තායි සමරිසි කාන්තා ආදර කතා ඩොලර් මිලියන ගණනක කර්මාන්තයක් බවට පත් වුණේ කොහොම ද?

    • Author, නොන්ග්නැපැත් පැත්චම්
    • Role, බීබීසී තායි සේවය

ඔන්ග්සා නව පාසලක ඇගේ ජීවිතය ආරම්භ කරන්නේ නොසන්සුන් සහ හුදෙකලා හැඟීමකින් යුතුව ය. නමුත් ඇය පාසලේ වඩාත් ජනප්‍රිය ගැහැනු ළමයෙකු වන සන් මුණ ගැසුණු විට, මෙම හුදෙකලා තරුණිය පළමු බැල්මෙන් ම ඇය හා ආදරයෙන් බැඳේ.

තම හැඟීම් බෙදා ගැනීමට බිය වන ඔන්ග්සා, "අර්ත්" නම් ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් භාවිත කරමින් සන්ට පණිවිඩයක් යවයි. සන් උපකල්පනය කරන්නේ තම රහස් රසිකයා පිරිමි ළමයෙකු බව ය.

ඉන්පසු ඔන්ග්සා සැබෑ ජීවිතයේදී සන් සමග මිතුරු වන අතර, අන්වර්ථ නාමයකින් ඇය සමග ඉන්ටර්නෙට් හරහා කතාබහ කරයි.

කෙසේ වෙතත්, ඔවුන්ගේ වර්ධනය වන සම්බන්ධතාව අන් අයගෙන් සැඟවීමේ මානසික පීඩනය ඉක්මනින් ම ඔවුන්ගේ වෙන් වීමට හේතු වේ.

"මම වගේ කෙනෙක් එක්ක ඉන්න එක ගැන මිනිස්සු ඔයාට බනි යි කියලා මම බය වුණා," ඔන්ග්සා හඬමින් පවසයි.

නමුත් ප්‍රීතිමත් හමුවීමකදී, සිනාමුසු මුහුණින් යුත් සන් මෙලෙස පිළිතුරු දෙයි: "මට අනෙක් අය ගැන වැඩක් නැහැ, මට වැදගත් ඔයා විතර යි."

"Bad Buddy" කතා මාලාවේ පිරිමි සමරිසි චරිත කිහිපයක් අතරට ගැහැනු සමරිසි යුවළක් හඳුන්වා දීමේ අත්හදා බැලීමක් ලෙස ආරම්භ වූ මෙය, එතැන් සිට ලොව පුරා ව්‍යාප්ත වන වෙන ම නව රූපවාහිනී නාට්‍ය ශානරයක් බිහි කර තිබේ.

Girls' Love හෙවත් GL ආදර කතා දැන් ආසියාවේ වඩාත් ම සාර්ථක සංස්කෘතික අපනයනවලින් එකක් වන අතර එහි වටිනාකම ඩොලර් මිලියන ගණනක් වේ. මෙම ශානරය ලොව පුරා විනෝදාස්වාදය සහ රසික සංස්කෘතිය තුළ LGBT ප්‍රතිරූපය වේගයෙන් වර්ධනය වන ව්‍යාපාරයක කේන්ද්‍රස්ථානය බවට තායිලන්තය පත් කර ඇත.

"මුලින් ම අපටත් විශ්වාසයක් තිබුණේ නෑ. ඊට පස්සේ මම අධ්‍යක්ෂවරයා විදිහට මම පිරිමි ආදර කතාවකට ආදරය කරන ගැහැනු ළමයි දෙන්නෙක්ගේ චරිත ඇතුළු කරලා අත්හදාබැලීමක් කළා. ඒ, Bad Buddy කතාවේ මිල්ක් සහ ලව් කියන නිළියන් දෙදෙනා යි," තායි නිෂ්පාදන සමාගමක් වන GMMTVහි නොප්පානාත් චයියාවිම්හොන් බීබීසී තායි සේවය වෙත පැවසුවා ය.

ඉන්පසුව, තායි රංගන ශිල්පිනියන් වන පන්සා "මිල්ක්" වොස්බයින් සහ පැට්‍රනයිට් "ලව්" ලිම්පතියාකෝන් රඟපෑ චරිත දෙක ඉන්ටර්නෙට් හරහා රසිකයන් අතර අතිමහත් ජනප්‍රියත්වයේ වේගවත් හැරවුම් ලක්ෂයක් බවට පත්විය.

"අපි දැක්කා ප්‍රවණතාවක් තියෙනවා, මිනිස්සු මේ යුවළ ගැන අර්ථවත් විදිහට කතා කරනවා, මිනිස්සු කාන්තාවන් දෙදෙනෙක් ප්‍රධාන යුවළක් විදිහට ඉන්න කතා මාලාවක් ඉල්ලන්න පටන් ගත්තා," චයියාවිම්හොන් පවසයි.

GMMTV එයට ප්‍රතිචාර දැක්වූයේ එහි පළමු සම්පූර්ණ GL කතා මාලාව වන 23.5 Degrees That the World is Tilted විකාශය කිරීමෙනි. එය එම නමින් ම නිර්මාණය කරන ලද නවකතාවෙන් අනුවර්තනය කළ අතර ඔන්ග්සා සහ සන් යන නිළියන් දෙදෙනා ම එහි රංගනයෙන් දායක වූහ.

2024 දී එය විකාශනය වන විට, මුදල් අය නොකරන රූපවාහිනී නාලිකාවක් වන චැනල් 3 ඒ වන විටත් මෙම ප්‍රවණතාව ඇති වන බව දැක තිබිණි. එය තායිලන්තය පුරා සහ යූ ටියුබ් හරහා GAP The Series: Pink Theory විකාශනය කරමින් සිටි අතර, එහිදී එය ඉක්මනින් නැරඹුම් වාර මිලියන 300කට වඩා ලබා ගත්තේ ය.

මාධ්‍ය විශ්ලේෂණ සිදු කරන රොකට් මීඩියා ලැබ් ආයතනයට අනුව, වසර අවසන් වීමට පෙර, ගැහැනු ළමයින්ගේ ආදර කතා මාලා 21ක් නිෂ්පාදනය කර ඇති අතර කාන්තා යුවළ 51ක් නිර්මාණය කර තිබිණි.

මේ අතර, චීනය, තායිවානය, පිලිපීනය, ජපානය, සිංගප්පූරුව, කාම්බෝජය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ආදී රටවල පවා GL රසිකයන් හමුවන සාර්ථක සංචාර කිහිපයක් ම සිදු කෙරිණි.

මෙම කතාවලට ආකර්ෂණය වීමට බලපා ඇති එක් කරුණක් වන්නේ, තායි GL කතා, සමලිංගික සබඳතා පිළිබඳ අතීත ගෝලීය නිරූපණයන්ගෙන් වෙනස් වන ආකාරය යි.

ගෝලීය වශයෙන්, පිරිමි සමරිසි, ගැහැනු සමරිසි සහ ද්විලිංගික චරිත බොහෝවිට ඛේදජනක අවසානයන්ට සම්බන්ධ කර ඇති බව හෝ කතා මාලාවලින් හදිසියේ ම ඉවත් කර ඇති බව එක්සත් රාජධානියේ ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි සිනමාව පිළිබඳ සහකාර මහාචාර්යවරියක වන ආචාර්ය ඊවා චියුක්යින් ලී සඳහන් කරයි.

"ලෝකය පුරා ම බලද්දී, හොලිවුඩයේ පවා කාන්තාවන් අතර සමරිසි ආදරය පිළිබඳ රූපවාහිනියේ කියැවෙන කතා සංඛ්‍යාව තරමක් සීමිත යි. තිරය මත සමරිසි චරිත මරා දමනු අපට බොහෝවිට දැකගන්න පුළුවන්, නැත්නම් ඒවා අවාසනාවන්ත හෝ ඛේදජනක අවසානයන් සමග අවසන් වෙනවා. මෙය අපි 'මළ-සමරිසි සින්ඩ්‍රෝමය' (dead-lesbian syndrome) විදිහට හඳුන්වන අතර, එහිදී LGBT චරිත බොහෝවිට තිරය මත ඛේදජනක ජීවිත ගත කරනවා."

නමුත් තායි GL කතා ඒ තත්ත්වය වෙනස් කර තිබේ.

"තායි Girls' Love කතා මේ සියලු නිරූපණයන් තුළ සැබවින් ම කැපී පෙනෙන්නේ එය වඩාත් සම්පූර්ණ හා තෘප්තිමත් චරිත කථා ඉදිරිපත් කරන නිසා," ආචාර්ය ලී පවසයි. "ඔවුන් ගැටලුවලට මුහුණ දෙනවා, නමුත් සාමාන්‍යයෙන් වඩාත් සතුටුදායක හා ධනාත්මක සබඳතා හෝ අවසානයන් තියෙනවා."

කෙසේ වෙතත්, ඇය තවදුරටත් මෙසේ පවසයි: "තායි GL කතා මාලාවේ ප්‍රධාන චරිත බොහෝවිට සමහර අයට ශක්තිමත් පෞරුෂයන් තිබුණත් ගැහැනු ගතිය වැඩියි. සැබෑ ජීවිතයේ දී, සමලිංගිකයන් ඉතා විවිධාකාර වෙනවා, එබැවින් ඔවුන් නිරූපණය කරන ආකාරයේ විවිධත්වය පිළිබඳ ගැටළු තවමත් පවතී."

බ්‍රසීලියානු රසිකාවක වන ලුයිසා සී බීබීසී තායි සේවය වෙත පවසන්නේ, තායි GL නාට්‍ය නැරඹීමෙන් පසු "කාන්තාවන් දෙදෙනෙකු අතර ආදරය අතුරු කතාවක් පමණක් නොව ප්‍රධාන කතාවක් විය හැකි" බව ඇයට පළමු වරට හැඟුණු බව ය.

"ඔවුන් සම්බන්ධ වූ ආකාරය, ඔවුන්ගේ සම්බන්ධතාවයේ ගැඹුර, දුෂ්කරතා සහ හැඟීම් ඉදිරිපත් කළ ආකාරය හරි ම ලස්සන යි," ඇය පවසයි. සතුටුදායක අවසානයන් හරහා ඇයගේ එම හැඟීමට "අනුකූල" විය.

"තායි GL කතාවලින් සාමාන්‍යයෙන් සතුටුදායක අවසානයක් ලබා දෙනවා, ඒ වගේ ම අපි සතුටු වෙනවා. මොක ද කතාවෙන් චරිත දෙක ඉවත් කිරීම ගැන හෝ හොඳ අවසානයක් නොලැබීම ගැන අපට කරදර විය යුතු නැහැ."

"කොහෙත් ම නැහැ. අවසානයේදී ඔවුන් එකට සිටින බව අපි දන්නවා, ඒ හැඟීම සැනසිලිදායක යි. ඒකෙන් අපව පිළිගත් බවක් දැනෙනවා," ලුයිසා තවදුරටත් පවසයි.

ගැහැනු ළමයින්ගේ ආදරය පිළිබඳ සංසිද්ධිය තවත් වර්ධනය වී ඇත්තේ එයට ජාත්‍යන්තරව ප්‍රවේශ වීම පහසු බැවිනි. බොහෝ කතා මාලා YouTubeහි නැරඹිය හැකි අතර බොහෝවිට විවිධ භාෂාවලින් උපසිරැසි ඇතුළත් වේ.

  • is restricted.

සමරිසි අන්තර්ගතය සීමා කර ඇති චීනය සහ ඉන්දුනීසියාව ඇතුළු දැඩි මාධ්‍ය නියාමනයක් ඇති රටවල රසිකයින්ට ඇති බාධක මෙයින් ඉවත් කරයි.

මෑත වසරවලදී, චීනය එහි වාරණ මගින් "අශිෂ්ට" සහ අසභ්‍ය අන්තර්ගතයන් හෝ නීති විරෝධී හෝ චීන විරෝධී යැයි සැලකෙන වෙනත් කරුණු අඩංගු දස දහස් ගණනක් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ගිණුම් වසා දමා ඇත.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ප්‍රේක්ෂකයින් වැඩි වැඩියෙන් විදේශීය GL අන්තර්ගතය සංස්කෘතික ආරක්ෂිත අවකාශයක් ලෙස දකී.

"මගේ සමරිසි චිත්‍රපටිවලින් එකක්... වෙනත් ඕනෑ ම රටකට වඩා සෞදි අරාබියේදී නරඹා තිබෙනවා," එක්සත් රාජධානියේ අධ්‍යක්ෂක රේචල් ඩැක්ස් බීබීසී ලෝක සේවයට පැවසුවා ය.

"ඉතා ශක්තිමත් සමරිසි විරෝධී නීති ක්‍රියාත්මක වන රටවල, සමහර කාන්තාවන්ට ඔවුන්ගේ ලිංගිකත්වය සැබෑ බවත් එය ධනාත්මක ආකාරයකින් සැලකිය හැකි බවත් ඔවුන්ට ලැබෙන එක ම ධනාත්මක සහතිකය මේක වෙන්න පුළුවන්. මෙම චිත්‍රපට මිනිසුන්ට උපකාරී වෙන්න පුළුවන්."

සමහර රසිකයින් විශ්වාස කරන්නේ, මේ තත්ත්වය ගැන කතාබහ වැඩි වීම හරහා තායි සමාජයේ ආකල්ප සියුම් ලෙස වෙනස් කරන බව ය.

GL රසික පිටුවක් පවත්වාගෙන යන රනුකා සොන්ග්මුආන්ග් පවසන්නේ, ඇගේ මව මෙම ශානරයට දක්වන සරල ප්‍රතිචාරය සාමාන්‍ය දෙයක් බව ය. "මම The Secret of Us කතා මාලාවට කැමති යි," ඇගේ මව ඇයට පැවසුවා ය. "වෛද්‍යවරයා [ප්‍රධාන චරිතයක්] ලස්සන යි."

කෙසේ වෙතත්, දෛනික ජීවිතයේදී සමරිසි සබඳතා පිළිගැනීම සම්බන්ධයෙන් තායිලන්තය දැනටමත් ආසියාවේ වඩාත් ලිබරල් රටවලින් එකකි. තායිවානය සහ නේපාලය වැනි රටවලට සමානව එහි සමරිසි විවාහ නීතියක් ඇත.

පිලිපීනයේ, LGBT යුවළ විවෘතව එකට ජීවත් වීම පිළිගැනීම වැඩි වෙමින් පවතී. නමුත් පිලිපීන සමාජයේ විශාල කාර්යභාරයක් ඉටු කරන රෝමානු කතෝලික පල්ලිය සමරිසි විවාහයන්ට දැඩි ලෙස විරුද්ධ ය.

සමරිසි සබඳතා අඩුවෙන් පිළිගන්නා මැලේසියාව, ඉන්දුනීසියාව සහ බෲනායි වැනි සමහර රටවල තවමත් බරපතළ අභියෝග පවතී. බෲනායිහි පිරිමින් අතර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම, නීතිය යටතේ මරණ දඬුවම ලැබිය හැකි වරදක් වන නමුත්, එම රට තුළ දැනට කිසිදු අපරාධයක් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක නොවේ.

සමහර GL නාට්‍ය ඍජුව ම අගතියට පත්වීම් ආමන්ත්‍රණය කරයි. Poisonous Loveහි ප්‍රධාන චරිතය වන පැට් ඇගේ සහකාරිය ප්‍රේම්ගේ දෙමාපියන්ගෙන් ඔවුන්ගේ සම්බන්ධතාව දිගට ම කරගෙන යාමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටින නමුත් ප්‍රේම්ගේ පියා ඔවුන්ට වෙන් වන ලෙස බල කරයි.

"අපේ ආදරය අවංක යි, නිර්මල යි," පැට් ප්‍රේම්ගේ දෙමාපියන්ට "අම්මේ, තාත්තේ" යැයි කියමින් පවසයි.

"මට තාත්තා කියලා කතා කරන්න එඩිතර වෙන්න එපා," ප්‍රේම්ගේ තාත්තා පිළිතුරු දෙයි. "මට පිළිකුලක් දැනෙනවා."

කෙසේ වෙතත්, ඔන්ග්සා සහ සන්ගේ සැබෑ ප්‍රේමයේ ගමන් මග අවසානයේ වඩාත් සුමටව දිව යයි. කෙසේ වෙතත්, 23.5 Degrees That the World is Tiltedහි රසිකයින් සඳහා සතුටුදායක අවසානයක් අනිවාර්යයෙන් ම තිබේ.

අවුරුද්දක් වෙන්ව ගත කිරීමට සිදුවුවහොත් ඔවුන් කෙසේ කටයුතු කරයි දැයි සන් විමසූ විට, ඔන්ග්සා පිළිතුරු දෙයි: "අපි කොපමණ ආලෝක වර්ෂ ගණනක් වෙන්ව සිටියත්, අපි හොඳින් ඉමු. අවසානයේදී, අපේ කක්ෂ අපව නැවත මුණගස්වයි."

"මොකද අර්ත් [පෘථිවිය] ඉන්නේ සන් [සූර්යයා] එක්ක."

බීබීසී ලෝක සේවය වෙනුවෙන් සංස්කරණය: අහ්මන් කවාජා, ඇන්ඩෲ වෙබ් සහ ස්ටීවන් හෝක්ස්