ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රථවාහන දඩ කොළ ලැබුණු තැනදී ම දඩය ගෙවා රියැදුරු බලපත්‍රය ලබා ගන්නේ මෙහෙමයි
- Author, කුමුදු ජයවර්ධන
- Role, බීබීසී සිංහල
පසුගිය දෙසැම්බර් මාසයේ දිනක කොළඹ, නාරාහේන්පිට ප්‍රදේශයේදී ආලෝක සංඥා නොතකා ධාවනය කළ බවට මාගේ මිත්‍රයෙකුට රථවාහන දඩ කොළයක් ලැබී තිබිණි.
එහිදී, ඔහුට නාරාහේන්පිට පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරියා පවසා තිබුණේ, දඩය ඔන්ලයින් ගෙවීමට හැකි නම් රියැදුරු බලපත්‍රය ඒ මොහොතේ ම ආපසු දිය හැකි බව ය.
රථවාහන දඩ ගෙවීම කාලය වැය වන කටයුත්තක්ව පැවති හෙයින්, පොලිස් නිලධාරියාගේ එම ප්‍රකාශය ඔහුට ආගන්තුක එකක් විය.
කෙසේ වෙතත්, එය ගෙවන්නේ කෙසේ ද යන්න පිළිබඳව මිතුරාට අවබෝධයක් නොතිබූ හෙයින් ඔහු දඩ කොළය රැගෙන පිටත් වී තිබිණි.
ඔන්ලයින් ඔස්සේ රථවාහන දඩ ගෙවීම අතිශයින් පහසු ක්‍රියාවලියක් බව ඒ පිළිබඳව විමසා බැලීමේදී වැටහිණි.
කෙසේ වෙතත්, රියැදුරන්ගෙන් කළ විමසීමකදී අපට පෙනී ගියේ බොහෝ දෙනෙකු එම නව ක්‍රමවේදය පිළිබඳව නොදැන සිටි බව ය.
මෙම ලිපියෙහි අරමුණ එම ක්‍රමවේදය අනුගමනය කර පහසුවෙන් රථවාහන දඩ ගෙවීමේ පියවර එකින් එක පැහැදිලි කර දීම ය.
පෙර ක්‍රියාත්මක වූ ක්‍රමවේදය
රථවාහන මාර්ග නීති උල්ලංඝනය වූ අවස්ථාවලදී උසාවියට ඉදිරිපත් නොකෙරෙන වැරදි සඳහා දඩ ගෙවීමේ ක්‍රියාවලිය වාහන හිමියන්ට සහ රියැදුරන්ට කාලය වැය වන දුෂ්කර ක්‍රියාවලියක් බවට පත්ව තිබිණි.
එහිදී, වැරදිකරු දඩ කොළය ලියවා ගැනීමට පොලිසියට යා යුතුව තිබූ අතර, තැපැල් කාර්යාලයකට ගොස් දඩය ගෙවා නැවත පොලිසියට පැමිණ රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට සිදුවී තිබිණි.
ඊට අමතරව, රජයේ නිවාඩු දිනවලදී තැපැල් කාර්යාල වසා තිබීම නිසා එය ගෙවීමට නොහැකි විය.
තව ද, නිවාඩු දිනයකදී දුර බැහැර ප්‍රදේශයකදී රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩ කොළයක් ලැබුණු විට එය ගෙවීම සඳහා වෙන ම ගමනක් යා යුතුව තිබිණි.
එමගින් කාලය අපතේ යාම, අමතර වියදම් දැරීමට සිදුවීම වැනි ගැටලු රැසකට මුහුණ පෑමට සිදු විය.
නව ක්‍රමය
මෙහිදී, දඩ ගෙවීම සිදු කෙරෙන්නේ govpay ගෙවීම් ක්‍රමවේදය ඔස්සේ ය.
එය පියවරෙන් පියවර සිදු කරන ආකාරය මෙසේ ය.
- ඔබේ ගිණුම අයත් බැංකුවේ ඇප් එකට හෝ ඔන්ලයින් ඔස්සේ ලොග් වන්න.
- එහිදී ඔබට දක්නට ලැබෙන 'payments and transfers' මත ක්ලික් කරන්න. ඉන්පසු, 'government payments' යන්න දිස්වන අතර ඒ මත ක්ලික් කළ පසු ඔබගේ ජංගම දුරකතනයට රහස්‍ය අංකයක් ලැබේ.
- එය වෙබ් පිටුවෙහි එන අදාළ කොටුවෙහි සටහන් කළ විට govpay පද්ධතියට පිවිසිය හැකි ය.
- Govpay පද්ධතියට පිවිසි විට ඔබට පහත දැක්වෙන ආකාරයේ ආකෘති පත්‍රයක් දිස්වෙයි. එම ආකෘති පත්‍රය පිරවීමේදී ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් තිබේ.
- එම ආකෘති පත්‍රය පිරවීමේදී රතු තරු සලකුණක් යොදා ඇති සියලු කොටුවල නිවැරදි තොරතුරු ඇතුළත් කළ යුතු ය. මෙහිදී ඔබ අනිවාර්යයෙන් දඩ කොළය නිකුත් කරන පොලිස් නිලධාරියාගෙන් පොලිස් රථවාහන දුරකතන අංකය ලබා ගත යුතු ය.
- ආකෘති පත්‍රය සම්පූර්ණ කිරීමෙන් පසු 'submit' කළ යුතු අතර, ඉන්පසු අදාළ බැංකුවේ ක්‍රමවේදය අනුව, OTP අංකය ඇතුළත් කර ගෙවීම සම්පූර්ණ කළ හැකි ය.
රියැදුරු බලපත්‍රය නැවත ලබා ගැනීම
දඩ කොළය නිකුත් කළ ස්ථානයේදී ම ඔබ දඩ මුදල ගෙවුවහොත් එම ස්ථානයේදී ම ඔබට රියැදුරු බලපත්‍රය ආපසු ලබා ගත හැකි ය.
පසුව ගෙවුවහොත් අදාළ පොලිස් ස්ථානය වෙත ගොස් දඩ මුදල ගෙවූ බව සනාථ කළ හැකි ය.
ඉන්පසු පොලිස් නිලධාරියා ලබා දුන් දුරකතන අංකයට මුදල් ගෙවූ බවට කෙටි පණිවුඩයක් ලැබී ඇති දැයි පරීක්ෂා කිරීමෙන් පසුව ඔබට රියැදුරු බලපත්‍රය ආපසු භාර දෙනු ඇත.
අකුසලතා ලකුණු ක්‍රමය ජූලි මාසයේ සිට
දඩ ගෙවීමේ ක්‍රමවේදය පහසු වී ඇතත්, එය වැරදි කිරීමට අවස්ථාවක් ලෙස නොසැලකිය යුතු අතර, රථවාහන වැරදිවලදී ඔබ සහ ඔබේ සමීපතමයින් අනතුරුවලට ලක්වීමේ වැඩි ඉඩකඩක් ඇති හෙයිනි.
ඊට අමතරව, රථ වාහන නීති උල්ලංඝනය කරන රියදුරන් සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ලබන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිසිය පවසයි.
එම ක්‍රමවේදය යටතේ, රථවාහන වැරදි කිරීම්වලදී ඔබගේ රියැදුරු බලපත්‍රය සඳහා අකුසලතා ලකුණු ලබාදෙන අතර, එම ලකුණු ඉක්මවා ගියහොත් රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමේ අවදානමක් ද පවතී.
එහෙයින්, රථවාහන ධාවනයේදී මාර්ග නීති උල්ලංඝනය නොකර විනීත රියැදුරන් ලෙස කටයුතු කිරීමෙන් ඔබට මෙන් ම අන් අයට ද ආරක්ෂාවක් සැලසෙනු ඇත.