සල්මාන් රුෂ්ඩී: 'ඇසක් අහිමි වීම මාව හැමදාම කම්පනයට පත් කරනවා'

ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩී මීට වසර දෙකකට පෙර තමාට වේදිකාවක් මතදී පිහියකින් එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මතකයේ ඇති බියකරු විස්තර බීබීසී පුවත් සේවයට පැවසීය.

බුකර් ත්‍යාගලාභී කතුවරයා පැවසුවේ, ඔහුගේ ඇස "අඩක් තැම්බූ බිත්තරයක් මෙන්" ඔහුගේ මුහුණේ එල්ලී තිබූ බවත්, එම ඇස අහිමි වීම "සෑම දිනක ම තමන් කම්පනයට පත් කරන" බවත් ය.

"මට මතකයි මම හිතුවේ මම මිය යමින් සිටිනවා කියලා," ඔහු පැවසීය. "වාසනාවට, මම හිතුව විදිහ වැරදියි."

සිදුවූ දෙයට එරෙහිව සටන් කිරීමේ මාර්ගයක් ලෙස තමන් සිය නව පොත වන 'Knife' භාවිත කරන බව ශ්‍රීමත් සල්මාන් පැවසීය.

ආගම බරපතළ ලෙස නොඅදහන මුස්ලිම් දෙමාපියන්ට දාව උපත ලද අදේවවාදියෙකු වන ශ්‍රීමත් සල්මාන්, දිගු කලක් තිස්සේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් හඬ නැගූවෙකි.

එහෙත්, එය "අතිශයින් දුෂ්කර" තත්ත්වයකට පත්ව ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.

"කනගාටුයි කියන්න, බොහෝ තරුණයින් ඇතුළු බොහෝ පිරිසක්, කතා කිරීමේ නිදහස සීමා කිරීම බොහෝවිට හොඳ අදහසක් බවට මතයක් ගොඩනගා ගෙන තිබෙනවා," ඔහු පැවසීය.

"ඇත්ත වශයෙන් ම, භාෂණයේ නිදහස කියන සංකල්පයේ සමස්ත කාරණය නම්, ඔබ එකඟ නොවන කතාවකට ඔබ අවසර දිය යුතුයි කියන එක යි."

ප්‍රහාරය එල්ල වූයේ, 2022 වසරේ අගෝස්තු මාසයේදී නිව් යෝර්ක්හි අධ්‍යාපන ආයතනයක දේශනයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටි අවස්ථාවේදී ය.

ප්‍රහාරකයා විසින් "පඩිපෙළ මතින් වේගයෙන් දුවවිත්" තත්පර 27ක් පුරා එල්ල කළ ප්‍රහාරයෙන් ඔහුගේ ගෙළ සහ උදරය ඇතුළු ස්ථාන කිහිපයකට 12 වරක් පිහියකින් අනින ලද ආකාරය ඔහු ආවර්ජනය කළේය.

"මට ඔහු එක්ක සටන් කරන්න හැකියාවක් තිබුණෙ නෑ," කතුවරයා පැවසීය. "මට ඔහුගෙන් බේරිලා දුවන්න පුළුවන්කමක් තිබුණෙත් නෑ."

ශ්‍රීමත් සල්මාන් පැවසුවේ, ඔහු බිම ඇද වැටුණු බවත්, එහිදී ඔහු තමන් වටා තිබූ "ලේ විලක්" මත වැතිරී සිටි බවත් ය.

හෙලිකොප්ටරයකින් ඔහු රෝහල කරා රැගෙන යනු ලැබූ අතර, සුවය ලැබීම සඳහා ඔහු සති හයක කාලයක් එහි ගත කළේය.

76 හැවිරිදි ඉන්දියාවේ උපන් බ්‍රිතාන්‍ය-අමෙරිකානු කතුවරයා නූතන කාලයේ වඩාත් බලපෑම් කළ හැකි කර්තෘවරුන් අතරින් කෙනෙකු විය.

ශ්‍රීමත් සල්මාන් මීට පෙර වසර ගණනාවක් සැඟවී සිටියේ, 1988 පළ වූ 'The Satanic Verses' නමැති කෘතිය හේතුවෙන් ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වීමෙන් පසුව ය.

යම් දිනක යම් පුද්ගලයෙකු "ප්‍රේක්ෂකාගාරයෙන් ඉවතට පැන එනු ඇතැයි" තමන් සිතූ බව ඔහු පිළිගත්තේ ය. "පැහැදිලිව ම ඒක මගේ මනසට ආවෙ නැත්නම් ඒක නිකම් විකාරයක් වෙන්න තිබුණා."

ප්‍රහාරයට දින දෙකකට පෙර එම ප්‍රහාරය පිළිබඳව "නපුරු සිහිනයක්" දුටු බවත්, ඒ හේතුවෙන් එහි නොයා සිටීමට තමන්ට අවශ්‍ය වූ බවත් ඔහු පැවසීය.

"ඊට පස්සේ මම හිතුවා, ඒක හීනයක් කියලා. අනික, එයාලා මට හොඳට ගෙවනවා. හැමෝම ටිකට් මිල දී ගත්තා. මම යන්න ඕනේ."

'සෑම දිනක ම කම්පනයට පත්වීම'

මෙම ප්‍රහාරයෙන් ශ්‍රීමත් සල්මාන්ගේ අක්මාවට සහ අත්වලට හානි සිදුවූ අතර, ඔහුගේ දකුණු ඇසේ ස්නායුවලට ද හානි සිදුවිය.

ඔහුගේ ඇස "බෙහෙවින් ඉදිමී තිබූ" බව ඔහු පැවසීය. "ඒක මගේ මුහුණේ එල්ලිලා වගේ, මගේ කම්මුල උඩ, මම කියල තියෙනවා මීට කලින්, ඒක බාගෙට තම්බපු බිත්තරයක් වගේ කිව්වා. ඒ වගේ ම පෙනීමත් නැති වුණා."

ශ්‍රීමත් සල්මාන් පැවසුවේ, එක් ඇසක් අහිමි වීම "හැම දාක ම තමන් කම්පනයට පත් කරන," බව ය. පඩිපෙළකින් බැස යන විට, පාරක් මාරු වන විට හෝ වීදුරුවකට වතුර වත් කිරීමේදී පවා තමා වඩාත් සැලකිලිමත් විය යුතු බව ඔහු දැන් තේරුම්ගෙන සිටී.

කෙසේ වෙතත්, මොළයට හානියක් සිදුවීමෙන් වැළකීම, ඔහු වාසනාවක් ලෙස සලකයි. "එයින් අදහස් කළේ මට තවමත් මා විය හැකි බවයි."

ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩී පිහි ප්‍රහාරයට ලක්වූ ස්ථානයේ පැවති වැඩසටහන මෙහෙයවූ තැනැත්තා බීබීසී පුවත් සේවයට පැවසුවේ, ප්‍රහාරය වැළැක්වීමට ඊට වඩා වැඩි යමක් කිරීමට හැකි වූයේ නම් තමන් සතුටු වන බව ය.

"ඊට වඩා ඉක්මනින් ක්‍රියාත්මක වුණා නම්, බොහෝ දේ වළක්වා ගත හැකිව තිබූ බව හිතෙනවා," හෙන්රි රීස් පැවසීය.

කෙසේ වෙතත්, එදින තමාට උපකාර කළ හෙන්රි රීස් ඇතුළු පිරිසට මෙන් ම තමාට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට ශ්‍රීමත් සල්මාන්ගේ කෘතවේදීත්වය Knife ග්‍රන්ථයෙහි ආරම්භක පිටුවෙහි ම පැහැදිලි කර තිබේ.

එම පොතේ පිදුම වෙන් කර ඇත්තේ, සරලව ම, "මගේ ජීවිතය රැක දුන් පිරිමින් සහ කාන්තාවන් වෙනුවෙනි," යනුවෙනි.

'ඒක මරන්න හේතුවක් ද?'

ප්‍රථම වරට ශ්‍රීමත් සල්මාන් තමාට ප්‍රහාර එල්ල කළ බව කියන පුද්ගලයාට පැවසීමට කැමති දේ හෙළි කර තිබේ.

26 හැවිරිදි හාඩි මාටාර් නමැති නිව් ජර්සිහි පදිංචිකරුවෙකු ඔහුට පිහි ප්‍රහාර එල්ල කළ පුද්ගලයා ලෙස චෝදනා ලැබීය. තමන් වැරදිකරු නොවන බව මාටාර් පවසා ඇති අතර, ඇප මත නිදහස් නොකර ඔහු රඳවාගෙන සිටී.

බන්ධනාගාරයේ සිට නිව් යෝර්ක් පෝස්ට් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් මාටාර් පැවසුවේ, යූටියුබ් ඔස්සේ ඔහු ශ්‍රීමත් සල්මාන්ගේ වීඩියෝ නරඹා තිබූ බව ය. "ඒ වගේ වංක මිනිස්සුන්ට මම කැමති නෑ," මාටාර් පැවසීය.

ප්‍රහාරයෙන් පසු නව ග්‍රන්ථයක් පළ කිරීමට පෙර ඇලන් යෙන්ටොබ් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී, ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩි 2022 වසරේදී ඔහුගේ ජීවිතය අවසන් කිරීමට ආසන්න වූ පිහි ප්‍රහාරය ගැන කතා කරයි.

Knife ග්‍රන්ථය තුළ, ශ්‍රීමත් සල්මාන් ඔහුගේ ප්‍රහාරකයා සමග මනඃකල්පිත සංවාදයක් පවත්වන අතර, එහිදී ඔහු ඊට ප්‍රතිචාර දක්වයි.

"ඇමරිකාවේ, බොහෝ මිනිසුන් අවංක ලෙස පෙනී සිටියත්, ඔවුන් වෙස්මුහුණු දාගෙන බොරු කියනවා, ඔවුන් සියලු දෙනා ම මරා දමන්න ඒක හේතුවක් ද?" ඔහු අසයි.

ශ්‍රීමත් සල්මාන් කිසිදු අවස්ථාවක මාටාර් හමුවී නැත. එහෙත්, නඩු විභාගය ආරම්භ වන විට අධිකරණයේදී ඔවුන් මුහුණට මුහුණ හමුවනු ඇත.

ශ්‍රීමත් සල්මාන්ගේ පොත සාක්ෂියක් විය හැකි බැවින් එය සමාලෝචනය කිරීමට තමන්ට අයිතියක් ඇතැයි විත්තියේ නීතිඥවරුන් තර්ක කිරීමෙන් පසු නඩු විභාගය ප්‍රමාද විය. එය සරත් සෘතුවේදී සිදුවනු ඇතැයි දැන් අපේක්ෂා කෙරේ.

The Satanic Verses බෙහෙවින් ආන්දෝලනාත්මක වූයේ ඇයි?

සල්මාන් රුෂ්ඩී 1981 වසරේදී පළ කළ Midnight's Children ග්‍රන්ථය හේතුවෙන් ප්‍රසිද්ධියට පත් වූ අතර, එක්සත් රාජධානියේ පමණක් එහි පිටපත් මිලියනයකට වඩා අලෙවි විය.

එහෙත්, ඔහුගේ සිව්වන ග්‍රන්ථය වූ'The Satanic Verses' නමැති කෘතිය, ඉස්ලාම් ආගමේ ශාස්තෲවරයා වන මුහම්මද් තුමාගේ නිරූපණය සහ ආගම පිළිබඳ එහි සඳහන් කිරීම් අපහාසයක් ලෙස සලකනු ලැබූ අතර, මුස්ලිම් ජාතිකයින් බහුතරයක් වෙසෙන රටවල එය තහනම් කරන ලදී.

ඉරානයේ එවකට නායක අයතුල්ලා රුහොල්ලා කොමේනි 1989 වසරේදී ෆට්වා නමැති ආගමික ආඥාවක් නිකුත් කරමින් රුෂ්ඩී ඝාතනය කරන ලෙස ඉල්ලා කතුවරයාගේ හිසට අමෙරිකානු ඩොලර් මිලියන 3ක (ස්ටර්ලිං පවුම් මිලියන 2.4ක්) ත්‍යාගයක් පිරිනමන බව නිවේදනය කළේය. එම ෆට්වා ආඥාව කිසි විටෙකත් අවලංගු කර නැත.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, රුෂ්ඩීට දශකයකට ආසන්න කාලයක් සැඟවී සිටීමට සිදුවූ අතර, ඔහුට එල්ල වූ මරණ තර්ජන හේතුවෙන් සන්නද්ධ ආරක්ෂකයෙකු අවශ්‍ය විය.

තමන් ලේ විලක් මැද වැතිර සිටියදී, තමාට අයත් පෞද්ගලික දේ පිළිබඳව "මුග්ධ ලෙස කල්පනා කළ" ආකාරය ශ්‍රීමත් සල්මාන් සිහිපත් කරයි.

සිය රැල්ෆ් ලෝරන් ඇඳුම විනාශ වීම, මෙන් ම, තමන්ගේ නිවසේ යතුර සහ ක්‍රෙඩිට් කාඩ් සිය පසුම්බියෙන් වැටෙනු ඇතැයි යන්න පිළිබඳව ඔහු බියෙන් සිට ඇත.

"ඇත්ත වශයෙන් ම ඒ වෙලාවේ හැටියට, ඒක හාස්‍යජනක යි. ඒත් ආපසු හැරලා බලනකොට, මිය යාමට අදහස් නොකරන ජිවිත ආශාව වෙනුවෙන් මගේ යම් කොටසක් තිබුණා ද, ඒ කොටස තමයි මට කිව්වේ, නිවසේ යතුරු ඕනි , මට ඒ ක්‍රෙඩිට් කාඩ් ඕනි කියලා."

ඔහු වැඩිදුරටත් පැවසුවේ, "ජීවිත ආශාව" විසින් ඔහුට, "ඔබ ජීවත් වනවා. ජීවත් වෙන්න. ජීවත් වෙන්න," යනුවෙන් පැවසූ බව ය.

ප්‍රහාරයට වසරකට පෙර, ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩී සිය පස් වන බිරිඳ ලෙස අමෙරිකානු කිවිඳියක සහ නවකතාකාරියක වන රැෂෙල් එලීසා ග්‍රිෆිත් සමග විවාහ විය.

රුෂ්ඩි ආර්යාව බීබීසී පුවත් සේවයට පැවසුවේ, ඇය ප්‍රහාරය ගැන දැනගත් අවස්ථාවේ, "කෑ මොර දීමට පටන් ගත්" බව ය. "ඒක මගේ ජීවිතේ නරක ම දවස."

වෛද්‍යවරුන් ශ්‍රීමත් සල්මාන්ගේ ඇහි බැම එකට තබා මසන අවස්ථාවේ ඔහු සමග තමන් ද සිටි බව රුෂ්ඩී ආර්යාව විස්තර කරයි.

"මම ඔහුගේ ඇස්වලට ආදරෙයි, ඒ ඇස් දෙකත් අරගෙන එයා ගෙදරින් පිටත් වුණා. ඊට පස්සේ අපේ ලෝකය වෙනස් වුණා," ඇය පැවසීය. "දැන් මම ඔහුගේ එකම ඇහැට ඊට වඩා ආදරය කරනවා. මොක ද ඒකෙන් තමයි ඔහු ලෝකය දකින්නේ."

Knife යනු බියකරු කතාවක් සේ ම "අවම වශයෙන් ආදර කතාවක්" ද වනු ඇති බව ශ්‍රීමත් සල්මාන් විස්තර කළේය.

"මෙතන එකිනෙක ගැටෙන බලවේග දෙකක් තිබුණා. එකක් ප්‍රචණ්ඩත්වය, උන්මත්තකභාවය, ආගම්වාදය, අනෙක තමයි ආදරයේ බලවේගය," ඔහු පැවසීය. "ඇත්ත වශයෙන් ම, ආදරයේ බලය මගේ බිරිඳ එලිසාගේ රූපය තුළ අන්තර්ගත වෙනවා."

"අවසානයේදී, සිදුවූයේ කුමක් ද කියලා මට වැටහෙන ආකාරයට, වෛරයේ බලවේගවලට වඩා ආදරයේ බලය ශක්තිමත් බව ඔප්පු වුණා."

ශ්‍රීමත් සල්මාන් පැවසුවේ, ඔහු යළිත් ප්‍රසිද්ධ වැඩසටහන්වලට සහභාගි වන බව ය. එහෙත්, ඉදිරියේදී "වඩාත් ප්‍රවේශම්" වන බව ද ඔහු පැවසීය. "ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නය මගේ පළමු ප්‍රශ්නය වෙයි. මම ඒ ගැන සෑහීමකට පත් නොවුණොත්, ඒක කරන්නේ නැහැ."

එහෙත්, තමන් "ඉතා හිතුවක්කාර පුද්ගලයෙකු," බව ඔහු පැවසීය.

“මට සීමා හෝ බාධා සහිත ජීවිතයක් අවශ්‍ය නැහැ,” ඔහු පැවසීය. "මම මගේ ජීවිතය මට ඕන විදිහට ගත කරනවා."