'Boys' Love' තේමාවන් සහිත කතන්දර ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වුණේ කොහොම ද?

    • Author, අමන්දිකා කුරේ
    • Role, බීබීසී සිංහල

වසරක් පාසා කොළඹදී පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් පවත්වනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර අවසන් වූයේ, අලුතින් ප්‍රකාශයට පත්වූ පොත් කිහිපයක් සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය කරමිනි.

මේ වන විට එම පොත් ප්‍රදර්ශනය අවසන් වී දින කිහිපයක් ගත වී ඇතත් තවමත් එහි උණුසුම අඩු වී නැත.

මෙවර ප්‍රකාශයට පත්වූ කොටස් දෙකකින් සමන්විත එක් කෘතියක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති වී අතර එය BL තේමාවක් ඔස්සේ ලියවී ඇති කතාවක් බවට විවේචනයක් එල්ල වෙමින් තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ LGBTQIA+ ප්‍රජාවේ සාමාජිකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ද මේ වන විට විවේචන එල්ල වෙමින් පවතින අතර, එම සිදුවීම, මෙවර ප්‍රකාශයට පත්වූ අදාළ කෘතිය සහ මේ වන විට ශ්‍රී ලංකාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවල ඉහළ යාමක් ඇති බවට වූ පුවතක් එකිනෙකට සම්බන්ධ කරමින් රට තුළ LGBTQIA+ ප්‍රවර්ධනය කෙරෙන ව්‍යාපෘතියක් ඇති බවට ද ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය තුළ විවේචන එල්ල කර තිබිණි.

කෙසේ වෙතත්, BL හෙවත් Boys' Love තේමාවන් සහිත කතා ශ්‍රී ලංකාවේ ආසන්න වසර කිහිපයක සිට ජනප්‍රිය වී තිබේ.

ඒ, නවකතා සහ විදේශීය රූපවාහිනී කතා මාලා හරහා ය.

පසුගිය වසරේදී මා හා මාගේ මිතුරියන් දෙදෙනෙකු ද පොත් ප්‍රදර්ශනයට ගිය අතර, ඔවුන් දෙදෙනා එක්තරා ප්‍රකාශන ආයතනයක කුටියක් වෙත යා යුතු බව පැවසුවේ, ඔවුන් බලා සිටි පරිවර්තන කෘතියක් එම ප්‍රකාශන ආයතනය විසින් එම වසරේදී පළ කරනු ලැබ ඇති බව පවසමිනි.

එදින අප එම ස්ථානයට යන විටත් විශාල පිරිසක් එම ප්‍රකාශන ආයතනය වෙත පැමිණ පොත් මිල දී ගනිමින් සිටි අතර, මාගේ මිතුරියන් දෙදෙනා ද අදාළ පොත් මිල දී ගෙන පැමිණිය හ.

එය පරිවර්තනයක් වූ හෙයින් සහ එහි එම ග්‍රන්ථයේ නම දුටු සැණින් කුතුහලයක් ඇති වූ නිසා මා ඔවුන් දෙදෙනාගෙන් එම කෘතිය පිළිබඳව විමසා සිටි අතර ඔවුන් පැවසුවේ, එය BL කතාන්දරයක් ඇතුළත් නවකතාවක් බව ය.

ඔවුන් වසර කිහිපයක සිට Wattpad නමැති යෙදවුම හරහා එවැනි නවකතා කියවූ බව ඔවුහු මා හට පැවසූහ.

එම නවකතා "විශාල පාඨකයන් සංඛ්‍යාව විසින් කියවනු ලබන බවත්" බොහෝ දෙනෙකු එම යෙදවුම සඳහා නවකතා කොටස් වශයෙන් ලියා පළ කරන බවත් ඔවුහු පැවසූහ.

BL ආරම්භය හා ජනප්‍රියත්වය

පිරිමි චරිත ආදර සම්බන්ධතා සහ මානසික සම්බන්ධතා මෙන්ම ඇතැම්විට ලිංගික බැඳීමක් නිරූපණය කරන නිර්මාණ BL තේමාවක් සහිත නිර්මාණ ලෙස පොදුවේ සැලකෙයි.

මෙම ප්‍රවේශය පළමුව ආරම්භ වී ඇත්තේ, ජපානය මූලික කර ගනිමින් බිහි වූ 'මන්ගා' (Manga) නමැති කලාවත් සමග ය. එය චිත්‍ර කතා හෝ ඩිජිටල් චිත්‍ර කතා ශෛලියකි.

මන්ගා නිර්මාණකරණයේ යෙදී සිටි කාන්තාවන් පිරිසක් මෙම තේමාවේ නිර්මාණ පළමුව ආරම්භ කර තිබේ. ඒ 1970දී පමණ ජපානයේදී ය.

ඉන්පසුව එය නවකතා, චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා ලෙස ප්‍රකට වීමට ආරම්භ වූයේ, 1990 දශකයේ පමණ සිට ය.

බටහිර සිනමාව සහ කලාව තුළ සමරිසි පිරිමි සබඳතා ඇතුළත් නිර්මාණ ඒ වන විටත් බිහි වී තිබිණි. වසර කිහිපයකට පෙර නවකතාවක් ලෙස සහ චිත්‍රපටයක් ලෙස ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ කතාවක් ලෙස, Red, White & Royal Blue හැඳින්විය හැකි ය.

මෙම නවකතාව සිංහලට ද පරිවර්තනය වී තිබේ.

ඇමෙරිකානු ජනාධිපතිවරයෙකුගේ පුත්‍රයෙකු සහ බ්‍රිතාන්‍ය රජ කුමරෙකු අතර ඇති වන සම්බන්ධතාවක් එයට තේමා වී තිබිණි.

නමුත් නැගෙනහිර ආසියාව මුල් කර ගනිමින් නිර්මාණය වී ඇති BL තේමාවේ නිර්මාණ වර්තමානයේ ලොව පුරා වඩාත් ජනප්‍රිය වී තිබේ.

2014 වසරේ නිකුත්ව ඇති Love Sick නැමති BL තේමාවක් සහිත තායි රූපවාහිනී කතා මාලාවක් පුළුල් ලෙස ගෝලීය ප්‍රේක්ෂක අවදානය දිනා ගැනීම, මෙම තේමාවේ කතා මාලාවලට ගෝලීය අවදානයක් යොමු වීමේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකි ය.

එම කාලය වන විට කොරියානු රූපවාහිනී කතා මාලා කිහිපයක් ද ගෝලීයව අතිශය ජනප්‍රිය වී තිබූ අතර 2010න් පසුව නැගෙනහිර ආසියානු රටවල්වල නිකුත් වූ බොහෝ කතා මාලාවන්, ආසියාවේ මෙන් ම බටහිර රටවල්වල ද අතිශය ජනප්‍රිය විය.

වර්තමානය වන විට BL තේමාවන් සහිත කොරියානු, තායිලන්ත, චීන සහ ජපන් රූපවාහිනී කතා මාලා ජනප්‍රිය වී ඇති අතර නෙට්ෆ්ලික්ස් වැනි කතා මාලා නැරඹිය හැකි වේදිකා හරහා ලොව පුරා විශාල ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් මෙම කතා නරඹති.

නැගෙනහිර ආසියානු නාට්‍ය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වීම

ශ්‍රී ලංකාවේ වර්තමානය වන විට කොරියානු, තායි, චීන සහ ජපන් ටෙලි කතා මාලා නරඹන විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටිති.

නැගෙනහිර ආසියානු රටවල්වල නාට්‍ය ශ්‍රී ලංකාවේ විකාශය වීමේ ඉතිහාසය 80 දශකය පමණ දක්වා දිව යන අතර, එකල ජාතික රූපවාහිනිය හරහා හඬකවා විකාශය කළ 'ඔෂීන්' කතා මාලාව ශ්‍රී ලංකාවේ දශක කිහිපයකට පෙර අතිශය ජනප්‍රිය වූ කතා මාලාවකි.

එය මේ දක්වා කිහිපවරක් ම නැවත විකාශය ද සිදු කර තිබේ.

ඉන්පසුව කොරියානු නාට්‍ය හඬකවා විකාශය කිරීම ආරම්භ වූ අතර, ෆුල් හවුස් කතා මාලාවෙන් ඇරඹුණු කොරියානු නාට්‍ය රැල්ලේ කලක් ගත වන තෙක් ම විකාශය කෙරුණේ ඓතිහාසික තේමාවන් පාදක වූ නාට්‍ය ය.

එලෙස කොරියානු නාට්‍ය සඳහා වැඩි වශයෙන් ප්‍රේක්ෂක අවධානය හිමි වූ අතර, මෙම කාලයේ පරිගණක සහ ටෙලිකතා නරඹන වේදිකා ශ්‍රී ලංකාවේ එතරම් සුලභ නොවූ නිසා බොහෝ දෙනෙකු ඒවා නැරඹීම සිදු කළේ CD, DVD හෝ රූපවාහිනී හරහා ය.

2014, 2015 වැනි කොරියානු කතා මාලාවන් ශීඝ්‍රයෙන් ශ්‍රී ලංකාවේ විකාශය වූ සමයේ මම සහ මගේ මිතුරියන් ද ඒවා නැරඹීමට විශාල උනන්දුවක් දැක්වූවෙමු.

එම කාලයේදී CD, DVD විකිණීම සිදු කළ ස්ථාන ද සුලභ වූ නිසා අප අලුත් කතා මාලාවන් සොයා ගත්තේ එම වෙළෙඳ සල්වලිනි.

එමෙන් ම අප අතර එම CD හෝ DVD හුවමාරු කරගෙන නැරඹීම ද සිදු විය.

ටික කලක් ගත වන විට සමාජ මාධ්‍ය හරහා ප්‍රේක්ෂක සමූහ නිර්මාණය වූ අතර, ඒවා හරහා ද නව කොරියානු, තායි, චීන ඇතුළු කතා මාලා නැරඹීමට ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි විය.

මෙම කාලයේ ද ඇතැම් BL තේමාවන් සහිත නාට්‍ය නැරඹීම සිදු විය.

Wattpad නවකතා ජනප්‍රිය වීම

Wattpad යෙදවුම හරහා වර්තමානයේ ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් BL තේමාවන් සහිත නවකතා කියවීම සිදු කරන අතර, බොහෝ දෙනෙක් එවැනි තේමාවන් සහිත නවකතා ලිවීම ද ඒ හරහා සිදු කරති.

මාගේ මිතුරියන් දෙදෙනා ද Wattpad හරහා නවකතා කියවීමට දැඩි උනන්දුවක් දක්වන අතර ඔවුන් BL තේමාවන් සහිත කතා මාලාවන් ඒ හරහා කියවීම ආරම්භ කළේ කුමන කාලයක ද යන්න ඔවුන් දෙදෙනාගෙන් මම විමසුවෙමි.

"කොරෝනා කාලෙ ෆේස්බුක් එකේ වයිරල් ගියා mo xiang tong xiuගෙ BL novel එකක් වෙන mo dao zu shi එකේ සිරීස් එක. ඒකෙ නම The untamed. Bromance කැටගරි එකෙන් විකාශය වුණේ. සම්පූර්ණයෙන් ම BL එකක් විදිහට නෙමෙයි," මිතුරියක් පැහැදිලි කළා ය.

Bromance යනු පිරිමින් දෙදෙනෙකු අතර ඇති සමීප, මානසික සම්බන්ධතාවක් වන අතර එයට ලිංගික සම්බන්ධතා ඇතුළත් නොවේ.

එම චීන කතුවරයාගේ වෙනත් එවැනි තේමාවක් සහිත නවකතා සිංහලට පරිවර්තනය කර ඇති බවත් ඒවා ද එම කතා කියවන පිරිස් අතර ජනප්‍රිය වී ඇති බවත් ඇය පවසයි.

"ඒ කාලෙ කට්ටිය ඕක කියවල BL ගැන තව හොයන්න ගත්තා. ෆේස්බුක් එකේ ගෲප් හැදුණා," අනෙක් මිතුරිය විස්තර කළා ය.

"ඊට පස්සෙ තායි BL ප්‍රසිද්ධ වෙන්න ගත්තා. දැන් තරම් ගොඩක් තිබ්බෙ නෑ ඒ කාලෙ, හැබැයි හොඳ ඒවා තිබුණා. ඊට පස්සෙ ජැපනීස්, කොරියන්, තායිවාන් BL ආවා, බටහිර ඒවා කොහොමත් තියෙනව නෙ. හැබැයි මේව ඒවට වඩා අල්ලල ගියා."

"පස්සෙ මේ ළඟකදී Kinporshche කියලා තායි BL එකක් එළියට ආවා ඒකෙ පොඩ්ඩක් රිවීල් සීන්ස් වැඩියි, අන්න ඒකත් එක්ක ඕව බලන අය තව වැඩි වුණා," ඇය විස්තර කළා ය.

Wattpad 2020 වසරේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වීම ආරම්භ වූ බව ඔවුහු පැවසූහ.

"මුලින් ලියන අය හිටියෙ ටික දෙන යි. දැන් වෙනකොට ගණන් කරන්නත් බැරි තරම් ඉන්නවා. මේ දවස්වල සෑහෙන්න කියවන නවකතාවත් මුලින් ම Wattpad එකේ ලියපු කතාවක්. මිලියන ගාණක් ඒ කතාව බලලා තිබුණා," ඔවුන් දෙදෙනා පවසති.

එම නවකතාව පොතක් ලෙස එළිදැක්වීමේදී එම කතුවරිය ඇගේ නම ලෙස යොදා ඇත්තේ, Wattpadහි ඇය භාවිත කරන පරිශීලක නාමය (User Name) බව ද ඔවුහු පැවසූහ.

තරුණියන් වැඩි වශයෙන් BL තේමාවේ නිර්මාණවලට උනන්දු ඇයි?

ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් අතරින් මෙම BL තේමාවට අයත් නිර්මාණ වැඩි වශයෙන් රස විඳින්නන් අතර තරුණියන් වැඩි ප්‍රමාණයක් සිටින බව නිරීක්ෂණය කළ හැකි ය.

විශේෂයෙන් ම සමාජ මාධ්‍ය තුළ ඇති ප්‍රේක්ෂක සමූහවල ද සාමාජිකයන්ගෙන් වැඩි පිරිසක් තරුණියෝ වෙති.

මා සමග අදහස් දැක්වූ මිතුරියන්ගෙන් ඔවුන් ඒවා වැඩි වශයෙන් නැරඹීමට හේතුව කුමක් දැයි විමසා බැලුවෙමි.

"බෝයිස්ලා දෙන්නෙක් ලව් කරනකොට එතන පර්ෆෙක්ට් ගතියක් පේනවා. ඒ දෙන්න ම පිරිමි නිසා එයාලට ඕනේ මොනව ද කියලා එයාලට හොඳට තේරෙනවා ඇති කියලා හිතෙනවා. ගෑනු ළමයි දෙන්නෙක් හරි පිරිමි ළමයෙකුයි ගෑනු ළමයෙකුයි අතර තියෙන සම්බන්ධවලට වඩා BL කතාවල තියෙන ඒවා හරි ලස්සනයි, පර්ෆෙක්ට්," එක් මිතුරියක් පැවසුවා ය.

මෙලෙස බොහෝවිට තරුණියන් BL තේමාවන් සහිත කතා නැරඹීමට හෝ කියවීමට උනන්දු වන්නේ ඇයි දැයි බීබීසී සිංහල සේවය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය (කොන්ත්‍රාත් පදනම) ඕෂධ පෙරේරාගෙන් විමසීමක් කළේ ය.

"ආසියාතික සමාජයේ පිරිමි අයට සාපේක්ෂව කාන්තාවන් ආරක්‍ෂිත අවකාශයක් සොයමින් ඉන්න බවක් පේනවා. BL කතා ගත්තට පස්සේ මේ කියන සන්දර්භය ඒක ඇතුළේ සම්පූර්ණයෙන් ම ඉවත් වෙනවා. පිරිමියා - ගැහැනිය කියන දෙන්නා අතර තියෙන සම්බන්ධතාවකදී ගැහැනිය සම්බන්ධයෙන් තියෙන ආකෘතිමය ස්වභාවය ඉවත් වෙනවා. ඒ ඉවත් වීමත් එක්ක කාන්තාවන්ට වැඩිපුර ඒ කතාවට ඇතුළු වෙලා අර කියන අනාරක්ෂිතකම ගැන අවිඥානිකව එන අපහසුතාවයෙන් මිදිලා හොඳ ගවේෂණයකට යන්න පුළුවන්," ඔහු පැහැදිලි කළේ ය.

"අපි වුණත් අපි අත්දැකලා නැති දේවල් තියෙන නිර්මාණ, සින්දුවලට එහෙම කැමති වෙන්න පුළුවන් නේ. එතකොට ගැහැනු ළමයි සම්බන්ධතාවල අත්දැකීම් ගන්න මුල් කාලේදී හෝ ඔවුන් ඒ සම්බන්ධයෙන් අත්දැකීමක් නැති කාලයේදී එයාලාගේ නිරීක්ෂණවලට මේ වගේ සුවපහසු කලාපයන් හසුවෙනවා වෙන්න පුළුවන්," කථිකාචාර්යවරයා පැහැදිලි කරයි.

"සමාජය තුළ හැදුණු පරමාදර්ශී කියන ආකෘතින් තියෙනවා. මෙහෙම වුණොත් හොඳයි කියලා හිතන් ඉන්න දේවල් තියෙනවා. සම්බන්ධතාවකදී කාන්තාවක් පීඩනයට පත්වෙන්නේ නැති වගේ සමාජයකට අපි කැමති වෙන්න පුළුවන්. ඒ වගේ අපිට සම්බන්ධතා ගැන යම් යම් පරමාදර්ශයන් තියෙන්න පුළුවන්."

"තමන්ට අවිඥානිකව ම මුහුණ දෙන්න වෙලා තියෙන අපහසුතා එක්ක එයා සම්බන්ධතාවක් නම් මෙහෙමයි කියලා විශ්වාස කරන ඒ පරමාදර්ශය, මානසික සම්බන්ධය BL කතා ඇතුළේ ගොඩක් වෙලාවට තියෙන්න පුළුවන්. ඒ නිසා ගැහැනු ළමයි ගොඩක් වෙලාවට මේ වගේ දේවල් කියවන්න හෝ නරඹන්න යොමු වෙන්න පුළුවන්," ඔහු පැවසුවේ ය.

මේ වන විට මෙවැනි තේමාවන් සහිත කතා සඳහා පොදුවේ එල්ල වී ඇති චෝදනාවක් වන්නේ, ඒවා හරහා සමරිසිභාවය ප්‍රවර්ධනය කරනවා යන්න ය. එවැනි කතා කියවීම හෝ නැරඹීම හරහා එවැනි බලපෑමක් සිදුවන්නේ ද යන්න එහිදී අපි කථිකාචාර්යවරයාගෙන් විමසීමු.

"කෙනෙක්ට යම්කිසි සම්බන්ධතාවක් ඇතුළේ ලොකු පීඩනයක් තියෙනවා නම් එයා අහන, දකින, කියවන දේ ඇතුළෙ තියෙන්නේ සමලිංගික සම්බන්ධතාවක් නම් සහ ඒක හරි ම ධනාත්මක, රොමෑන්ටික් තැනක තියෙනවා නම් නිරායාසයෙන් මේ ඉන්න තැන හොඳ නෑ, අතන හොඳයි වගේ කියලා හිතෙන සම්භාවිතාවක් තියෙනවා. නමුත් ඒක සම්භාවිතාවක් විතරයි," ඔහු පැවසුවේ ය.

"සමාජීය පීඩනය මත සඟවාගෙන ඉන්න, යටපත් කරගෙන ඉන්න දේවල් තියෙනවා. අපිට යම් මොහොතක හිතුණොත් අපි යටපත් කරගෙන ඉන්න දේ සමාජයේ සිද්ධ වෙන දෙයක්, සාමාන්‍ය දෙයක් කියලා, ඒ ඔස්සේ අපේ චර්යාවන් වෙනස් කර ගන්න පුළුවන්කමක් තියෙනවා," කථිකාචාර්ය ඕෂධ පවසයි.

"කෙනෙක්ට සමලිංගික නැඹුරුතාවක් තියෙනවා කියලා හිතන්න. සමාජයෙන් එන පීඩනය නිසා ඒ කෙනා විෂම ලිංගිකයන් හැටියට හැසිරෙන්න පුළුවන්. නමුත් යම්කිසි අවස්ථාවක මේ වගේ දෙයක් කියවලා හෝ නරඹලා මේ වගේ දේවල් සාමාන්‍ය යි කියලා දැනෙන මොහොතේ ම අර විෂම ලිංගික නැඹුරුතාවයෙන් මිදිලා සම ලිංගික නැඹුරුතාවකට යන්න තියෙන ඉඩකඩ වැඩි යි," ඔහු පැවසුවේ ය.

"මේ දේ විතරක් නෙවෙයි ඕනෑම දෙයක් සාමාන්‍යකරණය වෙනකොට ඒක සිද්ධ වෙන දෙයක්," ඔහු අවසන් වශයෙන් පැවසුවේ ය.