ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පුටින් ගැන කළකිරිලා ඉන්නේ. ඒත් සාකච්ඡා නතර කරල නෑ, ට්‍රම්ප් බීබීසීයට කියයි
- Author, ගැරී ඕ'ඩොනග්‍යු
- Role, උතුරු ඇමෙරිකා ප්‍රධාන වාර්තාකරු
- වාර්තාකරණය, වොෂින්ටන් සිට
ව්ලැදිමීර් පුටින් පිළිබඳව තමන් කලකිරීමට පත්ව සිටින නමුත් ඔහු සමග සාකච්ඡා කිරීම අවසන් කර නැතැයි බීබීසී පුවත් සේවය සමග පැවති දුරකතන සංවාදයකදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ය.
පුටින් විශ්වාස කරනවා ද කියා විමසූ විට, ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ, "මම කවුරුවත් විශ්වාස කරන්නේ නෑ" යනුවෙනි.
යුක්රේනයට ආයුධ යැවීමේ සැලසුම් නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසු ට්‍රම්ප් දින 50ක් ඇතුළත සටන් විරාමයක් නොමැති නම් රුසියාවට දැඩි තීරුබදු පනවන බවට ද අනතුරු ඇඟවී ය.
වරක් නේටෝ සංවිධානය යල් පැන ගිය සංවිධානයක් ලෙස හැඳින්වූ ජනාධිපතිවරයා, ඕවල් කාර්යාලයේ පුළුල් සම්මුඛ සාකච්ඡාවකදී එයට ප්‍රශංසා කළ අතර එහි හවුල් ආරක්ෂක රීතියට ඔහුගේ සහයෝගය තහවුරු කළේ ය.
පෙන්සිල්වේනියාවේ බට්ලර්හි පැවති මැතිවරණ රැලියකදී ඔහුව ඝාතනය කිරීමට උත්සහ කිරීමේ සිද්ධියට වසරක් සපිරීම නිමිත්තෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීම සඳහා දුරකතනයෙන් ඇමතූ අවස්ථාවේදී ඔහු බීබීසී සමග විනාඩි 20ක් පමණ සංවාදයක නිරත විය.
ඝාතන උත්සහයෙන් ඔහුගේ ජීවිතයේ වෙනසක් වුණා ද? යන්න විමසූ අවස්ථාවේදී ට්‍රම්ප් පැවසුවේ ඔහු ඒ ගැන එතරම් සිතීමට උත්සහ නොකරන බව ය.
"එය මාව වෙනස් කළා ද කියලා මම හිතන්න කැමති නැහැ', මොක ද ඒ ගැන ඕනෑවට වඩා හිතන්න ගියොත් ජීවිතයේ වෙනසක් වෙන්න පුළුවන්," ට්‍රම්ප් පැවසුවේ ය.
ධවල මන්දිරයේදී නේටෝ ප්‍රධානී මාර්ක් රූට් හමුවීමෙන් සුළු මොහොතකට පසු, පැවති දුරකතන සංවාදයේදී ජනාධිපතිවරයා වැඩි කාලයක් ගත කළේ පුටින් කෙරෙහි ඔහුගේ කළකිරීම ගැන කතා කිරීමට ය.
රුසියාව සමග ගිවිසුමක් ඇති කර ගැනීමට තමන් සිව් වතාවක් උත්සහ කළ බව ට්‍රම්ප් පැවසීය.
පුටින් සමග ගනුදෙනු කිරීම අවසන් කර ඇත්දැයි විමසූ විට ට්‍රම්ප් පැවසුවේ, "මම ඔහු ගැන කළකිරීමට පත්ව සිටිනවා, නමුත් ඔහු සමග සාකච්ඡා කිරීම අවසන් කරලා නැහැ," යනුවෙනි.
"ප්‍රචණ්ඩත්වය නවත්වන්නේ කෙසේ දැයි විමසූ විට, ට්‍රම්ප් පැවසුවේ, 'ගැරී, අපි ඒ සඳහා කටයුතු කරමින් සිටිනවා,' යනුවෙනි.
"අපි හොඳ සාකච්ඡාවක් පවත්වනවා, මම කියනවා 'ඒක හොඳයි, මම හිතන්නේ අපි ප්‍රගතියක් ලබනවා කියලා', ඊට පස්සේ ඔහු සාකච්ඡාව ඉවර කරල ගිහින් කියෙව්වල ගොඩනැගිල්ලක් විනාශ කරනවා."
සංවාදය නේටෝ සංවිධානය වෙත ද යොමු වූ අතර, ට්‍රම්ප් මීට පෙර එය "යල් පැන ගිය" එකක් ලෙස විවේචනය කර තිබිණි.
නේටෝව තවමත් යල් පැන ගිය ආයතනයක් ලෙස ඔහු සිතන්නේ දැයි විමසූ විට, ට්‍රම්ප් පැවසුවේ, "නැහැ. දැන් මම හිතන්නේ ප්‍රතිවිරුද්ධ දෙයක්, මොක ද ඒ සංවිධානය තමන්ගේ ම බිල්පත් ගෙවනවා," යනුවෙනි.
කුඩා රටවලට විශාල රටවලට එරෙහිව ආරක්ෂා වීමට එය උපකාරී වන බැවින්, තමා තවමත් සාමූහික ආරක්ෂාවට සහය දක්වන බව ද ඔහු පැවසීය.
බ්‍රිතාන්‍යයේ අනාගතය ගැන විමසූ විට, ජනාධිපති ට්‍රම්ප් එය "නියම ස්ථානයක්" බව පැවසූ අතර, "මට එහි දේපළ තිබෙනවා කියලා ඔයා දන්නවා නේද?" යනුවෙන් ද විමසුවේ ය.
මේ වසරේ සැප්තැම්බර් මාසයේදී එක්සත් රාජධානිය වෙත පෙර නොවූ විරූ දෙවන රාජ්‍ය සංචාරයක් සඳහා පිටවත්වීමට තමා බලාපොරොත්තුවෙන් සිටින ආකාරය ගැන ද ඔහු කතා කළේ ය.
"හොඳ කාලයක් ගත කර චාල්ස් රජුට ගරු කරන්න, මන්ද ඔහු ශ්‍රේෂ්ඨ මහත්මයෙක්," සංචාරය අතරතුර තමාට සිදුකිරීමට අවශ්‍ය දේ පිළිබඳව ට්‍රම්ප් එසේ පැවසීය.