මහ පාරේ බයික් රේස් නවත්වන්න පොලිසිය ගන්න යන දැඩි ක්‍රියාමාර්ග මෙන්න

    • Author, බීබීසී සිංහල

මහා මාර්ගයේ යතුරු පැදි ධාවන තරග පවත්වා විනෝද වන තරුණ පිරිස් පිළිබඳව මෑතක සිට නිරන්තරයෙන් වාර්තා වේ.

එහි භයානකත්වය කෙතරම් දැයි පසුගිය දිනක එලෙස යතුරු පැදි ධාවනය කළ අවස්ථාවේ දී සිදුවූ අනතුරෙන් තරුණයන් මිය යාම තුළින් මනාව පැහැදිලි වනු ඇත.

එමෙන්ම මෙලෙස මහා මාර්ගයේ යතුරු පැදි රේස් පවත්වා මීට ඉහතදීත් ජීවිත හානි සිදුව ඇති අතර මේ සඳහා අධිධාරිතාවයෙන් යුත් යතුරු පැදි යොදා ගන්නා අවස්ථා ද වාර්තා වී තිබේ.

පසුගිය දා හොරණ දී සිදුවූ අනතුරුත් සමග පොලිසිය මෙවන් සිදුවීම් පිළිබඳව අවධානය යොමු කරමින් නීතිය දැඩිව ක්‍රියාත්ම කිරීමට පියවර ගෙන ඇත.

'තරුණයන්ගේ නැගී එන රැල්ල, මේක ඉතා භයංකාරයි'

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ මේ වසරේ ගත වූ දින කිහිපයට සිදුවූ අනතරුවලින් යතුරු පැදිකරුවන් 45 දෙනෙකු හා පසුපැදිකරුවන් 7ක් මිය ගොස් ඇති බවයි.

එමෙන්ම හොරණ දී සිදුවු අනතුරින් අවුරුදු 17ක සහ අවුරුදු 22ක තරුණයන් දෙදෙනෙකු මිය ගිය බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

එම තරුණයන්ගේ අවමංගල්‍ය පෙරහැරේ යතුරු පැදි ගමන් කිරීමද රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතියාගේ විවේචනයට ලක් විය.

"ඒ අවමංගල්‍ය පෙරහැරේ යන්නේ යතුරු පැදි. සමහර අය හෙල්මට් නැතුව යනවා. පොලිසියෙනුත් ඒ සම්බන්ධව විමසලා තියෙනවා, ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කළේ නැත්තේ ඇයි කියලා. මෙවැනි අවස්ථාවක තිබුණා යතුරු පැදිවලින් බැහැරව මේක කරන්න, මොකද හේතුව මේක ඒ නිසා වෙච්ච අනතුරක්. සමාජයේ මේ තරුණයන්ගේ එන රැල්ල එච්චර හොඳ නෑ. ඒක නිසා අපි කියලා තියෙනවා පොලිසියට මේ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා."

"යතුරු පැදි තියෙන්නේ තමන්ට ගමන් පහසුව සඳහා මිසක් ප්‍රධාන මාර්ගවල රේස් පදින්නවත් සහ මේ පදිකයෝ අනතුරට පත් කරන්නවත් සහ විනය ගරුකව, නීති ගරුකව වාහනයක් පදවන රියදුරන්ව ගිහිල්ලා ඒ අය අපහසුතාවයට පත් කරන්නත් නෙමෙයි. විශේෂයෙන් මේ තරුණයන්ගේ නැගී එන රැල්ල, මේක ඉතා භයංකාරයි," නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර අනතුරු ඇඟවීය.

එමෙන්ම අධි ධාරිතාවයකින් යුත් යතුරු පැදි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රාජසන්තක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට පොලිසියට නියෝග කර ඇති බව ද ඔහු පැවසීය.

"මෙච්චර අනතුරු වෙනවා, මෙච්චර මාර්ග අනතුරු වෙද්දි මේ වගේ නොසැලකිල්ලෙන් මේ ආකාරයට බරපතල ලෙස රථ වාහන නීතිය උල්ලංඝනය කරමින්, රටේ නීතිය උල්ලංඝනය කරමින්, විශේෂයෙන්ම අපි ප්‍රකාශ කළා මහජනතාව වුණාම නීතියට ගරු කළ යුතුයි, නීතිය කඩන්න බය වෙන්න ඕන. මේවා කිසිම දෙයක් සැලකීමක් නැහැ."

ජාඇල සහ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල යතුරු පැදි යොදා ගනිමින් මහා මාර්ගයේ රේස් පැදීම වැඩි වශයෙන් වාර්තා වී ඇතැයි පැවසූ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ක්‍රියා වහාම නවත්වන ලෙස ඉල්ලා සිටියේය.

"එවැනි යතුරු පැදි සම්බන්ධයෙන්, හෙල්මට් නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා, හයි කැපෑසිටි බයික් සම්බන්ධව, අන්තරයකාරී, අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා සහ 18ට අඩු තරුණයින් ඒ වාහනවල ගමන් කරනවා නම් ඒවාත් දීපු අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා."

මෙවැනි වැරදි හඳුනා ගැනීමට මෙහෙයුම් තීව්‍ර කර ඇති බවත් එලෙස නීතියට අනුකූල නොවන ලෙස යතුරු පැදි ධාවනය වහාම නවතා දමන ලෙස තරුණයින්ගෙන් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර ඉල්ලීමක් කළේය.

'රාජසන්ත කරන්න පුළුවන් ඒ යතුරු පැදි'

මෙරට තුළ ලියාපදිංචි කර මාර්ගයේ ධාවනය කිරීමට අවසර ලබා දී ඇත්තේ එන්ජින් ධාරිතාව 450 හෝ ඊට පහළ කාණ්ඩයේ යතුරු පැදි පමණක් බව බීබීසී සිංහල කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් පැවසීය.

එමෙන්ම යතුරු පැදි යොදා ගමින් මාර්ගයේ ධාවන තරග පවත්වන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

"මහජනතාව අපිට ඉතාමත්ම උනන්දුවෙන් ඒ ඒ පාරවල්, විශේෂයෙන් වැල්ලවත්ත, බෝකුන්දර, පිළියන්දල, ගම්පහ ඒවාගේ දැවන්ත පාරවල් තියෙන ස්ථානවල මහජනතාව පොලිසියත් එක්ක සම්බන්ධ වෙලා අපිට තොරතුරු දෙනවා. මේ වන විට හොරණ පැත්තෙන් අපිට ලැබිච්ච තොරතුරු එක්ක අපි අත්අඩංගුවට අරන්, උසාවි දාලා යතුරු පැදියක තියෙන්න ඕන එන්ජින් ධාරිතාව තියෙන්න ඕනේ 450යි. නමුත් 600, 650, 800, 1000 දක්වා ඉක්මවලා තියෙනවා. ඒ වගේ යතුරු පැදියක් අනුකරණය, එකලස් කිරීම, එකතු කිරීම, අලුතින් උපාංග දැමීම තුළින් රාජසන්ත කරන්න පුළුවන් ඒ යතුරු පැදිය."

මෙවන් වරදක් සඳහා අධිකරණයට ඉදිරිපත් කර ලක්ෂ එකහමාරත්, ලක්ෂ දෙකත් අතර දඩ මුදලකට යටත් කළ හැකි බවත් මෙවැනි යතුරු පැදි තරග සංවිධානය කරන පුද්ගලයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

එමෙන්ම සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් මාර්ගවල රාජකාරිවල යොදා එවැනි ක්‍රියා සිදුකරනු ලබන පුද්ගලයන් හඳුනාගෙන නීති මගින් කටයුතු කිරීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් බීබීසී සිංහල වෙත වැඩිදුරටත් කියා සිටියේය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් කියා සිටියේ මෙරට ලියාපදිංචි ලබා දෙනු ලබන්නේ උපරිමය එන්ජින් ධාරිතාව 450ක් වන යතුරු පැදි සඳහා පමණක් බවයි.

එමෙන්ම තරග සඳහා යොදා ගන්නා අධි ධාරිතාවයකින් යුත් එන්ජින් සහිත යතුරු පැදි ලියාපදිංචි කිරීමක් නොකරන බව ද ඔහු කියා සිටියේය.