තරිඳු උඩුවරගෙදර : 'ඒ අය මිනිත්තු 10ක් වගේ කාලයක් හිතේ හැටියට ගැහුවා'

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට එරෙහිව සංවිධාන කළ විරෝධතා පා ගමනක් වාර්තා කරමින් සිටි නිදහස් මාධ්‍යවේදීයෙකු සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන තරිඳු උඩුවරගෙදර ජුලි මස 28 වෙනිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය. ඒ බොරැල්ල ප්‍රදේශයේදීයි.

ත්‍රිරෝද රථයක් තුළ සිටිය දී නිදහස් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර කැරලි මර්ධන පොලිසිය ද ඇතුළුව පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ආකාරය සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් ඇති වීඩියෝ පටවල දැක්වුණි.

පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් තරිඳු උඩුවරගෙදර රෝහල් ගත කර සිටි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ගොස් ඔහුව පරික්ෂා කර බැලීමෙන් අනතුරුව, ඔහුව ඇප මත නිදහස් කරන ලෙස ජුලි මස 29 වන සෙනසුරාදා නියෝග කරන ලදී.

'ඒ අය මිනිත්තු 10ක් වගේ කාලයක් හිතේ හැටියට ගැහුවා'

"මාව ජීප් එකට දාගත්ත වෙලාවේ ඉදලා දෙපැත්තේ හිටපු පොලිස් නිලධාරින් දෙන්නා මට පහර දුන්නා" තමන්ට මුහුණ දිමට සිදුවූ අත්දැකීම සම්බන්ධයෙන් තරිඳු උඩුවරගෙදර මෙලෙස බීබීසි සිංහල සේවය වෙත කරුණු කියා සිටියේ ය.

"මාව අත්අඩංගුවට ගන්නවා කියලා කවුරුවත් කිව්වේ නැහැ. මෙයාව ඇරස්ට් කරන්න වගේ එළියේ කතා වෙනවා ඇරෙන්න, මට කිව්වනම් ඔයාව අත්අඩංගුවට ගන්නවා ත්‍රීවිල් එකෙන් බහින්න, අහවල් හේතුව කියලා පැහැදිලි කිරීමක් කළේ නැහැ. ඒ නිසා මම විරෝධය දැක්වුවා."

"ඒ වෙද්දී මාව ජීප් එකට දාගෙන ඉවරයි. මාව මැදි වෙන්න දෙපැත්තෙන් පොලිස් නිලධාරින් දෙන්නෙක් වාඩි වුණා. ඒ දෙන්නා මට වාචිකව දේවල් කියමින් පහර දෙන්න ගත්තා."

"වාචිකව කිව්ව දේවල් සම්පුර්ණයෙන්ම මෙරට ඇතැම් දේශපාලන පක්ෂ වැඩිපුර ප්‍රවර්ධනය කරන එකක්. ජාතිවාදයට බර වෙච්ච අදහස් ටිකක් කියමින් මට දිගටම ගැහුවා."

"ඒ අය මිනිත්තු 10ක් වගේ කාලයක් හිතේ හැටියට ගැහුවා. මම මහේස්ත්‍රාත්තුමාටත් කිව්වා ඒ ගැන. මගේ මුණටයි, ඔලුවටයි ගැහුවා."

"පොලිසියට ගියාට පස්සේ පහර දිම වගේ දේවල් සිද්ධ වුනේ නැහැ." ඔහු පැවසීය.

දුක සැප සොයා බලන්න ආව අය කවුද?

පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව තමන්ගේ සුව දුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලඥයින් කිහිප දෙනෙකු පැමිණි බව ද හෙතෙම මෙහිදී සඳහන් කළේ ය.

"මම මාධ්‍යවේදියෙක් විදිහට සියලුම දේශපාලන පක්ෂවල අයත් එක්ක කතා කරලා තියෙනවා. ඊට පස්සේ සිවිල් ක්‍රියාකාරිකයෙකු විදිහට දේශපාලන පක්ෂ එක්ක වැඩ කරලා තියෙනවා."

"විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, උත්තර ලංකා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන්, ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස සහ සුනිල් වටගල, ජගත් මනුවර්ණ, හිටපු මන්ත්‍රීවරුන් වන මුජුබර් රහුමාන් හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පොලිස් ස්ථානයේ දී ඉද්දි බලන්න ආවා."

"ඒ වගේම රෝහලේ ඉද්දි ඩලස් අලහප්පෙරුම සහ රාජිත සේනාරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බලන්න ආවා. ඒ වගේම උදය ගම්මන්පිල සහ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරුන් දුරකථනයෙන් කතා කළා."

"පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජාගොඩ ඇතුළු පිරිසක් ද ආවා බලන්න. මොකද ඒ අයට සම්බන්ධ වෘත්තීය සමිති කරපු විරෝධතාවයක් ආවරණය කරන්න ගිහින් ඉද්දියි මේක සිද්ධ වුණේ." ඔහු පැවසුවේ ය.

මානව හිමිකම් කොමිෂන් සභාව කියන්නේ කුමක්ද ?

තමන් අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිසියේ රඳවාගෙන සිටියදී මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරින් එම ස්ථානයට පැමිණ තමන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව හෙතෙම බීබීසි සිංහල සේවය වෙත පැවසුවේය.

මේ අතර සිය ක්ෂණික ප්‍රතිචාර කණ්ඩායමේ නිලධාරීන් සිකුරාදා ( ජුලි 28 වෙනිදා) සිදුවීම වාර්තා වූ සැණින් පොලිසිය වෙත ගොස් තරිඳු උඩුවරගෙදරගේ තත්ත්වය සම්බන්ධයෙන් විමසා බලා ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කරන ලෙස බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට නිර්දේශ කළ බව එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එමෙන්ම මෙම සිදුවීමට සම්බන්ධ සියලු පාර්ශවයන්ගෙන් තොරතුරු කැඳවා ඇති අතර විමර්ශන සඳහා ඊට අදාළ පිරිස් කැඳවීමට නියමිත බව මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

"එහෙම කියද්දී බොරැල්ල පොලිසියේ OIC මහත්තයා ටිකක් අපහසුතාවයට පත් වුණා"

තමන්ව සෙනසුරාදා ( ජුලි 29 වෙනිදා) පෙරවරුවේ රෝහල් ගත කළ බව සඳහන් කළ තරිඳු උඩුවරගෙදර කියා සිටියේ තම හිසට සහ මුහුණට එල්ල කළ පහර දීම් හේතුවෙන් හිසේ බර ගතියක් මෙන්ම ඇසක යම් අබාධයක් මතුව තිබු බවත් පසුව පොලිසිය විසින් සෙනසුරාදා පෙරවරු 9.10 ට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට තමන්ව ඇතුලත් කළ බවත් ය.

"මම රෝහල් ගත කරන්න කියලා ඉල්ලුවේ නැහැ පොලිසියෙන්. කොහොම නමුත් මට දැන ගන්න ලැබුන විදිහට පොලිස්පතිතුමා එදා රෑම බොරැල්ල OIC මහත්තයට කියලා තියෙනවා මාව රෝහල් ගත කරන්න කියලා. නමුත් ඒක වුණේ උදේ වරුවේ."

"රෝහලේ දී මගේ ආරක්ෂාවට ගිනි අවියක් සහිත පොලිස් නිලධාරියෙක් ඇතුළු නිලධාරින් තිදෙනෙක් හිටියා. ඉන් එක්කෙනක් බොරැල්ල අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති තුමා. සෙනසුරාදා හවස කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමා රෝහලට ඇවිල්ලා මාව පරීක්ෂා කළා. එතුමා මගෙන් සිදුවුනේ මොකක්ද කියලා ඇහුවා. මම හැම දෙයක්ම කිව්වා."

"මට පොලිස් ජීප් එකේදී පහර දුන්න සිදුවීම පවා මම කිව්වා. ඒ වගේම බොරැල්ල පොලිසියට අරන් ගියාට පස්සේ මට පහර දුන්නේ නෑ, හොදින් සැලකුවා කියලත් කිව්වා. එහෙම කියද්දී බොරැල්ල පොලිසියේ OIC මහත්තයා ටිකක් අපහසුතාවයට පත් වුණා.අවසානයේ දී ප්‍රධාන මහේස්ත්‍රාත්තුමා මට ඇප නියම කළා. සිදුවීම ගැන මීළඟ නඩු විභාගය තියන්නේ අගෝස්තු මස 31 වෙනිදා." හෙතෙම කියා සිටියේය.

"මාධ්‍යවේදීන්ට කිසිම ප්‍රශ්නයක් නැතිව ගහන්න පුළුවන් කියන හැඟීම පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත ආවා"

මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය දිනෙන් දින ඉහළ යමින් පැවතීම ඉදිරියේ දී සමස්ත මාධ්‍යවේදීන්ට අවදානමක් ඇති කරවිය හැකි බව තරිඳු උඩුවරගෙදර සඳහන් කළේය. ඔහු සඳහන් කලේ පසුගිය වසරේ සිට මෙය සීග්‍රයෙන් වර්ධනය වන ස්වභාවයක් දක්නට ඇති බවයි.

"2010 වසරෙන් පස්සේ කොළඹ ඇතුලේ දී මාධ්‍යවේදියෙක්ව ඝාතනය කර නැහැ. නමුත් වෙන අපරාධ සිදුවීම් වෙලා තිබෙනවා. උතුරේ තත්වය වෙනස්."

"මාධ්‍යවේදීන්ට යම් අවකාශයක් තිබුණා. ශාරීරික අඩම්තේට්ටම් හි යම් අඩු බවක්.2015 වසර වෙද්දී මිනිස්සුන්ට යම් තරමින් හෝ කතා කිරීමට නිදහස තිබ්බා. ඒක පර්ෆෙක්ට් නැහැ, නමුත් යම් කිසි අවකාශයක් තිබුණා.2022 වසරේ විරෝධතා ව්‍යාපාරය එක්ක රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්වූවාට පස්සේ මේක දරුණු විදිහට වයලේට් වෙන්න පටන් ගත්තා."

"විශේෂයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ මිරිහානේ නිවස අසල දී මාධ්‍යවේදීන්ට ගැහුවා. කැමරා වලටත් ගැහුවා. කිසිම ගැටලුවක් නැතුව ඒක කරපු නිසා මාධ්‍යවේදීන්ට කිසිම ප්‍රශ්නයක් නැතිව ගහන්න පුළුවන් කියන හැඟීම පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත ආවා.එතැනින් පස්සේ අවස්ථා කිහිපයකදී ඒක වුණා. විශේෂයෙන් ගිය වසරේ රනිල් වික්‍රමසිංහ ගේ ගෙදර අසලදී සිරස මාධ්‍යවේදීන්ට ගැහුවා."

"බීබීසි එකේ මාධ්‍යවේදීන්ට ගැහුවා 2022, ජුලි මස 22 වෙනිදා රාත්‍රියේ දී. ඒ විතරක් නෙමේ කැමරාවක් තියන් හිටිය මාධ්‍යවෙදියෙක්ව පැහැර ගත්තා. පැහැර ගෙන ගිහිල්ලා පස්සේ රිලීස් කළා.මේක සාමාන්‍ය දෙයක් විදිහට පත්වෙමින් තියෙනවා. මම කියන්නේ හෙට අනිද්දා වෙද්දී මාධ්‍යවේදීන්ට යම් අනතුරුදායි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්."

"ඒ වගේම නවීන යුගය හරහා රටේ නිදහස් මාධ්‍යවේදීන් වන පිරිස් ඉලක්ක කර ගෙන ඔවුන්ට එරෙහිව මර්ධනය ක්‍රියාත්මක වෙනවා . එක්කෝ CID එකට එන්න කියනවා මේ වගේ සිදුවිම් වෙනවා. මේක ඉක්මනින් නතර කළ යුතුයි කියලා මම හිතනවා." ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ ය.

"ම්ලේච්ඡ ලෙස අත්අඩංගුවට ගැනීමක්"

පොලිසිය විසින් තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගනු ලැබූ ආකාරය ම්ලේච්ඡ බවත් මෙවැනි දේ තුළින් මාධ්‍යවේදීන් නිහඬ කිරීමට ආණ්ඩුව සිතා සිටිනම් එය කිසිසේත් සිදුනොවන බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් බීබීසි සිංහල සේවයට පැවසුවේය.

අනීතික ලෙස අත්අඩංගුවට ගනු ලැබූ තරිඳු උඩුවරගෙදර වහා නිදහස් කළ යුතු බවද ඔහු මෙහිදී පැවසිය.

"තරිඳු උදුවරගෙදර දිගින් දිගටම විවිධ විදිහේ මාධ්‍ය ආවරණ කිරීම්වල යෙදුණා. ඒ වගේම ඔහු සිවිල් ක්‍රියාකාරිකයෙක් ලෙසත් සමාජයේ විවිධ කරුණු සඳහා මැදිහත් වෙලා කටයුතු කළා."

"අපි දකින්නේ ඔහු ජනමාධ්‍යවේදියෙක් විදිහට ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඔහුට තිබිය යුතුයි."

"අද දවසේදී උද්ඝෝෂණයක් වාර්තා කිරීමේදී සහ උද්ඝෝෂණයක් අසල සිටියේ යැයි කියා ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා බොරැල්ල පොලිසියෙන්. ඒ අත්අඩංගුවට ගැනීම සිදුකරන්නේ ඉතාම නින්දිත, ම්ලේච්ඡ විදිහටයි. ඔහුට පහර දීලා, කොන්ඩෙන් ඇදලා.ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හැටියට අපි මේක හෙලා දකිනවා මේ සිදුවීම.ආණ්ඩුව කල්පනා කරනවා නම් මේ වගේ ක්‍රියාවලින් ජනමාධ්‍ය නිහඬ කරන්න පුලුවන් කියලා ඒක මිත්‍යාවක්. මේ වගේ සිද්ධි වෙන්න වෙන්න ජනමාධ්‍යවේදීන් සංවිධාන වෙනවා."

"අපි ආණ්ඩුවට කියනවා ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය ජනමාධ්‍යවේදීන්ට භාරදීලා ආණ්ඩුව ආණ්ඩුවේ කාර්යභාරය කළා නම් මේ වෙලාවේ හැටියට ඒක වටිනවා.ඒ වගේම අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා වහාම තරිදුව නිදහස් කරන්න කියලා." ඔහු සඳහන් කළේය.

"අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය භාවිත කිරීමේදී"

මේ අතර තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන බීබීසි සිංහල සේවයට පැවසුවේ මාධ්‍යවේදියකු සහ සිවිල් ක්‍රියාකාරිකයකු වන තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය භාවිත කිරීමේදී බවයි.

පොලිසිය විසින් තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමේදී පහර දෙමින්, හිසකෙස්වලින් අදිමින් කෘර,අමානුෂික සහ අවමන් සහගත ලෙස සලකමින් අත්අඩංගුවට ගෙන ඇති බවත් එය 1994 අංක 22 දරණ වධදීමට සහ අනිකුත් කෘර අමානුෂික නින්දිත සැලකීමට හෝ දඬුවම්වලට එරෙහි වූ සම්මුති පනත යටතේ ද දඬුවම් ලැබිය හැකි වරදක් බව එම සංගමය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත.

ඊට අමතරව පහරකෑමට ලක්වූ තරිඳු උඩුවරගෙදර කඩිනමින් රෝහල් ගත කරන ලෙසත්, කඩිනමින් මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙස ද එම සංගමය විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම එම අත්අඩංගුවට ගැනීමට දායක වූ සියලු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ඉහත සඳහන් කළ වධහිංසා පනත යටතේත්, අයුතු අවහිරය, සාපරාධී බලහත්කාරය පෑම , පහරදීම ඇතුළු තවත් වැරදි සම්බන්ධයෙන් සාමාන්‍ය අපරාධ නීතිය යටතේ පියවර ගන්නා ලෙසට පොලිස්පතිවරයා ගෙන් ඉල්ලා සිටි බව තරිඳු ජයවර්ධන බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.

තරිඳු උඩුවරගෙදර යනු කවුද?

තරිඳු උඩුවරගෙදර ස්වාධීන මාධ්‍යවේදියෙක් මෙන්ම සිවිල් ක්‍රියාකාරිකයෙකු ද වේ.

ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ දී තරිඳු උඩුවරගෙදර රාවය පුවත්පත සදහා කළ වාර්තාකරණය සදහා 2016 දී 'වසරේ තරුණ ජනමාධ්‍යවේදියාට' පිරිනැමෙන 'ඩෙන්සිල් පිරිස්' සම්මානය හිමිකර ගත් අතර, අනිද්දා පුවත්පතේ සේවය කරමින් සිටිය දී 2020 වසරේ 'මර්වින් ද සිල්වා වසරේ මාධ්‍යවේදියා' ලෙස ද, 2019 වසරේ 'වසරේ ක්‍රීඩා ජනමාධ්‍යවේදියා' ලෙස ද සම්මානයට පාත්‍ර විය.

ඔහු ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ (SLYJA) හිටපු සභාපති සහ ක්‍රියාකාරී සාමාජිකයෙකු ද වන අතර ශ්‍රී ලංකා ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ගේ සංගමයේ (SLWJA) විධායක කමිටු සාමාජිකයෙක් ද වේ.

ගවේෂණාත්මක මාධ්‍යවේදය සහ රජය පිළිබඳ විවෘත විවේචන සඳහා ප්‍රසිද්ධ "රාවය" සහ "අනිද්දා" යන සිංහල භාෂා පුවත්පත් වල ඔහු සේවය කර තිබේ. ඔහු විසින් “සටහන් රේඩියෝ" නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යනු ලබන අතර එහිදී සමාජයීය ගැටලු සහ මානව හිමිකම් කඩවීම් පිළිබඳ විවේචනාත්මක හා ආන්දෝලනාත්මක අන්තර්ගතයන් නිකුත් කොට තිබේ.

මේ අතර ප්‍රහසන ශිල්පිනි නටාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී සිදුකළ අදහස් දැක්වීමක් හේතුවෙන් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඉකුත් ජූනි 29 වෙනිදා දැනුම් දීමක් සිදු කරන ලදී. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබුනේ ජුලි මස 04 වෙනිදා පෙරවරු 10.30 ට ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙසයි.

අත්අඩංගුවට ගැනීම පිළිබඳ පොලිසිය කියන්නේ කුමක් ද ?

නිදහස් මාධ්‍යවේදීයකු සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර ගෙන් කරුණු විමසීය.

එහිදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ විරෝධතා ව්‍යාපාරයක් අතරවාරයේදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනු ලැබු බවයි.

"බොරැල්ල පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ උද්ඝෝෂණයක් අතරතුරදි කලහකාරී ලෙස හැසිරීම කියන එකට තමයි ඇරස්ට් කරලා තියෙන්නේ. එයාව හෙට (ජුලි 29) අංක 02 අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි."

තරිදු උඩුවරගෙදර අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ද බීබීසි සිංහල සේවය වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කරුණු විමසීමක් කරන ලදී.

එහිදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඔහුව අත්අඩංගුවට ගැනීමට අදාළව චෝදනාවක් තිබේනම් ඒ ගැන ද අවදානයට ලක් කළ හැකි බව යි.

මේ අතර කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළු වී උද්ඝෝෂණ සහ පෙළපාලි සිදුකිරීම තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් කම්කරු අරගල සංවිධානයේ ලේකම් දුමින්ද නාගමුව ඇතුළු 11 දෙනෙකුට එරෙහිව තහනම් නියෝගයක් ද ජුලි 28 නිකුත් කළේ ය. ඒ අනුව ජුලි මස 28 සිට ජුලි මස 29 පෙරවරු 10.00 දක්වා මෙම නියෝගය බලපැවැත් වේ.

වසන්ත මුදලිගේට ඇප

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද දින (ජුලි මස 28 වෙනිදා) ඇප මත නිදහස් කර ඇත. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් වසන්ත මුදලිගේ පෙර ඇප මත මුදා හැර ඇති බව සඳහන් ය.

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් නිකුත් කරනු ලැබූ වරෙන්තුවක් මත වසන්ත මුදලිගේ ඊයේ ( ජුලි 27) කුරුඳුවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ, 2020 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරයකදී අධිකරණ නියෝග කඩ කරමින් මහජන පීඩා ඇති කළේ ඇයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

කෙසේ වෙතත් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් සිදුකරන විරෝධතා ව්‍යාපාර සහ පාගමන් විසුරුවා හැරීමට පොලිසිය ඉකුත් දින කිහිපයේ දී අඛණ්ඩව කටයුතු කළේ ය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (ජුලි 27 වෙනිදා) කොළඹ ලිප්ටන් වරවුමේ සංවිධානය කර තිබු විරෝධතා ව්‍යාපාරයක් විසුරුවා හැරීමට පොලිසිය විසින් අධී පීඩන ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.