ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විදෙස් රටක සිට සිගරට් ගෙන ඒම තහනම් ද? මත්පැන්වලට එම තහනම බලපානවා ද?
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 3
විදේශ රටක සිට මෙරටට පැමිණෙන විට සිගරට් ගෙන ඒම තහනම් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වීමත් සමග ඊට දෙස් විදෙස්හි වෙසෙන ලාංකිකයන්ගේ විරෝධයක් සමාජ මාධ්‍ය ඔස්සේ මතුව තිබේ.
මීට දින තුනකට ඉහතදී ගුවන් තොටුපළ රේගුව විසින් විටින් විට අත්අඩංගුවට ගන්නා ලද සිගරට් මිලියන 2කට වැඩි ප්‍රමාණයක් විනාශ කරනු ලැබූ අතර, සිගරට් රැගෙන ඒම තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ද පළවී තිබිණි.
එලෙස විනාශ කරන ලද සිගරට් තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 5ක් පමණ වන බව සහ ඒවා රට තුළට පැමිණියේ නම් ඒ හරහා රටට අහිමි වන බදු ආදායම කෝටි 27කට අධික බව එම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා කියා සිටියේ ය.
සිගරට් තහනම ගැන සමාජ මාධ්‍යවල පළවූ සටහන්
මෙම සිදුවීමත් සමග ම විදේශවල සිට මෙරටට සිගරට් ගෙන ඒමේ තහනම පිළිබඳව කතාබහක් ඇති වූ අතර ඇතැම් සමාජ මාධ්‍ය ප්‍රචාරණවල සඳහන් කර තිබුණේ වත්මන් රජය මෙම තහනම පනවා ඇති බව ය.
'විදේශගත අපි' නමින් යුත් ෆේස්බුක් පිටුවේ සිගරට් තහනම සම්බන්ධව මෙලෙස සටහනක් පළ කර තිබිණි.
'ඇට මැස්සා' නම් ෆේස්බුක් පිටුවේ ද සිගරට් තහනම පිළිබඳව සටහනක් පළ කර තිබිණි.
විදේශීය සිගරට් මෙරටට ගෙන ඒම තහනම් කළේ කවදා ද?
මෙම තහනම පනවා ඇත්තේ මීට දශක දෙකකට ඉහතදී ගෙන එන ලද 2006 අංක 27 දරන ජාතික දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත මගිනි.
"යම් තැනැත්තෙකු විසින් නියෝගවලින් නියමිත දුම්කොළ නිෂ්පාදන කිසිවක් සෑදීම, ආනයනය කිරීම, විකිණීම හෝ විකිණීමට ඉදිරිපත් කිරීම නොකළ යුතු ය," යනුවෙන් පනතේ දක්වා ඇත.
සිගරට් ගේන්න පුළුවන් කොහොම ද?
සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට මතුව ඇති විරෝධය හමුවේ මේ සම්බන්ධව බීබීසී සිංහල සේවය රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවාගෙන් විමසීමක් කළේ ය.
සිගරට් හෝ ඊට ආදේශ ලෙස පවතින වේප් හෝ ඊ සිගරට් ගෙන ඒම ද මෙම නීතිය යටතේ තහනමට ලක් කර ඇති බව එහිදී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
"සිගරට් ගේන්න කාටවත් බැහැ. ටුවරිස්ට් හෝටල් වගේ ඒවාට ගේනවා නම් සුරබදු එකෙන් අවසර ගන්න ඕනේ. හැබැයි ලේසියෙන් ඒ අවසරය දෙන්නේ නැහැ."
කෙසේ වෙතත්, මෙම තහනම විදේශීය මත්පැන් සඳහා පනවා නැති අතර, ලීටර් දෙක හමාරක ප්‍රමාණයක් විදේශයක සිටි පැමිණෙන ශ්‍රී ලාංකිකයකුට මෙරටට ගෙන ඒමට හැකියාවක් පවතින බව ද ඔහු පැවසීය.
සිගරට් රැගෙනවිත් අසුවුණොත් මොක ද වෙන්නේ?
නීතිවිරෝධීව සිගරට් ගෙන එනු ලැබුවහොත් රේගු නීතිය යටතේ අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා සඳහන් කළේ ය.
"ගෙනල්ලා අහුවුණොත් සිගරට් එකක් දෙකක් තිබුණට අපි දඩ ගහන්නේ නැහැ, ඒවා රාජසන්තක කරලා මනුස්සයාට යන්න දෙනවා. නමුත් පනහ හැට හංගගෙන එන කට්ටිය ඉන්නවා නේ, ඒ අයට සමාන්‍ය රේගු නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නවා. ලංකාවේ තියෙන ඕන ම නීතියක් යටතේ යම්කිසි භාණ්ඩයක් ආනයනය සීමා කරලා තියෙනවා නම් රේගු ආඥා පනත යටතේ සීමා කරන ලද භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් වෙනවා කියලා රේගු ආඥා පනතේ තියෙනවා. නාටා කියන ඇක්ට් එක යටතේ තමයි සිගරට් සීමා කරලා තියෙන්නේ. එතකොට ඒ සීමා කිරීම රේගු ආඥා පනත යටතේ සීමා කිරීමක් බවට පත් වෙනවා. ඒක උල්ලංඝනය කළා ම සමාන්‍ය රේගු නීතිය යටතේ දඬුවම් කරනවා," රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා තවදුරටත් පැහැදිලි කළේ ය.