේ ලිංගික අපරාධ පිළිබඳව කිසිවක් නොදන්නා බවත් ඔහු පවසයි.

නව ලේඛන අතර, පසුගිය වසරේ FBI විසින් ට්‍රම්ප්ට එරෙහිව ජාතික තර්ජන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ඔත්තු සපයන අංකයට ඇමතුම් ලබා දුන් අය විසින් කරන ලද චෝදනා ලැයිස්තුවක් ද ඇත. මේවායින් බොහොමයක් ඒජන්සියට ලැබුණු සත්‍යාපනය නොකළ කරුණු මත පදනම් වූ බවත්, ඒවා තහවුරු කරන සාක්ෂි නොමැතිව කරන ලද බවත් පෙනී යයි.

ට්‍රම්ප්, එප්ස්ටීන් සහ අනෙකුත් ඉහළ පෙළේ පුද්ගලයින්ට එරෙහිව එල්ල වී ඇති ලිංගික අපයෝජන චෝදනා රාශියක් මෙම ලැයිස්තුවට ඇතුළත් වේ.

එප්ස්ටීන්ට සම්බන්ධ කිසිදු වරදක් කර නොමැති බව ට්‍රම්ප් නිරන්තරයෙන් පවසා ඇති අතර එප්ස්ටීන්ගේ වින්දිතයින් කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කර නොමැත.

නවතම චෝදනා පිළිබඳව විමසූ විට, ධවල මන්දිරය සහ අධිකරණ දෙපාර්තමේන්තුව යන දෙක ම නව ලිපිගොනු කාණ්ඩය සමග පළ කරන ලද ප්‍රවෘත්ති නිවේදනයක පේළියක් පෙන්වා දුන්නේ ය.

"ඇතැම් ලේඛනවල 2020 මැතිවරණයට පෙර FBI වෙත ඉදිරිපත් කරන ලද ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව අසත්‍ය සහ සංවේදී ප්‍රකාශ අඩංගු වේ," එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පැවසීය.

"පැහැදිලිව ම කිවහොත්, ප්‍රකාශ පදනම් විරහිත සහ අසත්‍ය වන අතර, ඒවාට අංශු මාත්‍රයක විශ්වසනීයත්වයක් තිබේ නම්, ඒවා නිසැකව ම ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව දැනටමත් ආයුධ බවට පත්ව තිබෙනු ඇත."

ජනාධිපති බිරිඳ මෙලනියා ට්‍රම්ප් පිළිබඳව සැකසෙන නව වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ද තරුණියක වැළඳගෙන සිටින ඡායාරූපයක දැක්වේ.

Rush Hour සහ X-Men: The Last Stand යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ බ්‍රෙට් රැට්නර්, එප්ස්ටීන් සහ අනන්‍යතාව වසන් කර ඇති කාන්තාවන් දෙදෙනෙකු සෝෆාවක වාඩි වී සිටිනු දැකිය හැකි ය.

ලිපිගොනුවලින් වරදක් සිදුවී ඇති බවට කිසිදු ඇඟවීමක් නොමැත. අදහස් දැක්වීම සඳහා බීබීසී රැට්නර්ගේ නියෝජිතයා සම්බන්ධ කරගෙන ඇත.

'වල් ම සාදය' කවදා ද? ඊලොන් මස්ක් එප්ස්ටීන්ගෙන් අසයි

එප්ස්ටීන් සහ තාක්ෂණික ප්‍රකෝටිපතියෙකු වන ඊලොන් මස්ක් අතර සිදුවූ ඊමේල් හුවමාරුවක් ද ලේඛනවලට ඇතුළත් ය.

මෙම ලිපිගොනුවලින් කිසිදු වරදක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති මස්ක්, එප්ස්ටීන් තමාට ඔහුට අයත් දූපතට ආරාධනා කළ නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බව මීට පෙර පවසා තිබිණි.

නව ඊමේල් පණිවුඩවලින් පෙනී යන්නේ, මස්ක් එහි සංචාරය කිරීම ගැන එක් වරකට වඩා සාකච්ඡා කර ඇති බව ය. (2012 යෝජිත සංචාරයක් ඇතුළුව) එහිදී ඔහු එප්ස්ටයින්ගෙන් මෙසේ ඇසීය: "ඔබේ දූපතේ ඇති වල් ම සාදය පැවැත්වෙන්නේ දවල් ද? රෑ ද?"

2012 නොවැම්බර් මාසයේ හුවමාරු වූ ඊමේල්වලින් පෙනී යන්නේ මස්ක්ට හෙලිකොප්ටරයකින් දූපතට කී දෙනෙකු ප්‍රවාහනය කිරීමට අවශ්‍ය දැයි එප්ස්ටීන් විමසූ බවත්, මස්ක් පිළිතුරු දෙන්නේ ඒ තමා සහ ඔහුගේ එවකට බිරිඳ වූ තලුලා රයිලි පමණක් බවත් ය.

2012 නත්තල් දින මස්ක් විසින් එප්ස්ටීන් වෙත යවන ලද ඊමේල් පණිවුඩයක, ඔහුට "නිදහසක් ලැබීමට" අවශ්‍ය නිසා කිසියම් සාදයක් සැලසුම් කර ඇත්දැයි මස්ක් විමසන බව සඳහන් වේ.

"මම මේ අවුරුද්දේ උපරිමයෙන් වැඩ කරනවා. ඒ නිසා මගේ දරුවන් නත්තලට පස්සේ ගෙදර ගියා ම, මට ඇත්තට ම ශාන්ත බාර්ට්ස් හෝ වෙනත් තැනක සාදයට සහභාගී වෙලා නිදහසේ ඉන්න ඕන," ඔහු ලියන අතර, "සාමකාමී දූපත් අත්දැකීමක්" ඔහුට අවශ්‍ය නැති බව ද පවසයි.

2013 අවසානයේ තවත් ඊමේල් සමූහයක, මස්ක් සහ එප්ස්ටීන් සිය දූපතේ සංචාරයක් ගැන සාකච්ඡා කරන අතර අවශ්‍ය පහසුකම් සහ දිනයන් පිළිබඳව සාකච්ඡා කරමින් සිට ඇත.

මස්ක් කවදා හෝ එප්ස්ටීන්ගේ දූපතේ සංචාරය කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත.

සෙනසුරාදා X සටහනක් තබමින් මස්ක් සඳහන් කළේ, "[එප්ස්ටීන්] සමග හුවමාරු වුණ සමහර ඊමේල් වැරදි ලෙස අර්ථකථනය කර මගේ නමට මඩ ගැසීමට විරුද්ධවාදීන් භාවිත කළ හැකි බව හොඳින් දන්නා," බව ය.

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: "මට ඒ ගැන කිසි ම තැකීමක් නැහැ, නමුත් මම සැලකිලිමත් වන්නේ අවම වශයෙන් එප්ස්ටීන් එක්ක බරපතළ අපරාධ සිදු කළ අයට, විශේෂයෙන් බාල වයස්කාර ගැහැනු ළමයින් දරුණු ලෙස සූරාකෑමට ලක් කළ අයට නඩු පැවරීමට උත්සහ කිරීමයි."

එප්ස්ටීන්ගේ බියජනක ප්‍රකාශ 'විකාර සහ අසත්‍ය' බව බිල් ගේට්ස් කියයි

මයික්‍රොසොෆ්ට් සමාගමේ සම-නිර්මාතෘ බිල් ගේට්ස්ගේ ප්‍රකාශකයෙකු නවතම එප්ස්ටීන් ලිපිගොනුවල අඩංගු භයානක චෝදනාවලට ප්‍රතිචාර දක්වා ඇත - ඔහුට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් වැළඳී ඇති බවට ද ඇතුළුව - ඒවා "සම්පූර්ණයෙන් ම විකාර සහ සම්පූර්ණයෙන් ම අසත්‍ය" ලෙස හඳුන්වයි.

2013 ජූලි 18 දින සිට එප්ස්ටීන් විසින් සකස් කරන ලද ඊමේල් දෙකක් පෙනෙන්නට තිබුණත්, ඒවා කවදා හෝ ගේට්ස් වෙත යවා තිබේ ද යන්න පැහැදිලි නැත. දෙක ම එප්ස්ටීන්ගේ ඊමේල් ගිණුමෙන් යවා ඇති අතර නැවත එක ම ගිණුමට යවා තිබේ. ගේට්ස් හා සම්බන්ධ කිසිදු ඊමේල් ගිණුමක් නොපෙනෙන අතර ඊමේල් දෙක ම අත්සන් කර නොමැත.

එක් ඊමේල් පණිවුඩයක් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ලෙස ලියා ඇති අතර "රුසියානු ගැහැනු ළමයින් සමග ලිංගිකව හැසිරීමේ ප්‍රතිවිපාක සමග කටයුතු කිරීමට" ගේට්ස් සඳහා ඖෂධ මිල දී ගැනීමට සිදුවූ බවට පැමිණිලි කරයි.

"ආදරණීය බිල්" ලෙස ආරම්භ වන අනෙක් ඊමේල් පණිවුඩය, ගේට්ස් මිත්‍රත්වයක් අවසන් කර ඇති බවට පැමිණිලි කරන අතර, ගේට්ස් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් වසන් කිරීමට උත්සහ කර ඇති බවට තවත් ප්‍රකාශයක් කරයි, එයට ඔහුගේ එවකට බිරිඳ වූ මෙලින්ඩා ද ඇතුළත් වේ.

"ඔප්පු කරන ලද, බොරුකාරයෙකු කර ඇති මෙම ප්‍රකාශ සම්පූර්ණයෙන් ම විකාර සහ සම්පූර්ණයෙන් ම අසත්‍ය යි," ගේට්ස්ගේ ප්‍රකාශකයෙක් බීබීසීයට පැවසීය.

"මෙම ලේඛනවලින් පෙන්නුම් කරන්නේ එප්ස්ටීන් සහ ගේට්ස් අතර අඛණ්ඩ සම්බන්ධතාවක් නොතිබීම සහ ඔහු උගුලකට හසු කිරීම සහ අපහාස කිරීම පිළිබඳව එප්ස්ටීන් තුළ පැවති අසාර්ථක උත්සහය පමණයි," ඔවුන් තවදුරටත් පැවසීය.

වින්දිතයින්ගේ කරුණු හෙළි කිරීම ගැන විවේචන

එප්ස්ටීන් නිසා වින්දිතයින් බවට පත්වූ බොහෝ දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි කාන්තා අයිතිවාසිකම් නීතිඥවරියක වන ග්ලෝරියා ඇල්රෙඩ් බීබීසී වෙත පැවසුවේ, නවතම නිකුතුවේදී ජීවතුන් අතර සිටින බොහෝ දෙනෙකුගේ නම් හෙළි කර ඇති බවත්, ඒ අතර කලින් ප්‍රසිද්ධියේ හඳුනාගෙන නොතිබූ සමහරෙක් සිටින බවත් ය.

"සමහර අවස්ථාවලදී... අපැහැදිලි තැන් තියෙනවා, නමුත් ඔබට නම් කියවන්න පුළුවන්," ඇය පැවසුවා ය. "වෙනත් අවස්ථාවලදී, ඔවුන් වින්දිතයින්ගේ ඡායාරූප පෙන්වලා තියෙනවා - කිසි විටෙකත් ප්‍රසිද්ධ සම්මුඛ සාකච්ඡාවක් කර නොමැති, කිසි විටෙකත් ප්‍රසිද්ධියේ ඔවුන්ගේ නම සඳහන් කර නොමැති ජීවතුන් අතර සිටින්නන්ගේ."

සිකුරාදා නිකුත් කරන ලද බොහෝ ලේඛනවල මකාදැමීම් රැසක් ඇතුළත් වේ. නීතියෙන් නියම කර ඇත්තේ වින්දිතයින් හෝ දැනට විමර්ශනයට ලක්ව ඇති තොරතුරු ආරක්ෂා කිරීම සඳහා පමණක් මකාදැමීම් සිදු කළ හැකි බව ය. එම නීතිය අනුව මකාදැමීම්වල සාරාංශයක් සහ ඒවා මකාදැමීම සඳහා නෛතික පදනම ඉදිරිපත් කිරීමට ද අනිවාර්ය කරයි.

ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පැවසුවේ, "ඕනෑ ම වින්දිත ගැටලුවක් විසඳීමට, පෞද්ගලිකව හඳුනාගත හැකි තොරතුරු අතිරේකව සංස්කරණය කිරීමට මෙන් ම, පනත යටතේ තවදුරටත් සංස්කරණය කිරීමට අවශ්‍ය ලිංගික රූප ඇතුළු ඕනෑ ම ලිපිගොනුවක් සංස්කරණය කිරීමට පැය විසි හතර පුරා ම කටයුතු කරන" බව ය.

ජීවතුන් අතර සිටින්නන්ගේ අනන්‍යතා ආරක්ෂා කිරීම සඳහා තවදුරටත් සංශෝධන අවශ්‍ය වන්නේ කොතැන ද යන්න දෙපාර්තමේන්තුවට දැනුම් දීමට ඇගේ නීති කණ්ඩායම කටයුතු කරමින් සිටියදී, "බොහෝ අය දැනටමත් ලිපිගොනු බාගත කර ඇති" බව ඇල්රෙඩ් පැවසීය.

එප්ස්ටීන් ලිපිගොනු සියල්ල දැන් නිකුත් කර තිබේ ද?

එප්ස්ටීන් ලේඛන නිකුත් කිරීමේ කතාවේ අවසානය මෙය ද යන්න අවිනිශ්චිත ය.

සිකුරාදා ලිපිගොනු නිකුත් කිරීම, "ඉතා පුළුල් ලේඛන හඳුනාගැනීමේ සහ සමාලෝචන ක්‍රියාවලියක අවසානය සනිටුහන් කරනවා" යනුවෙන් බ්ලාන්ෂේ පැවසූ අතර, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ගත් කල, එය සිය කාර්යය අවසන් බවට සංඥා කරයි.

කෙසේ වෙතත්, නිසි සාධාරණීකරණයකින් තොරව දෙපාර්තමේන්තුව ඕනෑවට වඩා ලේඛන - සමහර විට මිලියන දෙක හමාරක් පමණ - රඳවාගෙන ඇති බවට ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ දිගින් දිගට ම තර්ක කරති.

රිපබ්ලිකන් කොංග්‍රස් සභික තෝමස් මැසී සමග එප්ස්ටීන් ලිපිගොනු නිකුත් කිරීමේ විනිවිදභාවය පිළිබඳ පනතට නායකත්වය දුන් ඩිමොක්‍රටික් කොංග්‍රස් සභික රෝ ඛන්නා පැවසුවේ, තමා ඒ සම්බන්ධයෙන් පරීක්ෂාකාරී බව ය.

"ප්‍රතිචාරාත්මක විය හැකි පිටු මිලියන 6කට වඩා හඳුනාගෙන ඇති බව අධිකරණ දෙපාර්තමේන්තුව පැවසූ නමුත් සමාලෝචන සහ සංස්කරණවලින් පසුව නිකුත් කරන්නේ මිලියන 3.5ක් පමණ," බව ඔහු පැවසීය.

"ඉතිරි ඒවා රඳවා තබා ගන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්."

නොවැම්බර් මාසයේදී නීතියක් ලෙස අත්සන් කරන ලද එප්ස්ටීන් ගොනු විනිවිදභාවය පිළිබඳ පනතේ නියම කර ඇති පරිදි සියලු ම ලිපිගොනු නිදහස් කිරීම සඳහා අවසන් දිනය වූ දෙසැම්බර් 19 වන දින මග හැරීමෙන් පසු අධිකරණ දෙපාර්තමේන්තුව දැඩි විවේචනවලට ලක්විය.

නමුත් තවමත්, මෙම කතා මාලාවේ අවසානයක් දැකගත නොහැක.

ට්‍රම්ප්ගේ කඳවුර තුළ සිටින බොහෝ දෙනෙකු ද ඇතුළුව - එප්ස්ටීන් සමග සම්බන්ධකම් පැවති ධනවතුන් සහ බලවතුන් ආරක්ෂා කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බව දිගු කලක් තිස්සේ විශ්වාස කෙරේ.

ඉරිදා ABC වෙත අදහස් දක්වමින් බ්ලන්ෂේ පැවසුවේ, විනිසුරුවරයෙකු අනුමත කළහොත් නිකුත් කළ හැකි "කුඩා ලේඛන සංඛ්‍යාවක්" හැරුණු විට - එප්ස්ටීන් සම්බන්ධ ලිපිගොනු පිළිබඳ අධිකරණ දෙපාර්තමේන්තුවේ සමාලෝචනය "අවසන්" බව ය.

අතිරේක වාර්තාකරණය: ජැක් ෆෙන්වික්, චී චී ඉසුන්දු සහ ඇමී වෝකර්