ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩෙන්මාර්කය කැරිබියානු භූමියක් ඇමෙරිකාවට විකිණුවේ ඇයි? ඊට ග්‍රීන්ලන්තයේ ඇති සම්බන්ධය කුමක් ද?
- Author, ගිලර්මෝ ඩී ඔල්මෝ
- Role, බීබීසී මුන්ඩෝ සේවය
ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුළ පවතින අධිෂ්ඨානය නව මට්ටම් කරා ළඟා වී ඇති අතර, ආක්ටික් දූපත අත්පත් කර ගැනීමේ ඔහුගේ අරමුණට විරුද්ධ වූ යුරෝපීය සගයින්ට එරෙහිව 10% ක තීරුබදු පනවන බවට ඔහු මෑතකදී තර්ජනය කළේ ය.
ජාතික ආරක්ෂාව පිළිබඳ හේතු මත තම රටට ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමට අවශ්‍ය බව ඇමෙරිකානු නායකයා අවධාරණය කරන අතර හමුදා බලය භාවිතා කිරීම ද ප්‍රතික්ෂේප නොකළේ ය.
නමුත් මෙම ඉල්ලීම් ග්‍රීන්ලන්ත නායකයන් සහ අර්ධ-ස්වයං පාලන ප්‍රදේශයක් ලෙස එම දූපතේ හිමිකම පවතින ඩෙන්මාර්කයේ නායකයින් ද ප්‍රතික්ෂේප කර ඇත.
නමුත් ට්‍රම්ප් යටතේ ඇමෙරිකානු ව්‍යාප්තිවාදය නැවත මතුව ඇති අතර, එක්සත් ජනපදය ඩෙන්මාර්ක භූමිය පාලනය කිරීමේ අදහස වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමට බොහෝ කලකට පෙර සිට පැවත එන්නකි.
වසර 100කට පෙර, වොෂිංටනය, ග්‍රීන්ලන්තයේ සීතල ආක්ටික් ප්‍රදේශයෙන් නොව ඩෙන්මාර්කයෙන් කැරිබියන් දූපත් කිහිපයක් මිල දී ගත්තේ ය.
ඩෙන්මාර්කයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් ඇමෙරිකානු වර්ජින් දූපත් බවට පත්වූ ආකාරය සහ පිරිහෙමින් පවතින යුරෝපීය බලවතෙකු එකල නැගී එන බලවතෙකුට යම් විදේශීය භූමි ප්‍රදේශයක් පවරා දුන් ආකාරය පිළිබඳ කතාව මෙය යි.
ඇමෙරිකාවට අයත් වර්ජින් දූපත් යනු මොනවා ද?
එක්සත් ජනපද වර්ජින් දූපත් යනු බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් අසල පිහිටි එහෙත් ඒවායෙන් වෙන්ව පිහිටි පෝර්ටෝ රිකෝවට නැගෙනහිර දිශාවෙන් කැරිබියන් මුහුදු කලාපය තුළ පිහිටි එක්සත් ජනපදයට අයත් භූමි ප්‍රදේශයකි.
83,000 ක ජනගහනයක් සිටින එය ශාන්ත ජෝන්, ශාන්ත තෝමස් සහ ශාන්ත ක්‍රොයික්ස් යන ප්‍රධාන දූපත් මෙන් ම දූපත් 40කට වැඩි ප්‍රමාණයකින් සහ පහත් සුදු වැලි සහිත වෙරළ තීරයකින් සමන්විත වේ.
දූපත්වල පදිංචිකරුවන්ගෙන් බහුතරයක් එක්සත් ජනපද පුරවැසියන් වුව ද, එම භූමිය වොෂිංටනයේ දේශපාලන හා නීතිමය රාමුවට සම්පූර්ණයෙන් ම ඒකාබද්ධ වී නොමැත. එම පදිංචිකරුවන්ට එක්සත් ජනපද ජනාධිපතිවරණ සඳහා ඡන්දය භාවිත කිරීමේ හැකියාවක් නොමැති අතර එලෙස සිදු කිරීමට හැකි වන්නේ ඔවුන් එක්සත් ජනපද ප්‍රාන්තයකට ස්ථාන මාරු වූ පසුව පමණි. එමෙන් ම එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටස් කිහිපයක් පමණක් මෙහි අදාළ වේ.
දූපත්වල ජනගහනයෙන් බොහෝ දෙනෙකුගේ සම්භවය අප්‍රිකානු වහල් ජනතාව දක්වා දිවෙන අතර, ඔවුන් අත්ලාන්තික් සාගරය හරහා සිදුවූ වහල් වෙළඳාම අතරතුර, යුරෝපීය වෙළෙන්දන් විසින් බලහත්කාරයෙන් මෙහි රැගෙනවිත් සීනි වගා බිම්වල වැඩ කිරීමට යොදවා ඇත.
වර්ජින් දූපත් ඩෙන්මාර්කයට අයත් වූයේ ඇයි?
සියවස් ගණනාවක් පුරා මෙම දූපත් ඩෙන්මාර්කයේ යටත් විජිතයක් වූ අතර, ඒවා ඩෙන්මාර්ක බටහිර කොදෙව් ලෙස හැඳින්විණි.
16 වන සහ 17 වන සියවස්වලදී, ස්පාඤ්ඤය, එංගලන්තය, ප්‍රංශය සහ නෙදර්ලන්තය වරින් වර දූපත් පාලනය කිරීම සම්බන්ධයෙන් මතභේද ඇති කරගත් අතර, මෙම ප්‍රදේශය බොහෝවිට කැරිබියන් මුහුදු කොල්ලකරුවන් විසින් රැකවරණය සඳහා ද භාවිත කරන ලදී.
1684 දී ඩෙන්මාර්කය සාන්ත ජෝන්හි පාලනය අත්පත් කරගෙන එහි තම ස්වෛරීභාවය තහවුරු කළේ ය. ටික කලකට පෙර, ඔවුන් සාන්ත තෝමස් පාලනය සඳහා ද සමාන පියවර අනුගමනය කර තිබිණි.
අනතුරුව ඩෙන්මාර්කය එම දූපත්වල මහා පරිමාණයෙන් සීනි සඳහා යොදා ගන්නා බෝග වගා බිම් සංවර්ධනය කිරීම ආරම්භ කළ අතර, යුරෝපීය වෙළෙඳුන් විසින් දූපත්වලට රැගෙන ආ අප්‍රිකානු වහල් ජනයා සූරාකන ලදී.
එක්සත් ජනපදය එම දූපත්වලට උනන්දුවක් දැක්වූයේ ඇයි?
19 වන ශත වර්ෂයේ දෙවන භාගයේදී තත්ත්වය වෙනස් වීම ආරම්භ විය.
එක්සත් ජනපදය සිය සිවිල් යුද්ධය අවසන් කර වඩාත් බලවත් වන විට ලෝක මට්ටමේ සිය බලපෑම ක්‍රමයෙන් පිරිහෙමින් පවතින බව ඩෙන්මාර්කය දුටුවේය.
එවක ජනාධිපති ඇන්ඩෲ ජොන්සන්ගේ පරිපාලනය මහාද්වීපයේ යුරෝපීය බලපෑම ඉවත් කරන අතර ම, එක්සත් ජනපද බලපෑම පුළුල් කිරීමට උත්සහ කළේ ය. ඔහුගේ රාජ්‍ය ලේකම් විලියම් හෙන්රි සෙවාර්ඩ්, සාමකාමී භෞමික ව්‍යාප්තිය සඳහා වූ ඔහුගේ සැලැස්මේ කොටසක් ලෙස ඩෙන්මාර්ක බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත අවධානය යොමු කළේ ය.
කැරිබියන් කලාපය පාලනය කිරීම සඳහා කදිම පදනමක් ලෙස ශාන්ත තෝමස් වරාය සැලකූ බැවින් ඒ වෙත ඇමරිකානු උපායමාර්ගික විශේෂඥයෝ විශේෂ උනන්දුවක් දැක්වූහ.
එම කාලසීමාවේදී ම සීනි මිල පහත වැටෙමින් තිබූ අතර ඩෙන්මාර්කයට මෙම දූපත් වාසියකට වඩා බරක් බවට පත්වෙමින් ඇති බවට අදහසක් මතුවෙමින් තිබිණි.
මෙම තත්ත්වය ආණ්ඩු දෙක දූපත් විකිණීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා කිරීමට හේතු වූ අතර, 1867 දී, එක්සත් ජනපදය ඩොලර් මිලියන 7.5ක් වටිනා රත්‍රං වෙනුවට ඒවා අත්පත් කර ගන්නා බවට ගිවිසුමක් අත්සන් කළහ. එහි වත්මන් වටිනාකම ඩොලර් මිලියන 164කට සමාන වේ.
කෙසේ වෙතත්, දෙපාර්ශවය එම ගනුදෙනුව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් විය.
වසරකට පසුව, වොෂිංටනය රුසියානු අධිරාජ්‍යයෙන් ඇලස්කාව ඩොලර් මිලියන 7කට පමණ මිල දී ගැනීම අවසන් කළ බැවින්, වෙනත් ස්ථානයක එහි බලපෑම තවදුරටත් වර්ධනය කර ගැනීමට සමත් විය. එය සෙවාර්ඩ් විසින් සිදු කරන ලද සූදුවක් වූ අතර එය ආර්ථික හෝ උපායමාර්ගික වටිනාකමක් නොමැති හිමෙන් වැසුණු ඉඩම් කැබැල්ලකට වඩා වැඩි දෙයක් නොවන බව වටහා ගත් අමෙරිකානුවන්ගෙන් විවේචන සහ උපහාසයට ලක්වීමට පවා හේතු විය.
ඇලස්කාව මිල දී ගැනීම වටා ඇති වූ මතභේදය අවසානයේ එක්සත් ජනපද කොංග්‍රසය ඩෙන්මාර්ක බටහිර ඉන්දීය කොදෙව් දූපත් මිල දී ගැනීමේ ගිවිසුම ස්ථිර නොකිරීමට දායක විය.
පළමු ලෝක යුද්ධය සහ එක්සත් ජනපද වර්ජින් දූපත් මිල දී ගැනීම
අඩ සියවසකට ආසන්න කාලයක් මෙම මිල දී ගැනීම පිළිබඳ නැවත සලකා නොබලන ලදී. එය නැවත අවධානයට ලක් වීම ආරම්භ වූයේ, පළමු ලෝක යුද්ධය ආරම්භ වීමෙන් පසු සහ උපායමාර්ගිකව ඉතා වැදගත් ස්ථානයක පිහිටි මෙම දූපත් ජර්මනිය, ඩෙන්මාර්කයෙන් අල්ලා ගැනීමේ අවදානමක් මතු වීමෙන් අනතුරුව ය. මෙම ගනුදෙනුව අවසානයේ එක්සත් ජනපදය දෙසට ඇදී ගියේ ය.
යුරෝපය විනාශකාරී යුද්ධයක සිරවී සිටි අතර මිත්‍ර පාක්ෂිකයින්ට අවශ්‍ය වූයේ, ජර්මනියට සහ එහි හවුල්කරුවන්ට එරෙහිව සටන් කිරීමට එක්සත් ජනපදය ඔවුන්ගේ පාර්ශවය ඔස්සේ යුද්ධයකට පිවිසීම ය.
එවක ජනාධිපති වුඩ්රෝ විල්සන් යුද්ධයට එක්වීම පිළිබඳව කොංග්‍රසය හෝ සාමාන්‍ය ජනතාව තම පාර්ශවයේ කැමැත්ත ලබා ගැනීමට අසමත් විය. නමුත් යූ-බෝට්ස් (U-boats) නමැති ජර්මානු සබ්මැරීන් මගින් ඇමෙරිකානු වෙළෙඳ හා මගී නෞකා ඉලක්ක කරගෙන එල්ල කළ ප්‍රහාර පිළිබඳ ජනතාව අතර වර්ධනය වූ බිය මෙම සංවාදය ඉක්මනින් වෙනස් කර තිබිණි.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව 1915 දී අයර්ලන්ත වෙරළට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී මගී නෞකාවක් වන RMS Lusitania ජර්මානු සබ්මැරීනයක ගැටීමෙන් ජීවිත 1,200ක් අහිමි වීමේ සිද්ධිය හේතුවෙන් ආතතිය තවත් වැඩි කළේ ය.
යුද්ධය අතරතුර ඩෙන්මාර්කය මධ්‍යස්ථව සිටි බැවින් "ජර්මනිය එය ආක්‍රමණය කර දූපත් සහ සාන්ත තෝමස් වරායේ පාලනය අල්ලා ගනු ඇතැයි වොෂිංටනය බිය විය," යනුවෙන් ඩෙන්මාර්ක ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ඇස්ට්‍රිඩ් ඇන්ඩර්සන් පැහැදිලි කරයි.
මෙම දූපත් ජර්මනිය අතට පත් වූයේ නම් එක්සත් ජනපද භූමියට පවා එරෙහිව U-බෝට් ප්‍රහාර දියත් කිරීමේ හැකියාවෙන් පිරුණු කඳවුරු බවට එම දූපත් පත්වීමට ඉඩ තිබිණි.
දූපත් පාලනය කිරීම සෑම වසරක ම නැව් මාර්ග හරහා ගමන් කරන සිය ගණනක් යාත්‍රාවල ආරක්ෂාව සහතික කිරීමට උපකාරී වන බැවින් 1914 දී පැනමා ඇළ ඉදිකිරීම ද කලාපය කෙරෙහි එක්සත් ජනපදයේ උනන්දුව වැඩි කිරීමට හේතු විය.
පසුව ආර්ථික හේතු සහ ජාතික ආරක්ෂාව සලකා බලමින් වොෂින්ටන් සහ කොපන්හේගන් අතර සාකච්ඡා ආරම්භ කෙරිණි.
එම අවස්ථාවේදී එක්සත් ජනපදය ගත් ස්ථාවරය අද ජනාධිපති ට්‍රම්ප් ගන්නා ස්ථාවරයට සමානත්වයක් දක්වන බව ඇන්ඩර්සන් පවසයි.
"අපි දැන් අසන කතාවේ ප්‍රතිරාවය එදත් තිබුණා, මොක ද එක්සත් ජනපදය පැවසුවේ: 'එක්කෝ ඔබ ඒක අපට විකුණන්න, නැතහොත් අපි එය ආක්‍රමණය කරනවා කියලයි'' ඇන්ඩර්සන් පවසයි.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියට අනුව, විල්සන්ගේ රාජ්‍ය ලේකම් ඩෙන්මාර්කයට අනතුරු ඇඟවීමක් කළ අතර, එම භූමි ප්‍රදේශය විකිණීමට ඩෙන්මාර්කය ප්‍රතික්ෂේප කළහොත් ඒවා වෙනත් බලවතෙකුගේ අතට පත්වීම වැළැක්වීම සඳහා එක්සත් ජනපදය දූපත් අල්ලා ගත හැකි බව පැවසුවේ ය.
මේ මස මුලදී, ට්‍රම්ප් වොෂින්ටනයේදී වාර්තාකරුවන්ට පැවසුවේ, රුසියාව සහ චීනය එලෙස සිදු කිරීම වැළැක්වීම සඳහා ග්‍රීන්ලන්තය "හිමි කර ගැනීමට" එක්සත් ජනපදයට අවශ්‍ය බවත්, ඔවුන් එය ''හොඳින්" හෝ "නරකින්" සිදු කරන බවත් ය.
අවසානයේදී 1916 අගෝස්තු මාසයේදී, ඩෙන්මාර්කය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 25ක් වටිනා රත්‍රන් සඳහා දූපත් විකිණීමට එකඟ වූ අතර Bloomberg වාර්තා කරන පරිදි එය අද ඩොලරයේ අගය අනුව ඩොලර් මිලියන 630කට සමාන ගනුදෙනුවකි.
එම ගිවිසුම ග්‍රීන්ලන්තය පිළිබඳ ඩෙන්මාර්කයේ අධිපත්‍යය එක්සත් ජනපදය විසින් පිළිගැනීමට ද මාර්ගය විවර කළේ ය. එම ගිවිසුමේ කොටසක් ලෙස, ඩෙන්මාර්කය විසින් සමස්ත ග්‍රීන්ලන්තය වෙත තම දේශපාලන හා ආර්ථික බලපෑම පුළුල් කිරීම කෙරෙහි විරුද්ධ නොවන බවට එක්සත් ජනපදය ප්‍රතිඥා දුන්නේ ය.
මෙවර රටවල් ද්විත්වය ම සම්මුතිය අනුමත කළේ ය. ජනමත විචාරණයකදී විකිණීමට පක්ෂව බහුතරයකින් ඡන්දය දුන් ඩෙන්මාර්ක ජනතාව ද එයට සහය දැක්වූහ.
යථාර්ථයක් ලෙස "බොහෝ ඩෙන්මාර්ක ජනතාවට එම දූපත් ඩෙන්මාර්කයේ කොටසක් ලෙස පෙනුණේ නැහැ"
ඇන්ඩර්සන් පවසයි.
ඉතිහාසඥයා පෙන්වා දෙන්නේ, එම උත්සහය තුළ හෝ ඊට පෙර උත්සහයේදී වුව ද දූපත්වල ජීවත් වූ ස්වදේශික ජනතාවට කිසිදු අවස්ථාවක තම අදහස ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබුණු බව ය.
නමුත්, එම තත්ත්වය අද ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ඇති වූ විට එහි පවතින ප්‍රධාන ගැටලුව වන්නේ මෙවර ඩෙන්මාර්කයට එය විකිණීමේ අවශ්‍යතාවක් නොමැති වීම ය.