ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට 'වහාම සාකච්ඡා' අවශ්‍ය බව ඩාවෝස් සමුළුව අමතමින් ට්‍රම්ප් කියයි

    • Author, ෆයිසාල් ඉස්ලාම් - ස්විට්සර්ලන්තයේ ඩාවෝස් සිට
    • Role, ආර්ථික විද්‍යා කර්තෘ

හිම සහ ශීතල හැරුණු විට, ග්‍රීන්ලන්තයට ස්විස් ඇල්ප්ස් කඳුකරය සමඟ එතරම් පොදු බවක් නැත. එහෙත් දුපතේ අනාගතය මෙම සතියේ පැවැත්වෙන ගෝලීය ව්‍යාපාරික සමුළුවට එක්වෙන රාජ්‍ය නායකයින් මත රඳා පවතී.

සත්‍ය වශයෙන්ම, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අසාමාන්‍ය තර්ජනය මෙම රැස්වීම ඉලක්ක කරගත් බව පෙනේ.

පසුගිය වසරේ, ඔහු ධවල මන්දිරයේ සිට ඔන්ලයින් ඔස්සේ ලෝක ආර්ථික සංසදය ඇමතූ අතර, ඔහුගේ පදවි ප්‍රාප්තියට දින දෙකකට පසුව බොහෝ දුරට ව්‍යාකූල යුරෝපීය ව්‍යාපාරික නායකයින් අමතමින් කතා කළේය.

කැනඩාව සහ ග්‍රීන්ලන්තය කෙරෙහි වන භුමි අභිලාෂයන් පිලිබඳ කතා කළ විට එම නායකයින් අපහසුතාවයට පත් වූ අතර ඔහු ආනයනකරුවන්ට "ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකි දීමනාවක්" යනුවෙන් යෝජනාවක් ඉදිරිපත් කළේය: ඇමෙරිකා එක්සත් ජනපදයේ කර්මාන්තශාලා ඉදිකරන්න නැත්නම් ට්‍රිලියන ගණනක් රැස් කරන තීරුබදු වලට මුහුණ දෙන්න. "ඔබේ තේරීම" යැයි ඔහු පැවසීය.

ඔහු සිනහවකින් එය පැවසූ නමුත් පෞද්ගලිකව සමුළුවට සහභාගී නොවීම ගැන සමාව අයැද සිටි අතර මෙම වසරේ පැමිණෙන බවට පොරොන්දු විය.

බදාදා, ඔහු ඩාවෝස් වෙත පැමිණි අතර යුරෝපයේ බොහෝ දෙනෙක් ව්‍යාකූලව සිටින අතරතුර ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සිය පණිවිඩය පිළිබඳ ප්‍රවර්ධනය කරනු ඇත.

ට්‍රම්ප් මෙතෙක් පැවති විශාලතම ඩාවෝස් සමුළුව අද (ජනවාරි 21 වැනිදා) ඇමතූ අතර, ඔහු කියා සිටියේ ග්‍රීන්ලන්තය සුරක්ෂිත කළ හැක්කේ ඇමෙරිකාවට පමණක් බවයි.

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සඳහා 'වහාම සාකච්ඡා' අවශ්‍ය බව ට්‍රම්ප් අවධාරණය කළද ඔහු 'බලය භාවිතා නොකරන' බව අවධාරණය කළේය.

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය බවට ට්‍රම්ප් සිය මතය යළි යළිත් අවධාරණය කරමින් අදහස් පළ කළේය.

ග්‍රීන්ලන්තය විකිණීම සඳහා යුරෝපයට ආර්ථික වශයෙන් බලපෑම් කිරීමට ඔහු දැරූ උත්සාහය පිළිබඳව අනෙකුත් ලෝක නායකයින් සහ ව්‍යාපාරික නායකයින් ඔහුගෙන් ප්‍රශ්න කරනු ඇත.

මෙම සතියේ පැවැත්වෙන සංසදය ගෝලීය අවධානයේ කේන්ද්‍රස්ථානය වනු ඇති අතර එය සම්පූර්ණයෙන්ම අසාමාන්‍යය එකක් වනු ඇත.

එහි නිල තේමාව "අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුත් සංවාදය" යන්නයි. වෙනත් තැනක සිදුවිය නොහැකි සාකච්ඡා සඳහා සංසදයේ අවස්ථා ලබා දුන්නද, ඇමෙරිකා එක්සත් ජනපද පරිපාලනයේ ප්‍රවේශයෙන් වැඩි කොටසක් මෙම උත්සවය නියෝජනය කරන ගෝලීය සහයෝගීතාවයට පටහැනි බව පෙනේ.

සියල්ලට පසු, "ඇමෙරිකාව නැවතත් ශ්‍රේෂ්ඨ කිරීම" (MAGA) යන න්‍යාය පත්‍රයට ඩාවෝස් ගැලපෙන්නේ නැත.

ස්විස් ඇල්ප්ස් සමුළුවට බොහෝ විට විවෙචන එල්ල කරනු ලැබේ. ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් පැවසුවේ "ඩාවෝස් න්‍යාය පත්‍රය" තම ප්‍රාන්තයේ ක්‍රියාත්මක නොවන බව අතර "කොන්දේසි මත ක්‍රියාත්මක බැංකු" සහ "විද්‍යාගාරවලින් වගා කරන ලද මස්" වලට විරුද්ධ වන බවත්ය.

මේ අතර, ලෝක කුසලානය සහ එක්සත් ජනපදයේ නිදහස් දිනයේ 250 වැනි සංවත්සරය සැමරීම සඳහා සහභාගී වන නියෝජිතයින් වෙනුවෙන් පල්ලියක 'USA House' පිහිටුවීමට ඇමෙරිකාවේ විශාලතම සමාගම්වලට බලපෑම් එල්ල වී තිබේ.

ග්‍රීන්ලන්තයේ සිට කැරකස් දක්වා‍ත් එතැන් සිට ඩොන්බාස් දක්වාත් දේශසීමා සහ ස්වෛරී බලය පිළිබඳ ගෝලීය තර්ක සහ පැමිණ සිටින ලෝක නායකයින් සැලකිල්ලට ගත් විට, ජර්මනිය පරාජය කිරීමට කුමන්ත්‍රණය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ රුසියාව යන රටවල නායකයින් එක්රැස් කළ 1945 රැස්වීම වන යාල්ටා වැනි සමුළුවක් ගැන සිතා බැලීම කළ නොහැකි දෙයක් නොවේ.

G7 නායකයින්ගෙන් බොහෝ දෙනෙක් ඊට පැමිණෙනු ඇති අතර, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි මෙන්ම තවත් රාජ්‍ය නායකයින් 65 දෙනෙකු සහ රජයේ ප්‍රධානීන්, ලොව ඉහළම ප්‍රධානින් 850 දෙනෙකු සහ තාක්ෂණික පුරෝගාමීන් විශාල පිරිසක් පැමිණෙනු ඇත.

නමුත් මෙය ඇමෙරිකානු ජනාධිපතිවරයාට සුවපහසු භූමියක් නොවේ. ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට හෝ ආක්‍රමණය කිරීමට ඔහු තුළ ඇති සැලැස්ම යුරෝපීයයන්ට එතරම් ප්‍රිය නොවනු ඇත.

ඒ වෙනුවට, කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි විසින් යුරෝපයට ඔවුන් දැකීමට කැමති උතුරු ඇමෙරිකාවේ දැක්ම ඉදිරිපත් කරනු ඇත.

කැනඩාවේ ආර්ථිකය වර්ධනය කරමින්, නව වෙළඳ හවුල්කරුවන් සොයා ගනිමින් සහ මෑතකදී චීනයේ ෂී ජින්පින් සමඟ බහුපාර්ශ්වික ලෝක පිළිවෙලක් ප්‍රවර්ධනය කරමින් කාර්නි ගතවූ වසරක කාලයේදී එක්සත් ජනපද වෙළඳ අවුල කළමනාකරණය කර තිබේ.

ප්‍රධාන ලෝක බලවතෙකු සහ ඉහළම මෝටර් රථ අපනයනකරුවෙකු ලෙස තමන්ව පෙන්වන චීනය මෙම සමුළුව නියෝජනය කරනු ලබන්නේ සිය මුදල් අමාත්‍යවරයාගේ මට්ටමින්ය.

එය සෑම වසරකම ඔවුන් තම ඔරලෝසුවට තට්ටු කර සිය මන්දගාමී ආර්ථික, තාක්‍ෂණික සහ භූ දේශපාලනික නැගීම එනතුරු බලා සිටින ස්ථානයක් ලෙස පෙනේ.

පසුගිය වසරේ ඩාවෝස් හිදී, ඇමෙරිකා එක්සත් ජනපදය පළමු සතිය ශක්තිමත් ලෙස ආරම්භ කළ නමුත් අවසානය වන විට, සෑම කෙනෙකුම අවධානය යොමු වුයේ DeepSeek නම් චීන AI චැට් බොට් එකක් වෙතය.

පළමු වරට ක්වොන්ටම් පරිගණකයක් ගැන මා දැන ගත්තේ මීට වසර දහයකට පෙර ඩාවෝස්හිදී ය.

ඉකුත් වසරේදී කාර් බැටරි පිළිබඳ වූ සැසියකදී, මෙම දශකයේ චීන තාක්ෂණය ග්‍රහණය කිරීමට ඇමෙරිකානු සහ යුරෝපීය මෝටර් රථ නිෂ්පාදකයින්ට නොහැකි වන බව මට අවබෝධ විය.

බොහෝ අය ඩාවෝස් විවේචනය කරයි, නමුත් ඒ කෙරෙහි අවධානය යොමු කිරීම වටින අතර එහි යහපත් අදහස් කිහිපයකින් අනාගතය පෙන්වයි.