ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍යයක 'ළමා හිංසනයක්' සිදු වන බවට සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් චෝදනා: නීතිමය තත්ත්වය කුමක් ද?

    • Author, බීබීසී සිංහල

ශ්‍රී ලංකාවේ මේ වන විට විකාශනය වෙමින් පවතින ටෙලි නාට්‍යයක රංගනයේ නිරත වන කුඩා දැරියක සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ යම් කතාබහක් නිර්මාණය වී තිබේ.

එම දැරිය පෙනී සිටින ටෙලිනාට්‍ය ජවනිකාවල ඇති සිදුවීම් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අදහස් දක්වා ඇති අතර, වැඩිහිටියන් අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වන අවස්ථාවල එම දැරිය ද එම ජවනිකා සඳහා යොදාගැනීම ළමා හිංසනයක් බවට බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වා තිබේ.

"මේ ළමා හිංසනයන් මේ වෙන්නෙ. බැලුවොත් එක්කො මේ බබා අඬනවා කෑගගහා එක්කො ඒ ළමයව ඇදලා ගන්නවා. මොකක් ද මේ?," යනුවෙන් එක් ෆේස්බුක් පරිශීලකයෙකු අදහස් දක්වා තිබේ.

"මේවාට අදාළ බළධාරීන්ට ක්‍රියාමාර්ග ගන්න බැරි ද," යනුවෙන් තවත් අයෙකු විමසා තිබිණි.

'ළමා අයිතිවාසිකම්වලට දෙමව්පිය කැමැත්ත බලපාන්නේ නෑ'

ළමුන් රංගනයට යොදාගැනීම සම්බන්ධයෙන් පවතින නීතිමය පසුබිම ගැන විමසීමට බීබීසී සිංහල ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක වන අනෝමා සිරිවර්ධන සම්බන්ධ කර ගත් අතර, ඇය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් නිශ්චිත මාර්ගෝපදේශයක් නොමැති බව ය.

"දැනට නම් එහෙම එකක් මම දන්නා තරමින් නෑ. එහෙම එකක් හදාගෙන යමින් තියෙන්නේ," ඇය පැවසුවා ය.

"ඒ ළමයා දර්ශනවල ඇත්තට ම බය වෙලා ඉන්න බව පේනවා නම් ළමා අයිතිවාසිකම්වල තියෙන විදිහට ඒක කෲරත්වයක්. කෲරත්වයට භාජනය කිරීමක්. ඒක කරන්න නුසුදුසු දෙයක්. කෲරත්වයට ලක් කිරීම අපරාධයක් විදිහට තමයි දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වෙන්නේ. කවුරු හරි ඒ ගැන පැමිණිලි කළොත්, පරීක්ෂණයකින් ඒ බව ඔප්පු වුණොත් ඒ කරන කට්ටියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්," හිටපු සභාපතිවරිය පැහැදිලි කළා ය.

කෙසේ නමුත් බොහෝ විට දරුවන්ව මෙවැනි කටයුතු සඳහා යොදාගැනීම දෙමව්පියන්ගේ අනුමැතිය යටතේ සිදුවන්නකි. නමුත් හිටපු සභාපතිවරිය පෙන්වා දෙන්නේ දෙමව්පියන්ගේ කැමැත්ත තිබුණ ද එය මේ සඳහා අදාළ නොවන බව ය.

"ළමා අයිතිවාසිකම්වලට දෙමව්පිය කැමැත්ත බලපාන්නේ නෑ. අම්මා තාත්තට තියා කාටවත් දරුවට හිංසනයක් කරන්න බෑ."

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රතිචාරය

මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් විමසීමක් සිදු කරන ලදී.

එම අධිකාරියේ මාධ්‍ය නිලධාරී ධනුෂ්ක සේනාරත්න නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේ ය.

"දරුවෙක් නාට්‍යකයට යොදා ගන්නවා නම් මුලින් ම ඒ ළමයාගේ අම්මගේ තාත්තාගේ ලිඛිත අවසරයක් ලබා ගත යුතු යි. ඒ වගේ ම ළමයාගේ කැමැත්තත් තියෙන්න ඕනේ. අම්මා තාත්තා කැමති වුණත් ළමයා අකමැති නම් කරන්න බෑ," ඔහු පැවසුවේ ය.

"අම්මලා තාත්තලා කැමැත්ත දෙන්න කලින් ටෙලිනාට්‍යයක නම් පිටපත එහෙම බලලා ඒක ළමයට සුදුසු එකක් ද නැද්ද කියලා තීරණයක් ගන්න ඕනේ. නාට්‍යයකට ළමයා රංගනයෙන් දායක වෙද්දි ළමයා වෙහෙසට පත් වෙන්න පුළුවන් එක ම දර්ශනය රූගත කරද්දී."

නාට්‍ය හෝ චිත්‍රපට නිර්මාණවලට දරුවන් යොදාගැනීම නිරීක්ෂණය කිරීමක් අධිකාරිය හරහා සිදු වන්නේ ද යන්න පිළිබඳව බීබීසී සිංහල ඔහුගෙන් විමසීය.

"කවුරු හරි කෙනෙක්ට ඕනේ නම් පුළුවන් 1929ට කතා කරලා මේ වගේ දෙයක් වෙනවා නම් ඒ ගැන දැනුවත් කරන්න. එතකොට අපට පුළුවන් ඒ ගැන සොයා බලන්න. පැමිණිල්ලක් ලැබෙනවා නම් වඩා හොඳ යි. සමාජ මාධ්‍යවල හුවමාරු වෙන දේවල් ගැනත් අපි පරීක්ෂණ කරනවා. නිර්නාමිකව වුණත් පැමිණිලි එවන්න පුළුවන්. නිර්නාමිකව එව්වා ම තියෙන එක ම ප්‍රශ්නය තමයි පරීක්ෂණයේ විස්තර තොරතුරු එවන කෙනාට දැනගන්න බැරි වෙන එක," ඔහු පැවසීය.

ලෝකයේ ඇතැම් රටවල්වල පවතින නීති අනුව යම් පටිගත කිරීමකට දරුවන් යොදාගන්නා විට අනුගමනය කරන ආකාරයේ ළමා මනෝ උපදේශකයන් යෙදවීම වැනි දේවල් ශ්‍රී ලංකාවේ සිදුවන්නේ ද යන්න පිළිබඳව විමසු විට ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

"දැනට එහෙම එකක් ලංකාවේ නෑ. අධ්‍යක්ෂවරයා අතේ තමයි තියෙන්නේ සදාචාරාත්මක විදිහට ඒ වැඩේ කරන එක. නමුත් කවුරු හරි හිතනවා නම් ළමා හිංසනයක් සිදු වෙනවා කියලා, ඒවාට අදාළ නීති තියෙන නිසා පැමිණිලි කරලා දැනුම් දීමේ හැකියාව තියෙනවා."

දැනට පවතින නීති මොනවා ද?

1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණයින් සහ ළමයින් සේවයේ යෙදවීමේ පනත යටතේ ළමුන් රංගනයට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් යම් යම් නීතිමය ප්‍රතිපාදනයන් දක්වා තිබේ.

එහි 9 වන වගන්තියට අනුව දක්වා ඇත්තේ, "ස්වකීය ජීවිතය හෝ අවයව අනතුරට පත්කරනු ලබන ප්‍රසිද්ධ රඟදැක්වීම්වලට වයස අවුරුදු 18න් පහළ කිසි ම තැනැත්තෙකු සහභාගී නොවිය යුතු," බව ය.

ඉන්දියාවේ තත්ත්වය

ශ්‍රී ලංකාවට ආසන්නතම අසල්වැසි රට මෙන් ම, දැවැන්ත සිනමා සහ ටෙලිනාට්‍ය කර්මාන්තයක් ඇති ඉන්දියාවේ මෙම නීතිය ක්‍රියාත්මක වන ආකාරය ද බීබීසී සිංහල අධ්‍යයනයක් කළේ ය.

ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඉතා දැවැන්ත චිත්‍රපට හා ටෙලිනාට්‍ය කර්මාන්තයක් ඇති ඉන්දියාව තුළ එවැනි දේ සඳහා ළමුන් යොදාගැනීම සම්බන්ධයෙන් එරට ළමා අයිතිවාසිකම් සුරැකීමේ ජාතික කොමිසම විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයක් තිබේ.

එහි දරුවන් යොදාගත යුතු ආකාරය, රූගත කිරීම් සඳහා යොදාගත යුතු කාලය සම්බන්ධයෙන් පැහැදිලි කොන්දේසි සටහන් කර තිබේ.

දරුවෙකු වයස අවුරුදු 6ට අඩු නම් දෙමව්පියන්ගෙන් එක් අයෙකු හෝ භාරකරුවෙකු සෑම අවස්ථාවක ම දරුවා සමග සිටිය යුතු ය.

ළදරුවෙකු නම් සහ පැයකට වඩා වැඩි කාලයක් දරුවා රූගත කිරීම් සඳහා යොදාගන්නේ නම් ලියාපදිංචි හෙදියක් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවක් අනිවාර්යයෙන් ම සිටිය යුතු ය.

දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිෂ්පාදකයා විසින් සෑම විට ම දරුවන් පස් දෙනෙකුට එක් අයෙකු ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙන් කරනු ලැබිය යුතු ය.

තව ද ඉන්දියාව තුළ සිදු කරන රූගත කිරීම්වලදී, විශේෂයෙන් වයස අවුරුදු 6ට අඩු බාල වයස්කරුවෙකු හානිකර ආලෝකකරණයට, දූෂිත ආලේපනවලට නිරාවරණය නොවන බව සහතික කළ යුතු ය.

එමෙන් ම ළමුන් සහ නව යොවුන් වියේ දරුවන් සමග රූගත කිරීම් සඳහා සහභාගී වන පුද්ගලයන් යෝග්‍යතා සහතිකයක් ඉදිරිපත් කළ යුතු අතර, දරුවන් සමග වැඩ කිරීමට යොදා ගන්නා සේවකයන් පොලිස් වාර්තාවක් ලබා ගත යුතු ය.

කිසිදු දරුවෙකුට දිනකට පැය පහකට වඩා වැඩ කිරීමට ඉඩ නොදිය යුතු අතර, විවේකයකින් තොරව පැය තුනකට වඩා වැඩ කිරීමට ඉඩ නොදිය යුතු බව ද ඉන්දීය මාර්ගෝපදේශයේ සඳහන් වේ.

තව ද දරුවා වෙනුවෙන් සිදු කරන ගෙවීම්වලින් 20%ක් දරුවාගේ නමට ජාතික බැංකුවක ඇති ගිණුමක තැන්පත් කළ යුතුවීම එහි ඇති තවත් සුවිශේෂී නීතියකි.

එමෙන් ම පාසල් යන වයසේ දරුවෙකු නම් දරුවාගේ අධ්‍යාපනයට ප්‍රමුඛතාව ලබා දී රූගත කිරීම් යොදාගැනීම සිදු කළ යුතු වේ.