පොලිසියට ආරක්ෂාව ලබා දෙන්න පුළුවන් කාට ද? ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමසේකරට එල්ල වී ඇති චෝදනා මොනවා ද?

    • Author, බීබීසී සිංහල

සාමාන්‍යයෙන් පොලිසියෙන් ආරක්ෂාව දෙනු ලබන්නේ වින්දිතයින්ට සහ සාක්ෂිකරුවන්ට පමණක් බවත්, අපරාධකරුවෙකුට හෝ විත්තිකරුවෙකුට ආරක්ෂාව සැපයීම සඳහා ප්‍රතිපාදන නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසයි.

නාදුනන තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර තමන්ට පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බවට පළ වන වාර්තාවල සත්‍යයක් පවතින්නේ දැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් බීබීසී සිංහල කළ විමසීමකට අනුව ඔහු ඒ බව පැවසුවේය.

"සමාජ මාධ්‍යයේ එහෙම ලිපියක් සංසරණය වෙලා තියෙනවා. ඒ පිළිබඳව වාර්තාවක් අපි කැඳවනවා. ඒ වගේ ම සාමාන්‍යයෙන් පොලිසියෙන් ආරක්ෂාව දෙන්නේ සාක්ෂිකරුවන්ට සහ වින්දිතයින්ට පමණයි. අපරාධකරුවන්ට හෝ විත්තිකරුවන්ට ආරක්ෂාව සපයන්න ප්‍රතිපාදන නැහැ. මේ සම්බන්ධයෙන් පරීක්ෂා කරලා ඉදිරියේදී කරුණු දක්වන්න පුළුවන්," පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

ලසන්ත වික්‍රමසේකරට එරෙහිව එල්ල වී ඇති චෝදනා මොනවා ද?

මේ අතර, ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර සංවිධානත්මක අපරාධකරුවෙකු බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට අනුව ඔහුට එල්ල වී ඇති චෝදනා මොනවා දැයි බීබීසී සිංහල කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් පහත සඳහන් තොරතුරු අප වෙත ලබා දෙන ලදී.

  • 'මිදිගම ලසා' හෙවත් ලසන්ත වික්‍රමසේකර නමැති මොහු දිවයිනේ ලියාපදිංචි අංක 1305/2015 යටතේ බී ශ්‍රේණියේ ලියාපදිංචි අපරාධකරුවෙකු ලෙස නම් කර ඇති බවට ද තොරතුරු අනාවරණය වේ.
  • 'හරක් කටා' හෙවත් නදුන් චින්තක වික්‍රමරත්න අයගේ සමීපතමයෙකු වේ.
  • සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'මාකදුරේ මධුෂ්' යන අයගේ සමීපතමයෙකු ලෙස ද කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වේ.
  • 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් වැලිගම නගර සභාවට තරග කර පරාජය වී ඇත. එම මැතිවරණයේදී මොහුගේ මැතිවරණ ක්‍රියාකාරකම් සඳහා 'හරක් කටා' හෙවත් නදුන් චින්තක වික්‍රමරත්න යන අය සක්‍රීයව දායකත්වය ලබා දී ඇති බවට අනාවරණය වී ඇත.
  • 'හරක් කටා' යන අය සමග විරසකව සිටින විදේශගත සංවිධානත්මක අපරාධ කණ්ඩායම් සමාජිකයෙකු වන 'රොටුඹ අමිල' හෙවත් අමිල සේපාල රත්නායක නමැති අපරාධකරු මොහුව ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවත්, එම පාර්ශවය වෙතින් ජීවිත තර්ජන එල්ල වී ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇත.
  • 2021.09.03 යන දිනයේදී කොටවිල වරකාපිටිය විද්‍යාලය අසලදී ටී-56 වර්ගයේ ගිනි අවියකින් සහ පිස්තෝල අවිවලින් වෙඩි තබා ඝාතනය කරන ලද 'සන්ෂයින් සුද්දා' හෙවත් අමිල ප්‍රසංග හෙට්ටිහේවා ඝාතන කොන්ත්‍රාත්තුව 'මිදිගම ලසන්ත' යන අය විසින් සිදු කරනු ලැබීම.
  • 2008.07.03 වන දින වැලිගම පොලිස් වසමේදී පෞද්ගලික බස් රථයකින් ගමන් කරමින් සිටි පෞද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසකට අවි පෙන්වා බිය ගන්වා එම සේවිකාවන් සතුව තිබූ රුපියල් 270,000ක් වටිනා රන් භාණ්ඩ කොල්ලකෑමට අදාළව නඩු පවරා ඇත.
  • 2018.03.11 වන දින පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් ලසන්ත වික්‍රමසේකරගේ නිවසේ සිදුකළ පරීක්ෂාවකදී T-56 වර්ගයේ පතොරම් ළඟ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන කොළඹ සංවිධානත්මක අපරාධ නිවාරණ ඒකකය වෙත භාර දී ඇති බවට තොරතුරැ අනාවරණය වී ඇත.
  • 2025.07.16 වන දින වැලිගම ජාතික ජන බලවේගය පක්ෂයේ වැලිපිටිය සංවිධායක ලෙස සහ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය සඳහා තරග කරන ලද නීතිඥ තාරක නානායක්කාර යන අයගේ නිවසට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමේදී 'මිදිගම රුවන්' යන අයගේ පාර්ශවය විසින් එම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
  • එය 'මිදිගම ලසන්ත' විසින් සිදු කරන ලද බවට ඒත්තු ගන්වා ඔහුට වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට පත්වීමට බාධා ඇති කිරීම සඳහා අත්අඩංගුවට පත් කිරීමේ අරමුණින් සිදුකළ අපරාධයක් බවට තොරතුරු අනාවරණය වී ඇත.
  • හබරාදූව සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලදී මුදල් සහ දේපළ වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නඩු පවරා ඊට දඬුවම් ලබා ඇත.

පොලිස් කණඩායම් කිහිපයක් මගින් විමර්ශන

නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 4ක් විවිධ අංශ ඔස්සේ විමර්ශනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් බීබීසී සිංහල වෙත පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ ලැබෙන තොරතුරු, CCTV සහ දුරකතන ඇමතුම් විශ්ලේෂණ අනුව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බවය.

මේ අතර, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී කියා සිටියේ දින දෙක තුනක් ඇතුළත මෙම වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බවය.

"පොලිස් කණ්ඩායම් 4ක් යෙදෙව්වා. මේ වන විට තොරතුරු ලැබී තියෙනවා. දින 2ක් 3ක් ඇතුළත මේකට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගන්නවා. ඒ සඳහා නියෝගයක් ලබා දීලා තියෙනවා. ඒ ගැන තොරතුරු ලැබෙමින් තියෙනවා. අපි කණගාටු වෙනවා එතුමා ඝාතනයට ලක්වීම ගැන. මම ඊයෙත් කිව්වා මේක පාතාලය, නීතිවිරෝධී කටයුතු කරන කෙනෙක් ද වෙනත් කෙනෙක් ද කියන එක අපිට අදාළ නෑ. හැම ජීවිතයක් ම ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා," යැයි ඔහු පැවසුවේ ය.