ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'LGBTQ ටුවරිස්ට්ලට ලංකාව ට්‍රැවල් කරන්න පුළුවන් ඩෙස්ටිනේෂන් එකක් කියන එක විතරයි අපි තහවුරු කරලා තියෙන්නේ'
- Author, බීබීසී සිංහල
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මගින් සමලිංගිකත්වය ප්‍රචාරණය නොවන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය පවසයි.
විදේශීය සමලිංගික ප්‍රජාව ඉලක්ක කර ගනිමින් LGBTQ ප්‍රවර්ධනයක් මෙරට තුළ සිදු කිරීමට සංචාරක මණ්ඩලය සූදානම් වන බවට මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් ඇතිව තිබේ.
ඒ, සංචාරක මණ්ඩලය සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වෙත යොමු කළ ලිපියක් හේතුවෙනි.
මෙලෙස එල්ල වන විරෝධයට කාදිනල් මැල්කම් රංජිත් හිමියන් මෙන් ම විපක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන් ද එක්ව සිටින අයුරු දැක ගත හැකි ය.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය කියන්නේ කුමක් ද?
කෙසේ වෙතත්, මෙම වැඩසටහන පිළිබඳව මෙතෙක් සමාජයට හෙළිව නැති බවට නිරීක්ෂණය වී ඇති හෙයින් බීබීසි සිංහල ඒ පිළිබඳව තවදුරටත් සොයා බැලීය.
"LGBTQ ටුවරිස්ට්ලට ලංකාව ට්‍රැවල් කරන්න පුළුවන් ඩෙස්ටිනේෂන් එකක් කියන එක විතරයි අපි තහවුරු කරලා තියෙන්නේ," යැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති බුද්ධික හේවාවසම් බීබීසී සිංහල සේවයට පැවසීය.
සමරිසි විදේශිකයන් වෙනුවෙන් විශේෂිත ව්‍යාපෘතියක් හෝ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමක් සංචාරක මණ්ඩලය නොකරන බව ද ඔහු අවධාරණය කළේ ය.
"පහුගිය කාලේ තිබුණානේ ලංකාවේ LGBTQ අයට සංචාරය කරන්න බැහැ, එහෙම නැත්නම් ඒගොල්ලෝ පීඩාවට පත් වෙනවා වගේ තත්ත්වයක්. ඒ තත්ත්වය නැති කිරීම තමයි අපි කරලා තියෙන්නේ.
"යම් ආකාරයකට ඒගොල්ලන්ව අසමානතාවට ලක් කිරීම, පීඩාවට පත් කිරීම වගේ දේවල් නැහැ, අපේ ඉන්ඩස්ට්‍රි එක ඒගොල්ලන්ව පිළිගන්නවා අනෙකුත් සමාන්‍ය ටුවරිස්ට් කෙනෙක් වගේ ම, ඒගොල්ලන්ගේ අනන්‍යතාවට බාධාවක් වෙන්නේ නැතුව අනිත් සංචාරකයින්ට වගේ ඒගොල්ලන්ටත් විවෘතයි කියන පණිවිඩය තමයි අපිට දෙන්න ඕනේ," යැයි සභාපතිවරයා කියා සිටියේ ය.
'දැනටත් විවිධත්වය, සමානාත්මතාව අන්තර්ගතයි'
වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ජාතිය, ලිංගික දිශානතිය හෝ වෙනත් කරුණක් මත වෙනස් කොට සැලකීමක් සිදු නොකරන බව සඳහන් යැයි සිහිපත් කළ බුද්ධික හේවාවසම් සභාපතිවරයා එම තත්ත්වය සංචාරකයන් හට තහවුරු කිරීමේ අවශ්‍යතාව සංචාරක මණ්ඩලයේ තිබූ බව ද සඳහන් කළේ ය.
"ඔය ලියුම ලංකාවේ LGBTQ කමියුනිටි එකේ සමානාත්මතාව වෙනුවෙන් කාර්යයක් ඉටුකරන සංවිධානවල ඉල්ලීමකට අනුව අපි කරපු ප්‍රතිචාරයක්," යැයි සමාජ මාධ්‍ය තුළ පැතිර යන ලිපිය ගැන සඳහන් කරමින් සභාපතිවරයා පැවසීය.
දැනටත් LGBTQ සංචාරක කර්මාන්තය මෙරට තුළ ක්‍රියාත්මක බව පෙන්වා දුන් සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා විවිධත්වය, සමානත්ව සහ සියලු දෙනා අන්තර්ගත සංචාරක කර්මාන්තය මෙරට තුළ ක්‍රියාත්මක බව පැවසීය.
නීතිවිරෝධි ක්‍රියාකාරකමක් නොකරන ඕනෑ ම සංචාරයෙකුට කිසිදු වෙනස්කමකින් තොරව රට තුළ සංචාරය කළ හැකි බව ද ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති බුද්ධික හේවාවසම් අවධාරණය කළේ ය.
'අපි මුකුත් ප්‍රමෝට් කරන්නේ නැහැ ලංකාවේ'
සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් යන ලිපිය සංචාරක මණ්ඩලය විසින් Equal Ground සංවිධානය වෙත යවන ලද්දක් වන අතර බීබීසී සිංහල එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරිය වන රොසානා ෆ්ලෙමර් කල්දේරාගෙන් ද මේ පිළිබඳව විමසීය.
"අපි මුකුත් ප්‍රමෝට් කරන්නේ නැහැ ලංකාවේ. අපි ඩයිවර්සිටි, ඉක්විටි සහ ඉන්ක්ලූෂන් වැඩසටහන් කරනවා ටුවරිස්ට් හෝටල්වලට, ටුවර් ඩ්‍රයිවර්ස්ලට, ටුවර් ගයිඩ්ලා එක්ක. එතකොට ඒ අයව සූදානම් කරන්න පුළුවන් මේ වගේ අය එනකොට හොඳ විදිහට සලකන්න," යැයි ඇය කියා සිටියා ය.
මෙම වැඩසටහනට ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අවසරය ඉල්ලා සිටි බවත් ඒ සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය අවසරය ලබා දුන් බව ද Equal Ground සංවිධානයේ අධ්‍යක්ෂවරිය සඳහන් කළා ය.
"අපි ලොකු දෙයක් කියන්නේ නැහැ. අපි කියන්නේ එන ඕන කෙනෙක්ගේ ගෞරවය ආරක්ෂා කරන්න කියලා.
"අපි කියන්නේ සංචාරකයෝ එනවා නම් LGBTQ කණ්ඩායමෙන් ද නැත්නම් විෂම ලිංගිකයන් වුණත් ඒගොල්ලෝ එනවා සල්ලි වියදම් කරන්න අපේ රටට, ඉතින් ඒ අයට නරක විදිහට සලකනවා නම් ඒගොල්ලෝ ආයෙමත් එන්නේ නැහැ. එහෙම වුණොත් ඒ අය ගිහිල්ලා කියයි මේ රටට එන්න එපා කියලා," යැයි රොසනා ෆ්ලෙමර් කල්දේරා පැවසුවා ය.
'අපිත් ලාංකික කට්ටිය. අපිත් කැමති අපේ රට ඉස්සරහට යනවාට'
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන සමලිංගික විදේශිකයන් කෙරෙහි මෙරට නීතිය සහ රට තුළ කළ හැකි සහ නොහැකි දේ පිළිබඳව ලියවුණු අත්පොතක් ලබා දීමට කටයුතු කරන බව ද ඇය කියා සිටියා ය.
"අපිත් ලාංකික කට්ටිය. අපිත් කැමති අපේ රට ඉස්සරහට යනවට. මේ වගේ ප්‍රශ්න දානවා නම් අපි කවදාවත් ඉස්සරට යන්නේ නැහැ. අපි ඔක්කොම එකතු වෙලා මොකක් හරි කරන්න ඕනේ රටට," යැයි සමලිංගික අයිතීන් වෙනුවෙන් හඬ නගන රොසානා අවධාරණය කළා ය.