ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බුදු දහමට අපහාස කළ බවට කී චෝදනාවෙන් නටාෂා සහ බෲනෝ නිදොස් කොට නිදහස් කරයි
බුදුදහමට අපහාසයක් වන ලෙස ප්‍රකාශයක් සිදු කළ බවට පවසමින් පවරා තිබු නඩුවෙන් ප්‍රහසන ශිල්පිනී නටාෂා එදිරිසූරිය සහ SL-Vlogs යූ ටියුබ් නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර නිදොස් කොට නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ( ජුනි මස 19 වෙනිදා) නියෝග කරන ලදී.
නටාෂා එදිරිසුරිය සහ බෲනෝ දිවාකර අත්අඩංගුවට ගැනීමට මුලික වූයේ 'මෝඩාභිමානය' නමින් පවත්වනු ලැබූ ප්‍රහසන වැඩසටහනකදී සිදුකළ බවට පැවසූ ප්‍රකාශ සම්බන්ධව ය.
අත්අඩංගුවට ගැනීම
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය විසින් පසුගිය වසරේ මැයි මස 28 වෙනිදා සිංගප්පුරුව බලා යෑමට සුදානම්ව සිටි නටාෂා එදිරිසුරිය කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගනු ලැබිය.
එමෙන්ම බෲනෝ දිවාකර ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා CIDය වෙත කැඳවීමෙන් අනතුරුව පසුගිය වසරේ මැයි මස 31 වෙනිදා අත්අඩංගුවට ගන්නා ලදී.
ICCPR යටතේ චෝදනා ගොනු කිරීම
'බුදුදහමට අපහාසයක් කළ බවට' සහ එයට ආධාර අනුබල දීමේ චෝදනාව සම්බන්ධයෙන් නටාෂා එදිරිසුරියට සහ බෲනෝ දිවාකරට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත යටතේ චෝදනා ගොනු කරනු ලැබීය.
අස්ගිරි මහා විහාර පාර්ශවයේ පුත්තලම මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියන් පසුගිය වසරේදී මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහා නීතිය ක්‍රියාත්මක කොට දැඩි දඬුවම් ලබා දිය යුතු බවය.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටින නටාෂා එදිරිසූරියට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුත පනත යටතේ අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිවරයාට එම කාලයේදී ලිපියක් යවමින් ඉල්ලීමක් කරන ලදී.
ඇප නියම කිරීම
බුදුදහමට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශයක් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි SL Vlog යූ ටියුබ් නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2023 වසරේ ජුනි 21වැනිදා නියෝග කළේය.
ඒ අනුව බෲනෝ දිවාකර රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් මිලියන 02ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නියෝග කර සිටියේය.
එමෙන්ම රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රහසන ශිල්පිනී නටාෂා එදිරිසූරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය විසින් පසුගිය වසරේ ජූලි 5 මස වැනිදා නියෝග කළේය.
ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් එම නියෝගය නිකුත් කරනු ලැබීය.
වසරක පමණ කාලයක් පැවති නඩු විභාගයකින් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රහසන රංගන ශිල්පිනි නටාෂා එදිරිසුරිය සහ SL Vlog යූටියුබ් නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර අදාල චෝදනාවන් ගෙන් නිදහස් කරමින් අද (ජුනි මස 18 වෙනිදා) සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
'ලෝකයේ හොදට හදපු නීති ආයුධයක් විදිහට පාවිච්චි කරනවා'
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් SL Vlog යූ ටියුබ් නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර පැවසුවේ ගතවූ වසරක කාල සීමාව තමන්ට අසීරු කාල පරිච්ජේදයක් වුවත් අධිකරණය මෙම ප්‍රශ්නයේදී සුදුසු තීරණයකට එළඹෙනු ඇතැයි යන විශ්වාසය තමා තුළ තිබුණු බවය.
"පුද්ගලිකව මේ සිදුවීමත් එක්ක අභ්‍යන්තරව දුක හිතුණු වගේම තනිවුන, අසරණ වුන තත්ත්වයන් ආවත් උපරිමයෙන් ඒවා දරා ගන්න මම උත්සහ කළා."
"මේ සිදුවීමේදී මට වඩා ගොඩක් ප්‍රශ්න ආවේ නටාෂාට. කාන්තාවක් විදිහට එයාවයි ගොඩක් පීඩනයට ලක් කරන්න උත්සාහ කළේ."
"ඒ වගේම මම කියන්න ඕන ලෝකයේ හොදට හදාපු නිති රීති ඒවා ආයුධ ලෙස භාවිතයට ගැනීම තමයි මම දැකපු නරකම අත්දැකීම වුණේ ."
"මේක හිතා මතාම ප්ලෑන් කරපු ඉවෙන්ට් එකක්. ඇතැම් මාධ්‍ය ආයතන සහ පුද්ගලයින් කිහිප දෙනෙක් තමයි මේක ප්‍රශ්නයක් කර ගත්තේ."
"පොලිසිය සහ දේශපාලනය මොන තරම් දේවල් කළත් අධිකරණය ගැන විශ්වාසයක් තිබුණා."
"ඒ වගේම දේශපාලනික වැඩ සඳහා ICCPR කියන නීතිය භාවිතා කරන එකක් නැහැ කියලා. එහෙම දෙයක් වුනොත් ඒකට විරුද්ධව පෙනි ඉන්න ගොඩේ මමත් ඉන්නවා. මොකද මම ඒ අත්දැකීම විදපූ කෙනෙක් නිසා. ඒක මොන තරම් අමාරු දෙයක් ද කියලා."
"ඒ වගේම ලංකාවේ පොලිසියට නීතිය ගැන නැවත නැවත ඉගෙන ගන්න වෙනවා. සාමාන්‍ය මිනිස්සු නීතිය ගැන දන්න ටිකවත් ඔවුන් දන්නේ නැහැ."
"පොලිසියෙන් මාව අත්අඩංගුවට ගත්ත වෙලාවේදී මම එයාලට කිව්වා මට විරුද්ධව ICCPR එක යටතේ චෝදනා ගොනු කරන්න එපා කියලා. "
"මම ඒකෙ තියෙන කොන්දේසි ගැන තියෙන කොලයක් අරන් ගිහිල්ලා ඒක එයාලට කිව්වා." ඔහු පැවසීය.
'ඒ කාලෙදිත් මම විශ්වාස කරපු දේ තමයි මම වැරැද්දක් කලේ නැහැ කියලා'
මේ අතර නඩු තීන්දුව සම්බන්ධයෙන් නාටාෂා එදිරිසුරිය බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ චෝදනා වලින් තමන්ව අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කිරීම ගැන සතුටු වන අතරම ගතවූ වසරක කාලය තුළ දී තමන්ට හොඳ අත්දැකීමක් ජිවිතයට එක් කර ගැනීමට හැකි වු බව යි.
"මාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මගෙ ඔලුවේ තිබ්බේ මේක මොකක් හරි වැරදීමක් වෙන්න ඇති, මේ වගේ දෙයකට ඇරස්ට් වෙන්නේ නැහැ නේ කියලා."
'ඒ වගේම කම්පනයක් දැනුණා වගේම ඒ ක්‍රියාවලිය තුළ මට ගමන් කරන්න වුණා."
"මගේ පවුලේ අය, සමිපතයින් මේ ප්‍රශ්නේදී මාත් එක්ක ඉන්නවා සහ මෙතැනින් මාව එළියට ගන්න එයාලා කටයුතු කරනවා කියන විශ්වාසය තිබුණා."
"දවස් 39ක් බන්ධනාගාරයේ දී ඉද්දිත් මං ගැන පළවෙන ප්‍රවෘත්ති වගේ දේවල් ගැන අනෙක් රැඳවියන්ම ඇවිල්ලා මට කියනවා. "
"ඒ කාලෙදිත් මම විශ්වාස කරපු දේ තමයි මම වැරැද්දක් කලේ නැහැ කියලා."
"මම ජීවත් වෙලා හිටිය තැන ලිපිනය පවා ෆේස්බුක් එකේ පලකරලා තිබුණ නිසා අපිට පදිංචිය පවා වෙනස් කරන්න වුණා."
"ඇප ලබාගෙන ආවට පස්සේ ජිවිතයේ යම් දෙයක් කරන්න කියන්න කළින් දෙපාරක් නෙමේ කිහිප වරක්ම හිතන්න ඕන වුණා. ඒ මම කියන ලියන දේ වැරදි විදිහට අර්ථ කථනය කරලා මේ නඩුවට එකෙන් බලපෑමක් වෙයිද කියන එක ගැන."
"කෙටියන්ම කිව්වොත් මේ ප්‍රශ්නය ඇතිවුණ වීඩියෝ එක පවා එඩිට් කරල හදපූ එකක්."
"අද අධිකරණයේදී නඩු තීන්දුව ලබා දුන්නම හිතට සතුටක් ආවා. ඒ වගේම මේ සිද්ධියට රටේ බදුගෙවන ජනතාවගේ සල්ලි කොච්චර වියදම් කරන්න ඇත් ද කියන සිතුවිල්ලත් මගේ හිතට ආවා." ඇය කියා සිටියාය.