නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම: CID පරිගණක අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති වසර 3කට පසු කනගාටු වෙයි

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

බුදු දහමට අපහාස කළේ යැයි කියමින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අද (පෙබ: 19 වන දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කනගාටුව පළකර සිටියේ ය.

මෙම කනගාටුව පළකිරීමට අදාළ ලිපියක් රජයේ නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ඊට අමතරව මෙම පනත යටතේ අත්අඩංගුවට ගැනීමේදී සිදුවිය හැකි අනීතික ක්‍රියා වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇති බවත් රජයේ නීතිඥවරයා පැවසීය.

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමන්ව අනීතීක ලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් නතාෂා එදිරිසූරිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකෙරිණි.

මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගඋත්තරකාර පරිගණක අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා කනගාටුව පළ කරන බව සඳහන් කළේ ය.

ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් පොලිස්පතිවරයා සකස් කර ඇති බවත්, ඊට පෙත්සම්කාර පාර්ශවයේ එකඟතාව පළ කර තිබෙන බවත් රජයේ නීතිඥවරයා විසින් අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඊට අමතරව මෙම මාර්ගෝපදේශ මාලාව දින දෙකක් තුළ පොලිස් ස්ථානවලට යොමු කිරීමට කටයුතු කරන බවත් ඔහු දන්වා සිටියේ ය.

මෙම අවස්ථාවේදී පෙත්සම්කාර නතාෂා එදිරිසූරිය සහ වගඋත්තරකාර පරිගණක අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති එස්.එම්.යූ. සුබසිංහ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

එහිදී අගවිනිසුරුවරයා විවෘත අධිකරණය පෙනී සිටි පෙත්සම්කාරියටත් දැනුම් දුන්නේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගඋත්තරකරු සිය කනගාටුව පළ කර ඇති බව ය.

පෙත්සම සමථයට පත්කර ගැනීමට පෙත්සම්කාරිය අධිකරණයේ හමුවේ එකඟ වීම සම්බන්ධයෙන් අගය කරන බවත් අගවිනිසුරුවරයා පැවසීය.

ඒ අනුව, අදාළ කරුණු සටහන් කර ගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ද තීන්දු කළේ ය.

ඒ අනුව, 2023 වසරේ මැයි මස 27 වන දා අත්අඩංගුවට ගෙන එම වසරේ ජූලි මස 05 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් සිය බලවත් කනගාටුව පළ කරන බවත්, මේ තුළින් පෙත්සම්කාරියගේ කීර්ති නාමයට යම් හානියක් සිදුවූයේ නම් සහ ඇයට සිදුවූ චිත්ත පීඩාව සම්බන්ධයෙන් තමන් බලවත් කනගාටුව පළ කරන බවත් එම නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කළ ලිපියේ සඳහන් කර තිබිණි.

2023 වසරේ පැවති "මෝඩාභිමානය" නමැති ප්‍රහසන වැඩසටහනකදී පෙත්සම්කාරිය සිදු කළ ප්‍රකාශවලින් බුදු දහමට අපහාසයක් සිදුවී ඇතැයි සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී මෙම පෙත්සම්කාරිය අත් අඩංගුවට ගෙන තිබිණි.

ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ඇය අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඞ් භාරයට පත් කිරීමටත් නියම කෙරිණි.

ඉන්පසුව කොළඹ මහාධිකරණයේ නියෝග මත ඇයව ඇප මත මුදා හරිනු ලැබිණි.

ඉන් අනතුරුව ඇය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා ය.