ආත්මාරක්ෂාව වෙනුවෙන් සැකකරුවන් වෙඩි තබා ඝාතනය කිරීමට පොලිසියට බලයක් තිබේ ද?

    • Author, බීබීසී සිංහල

මානව හිමිකම් උල්ලංඝනය කරමින් පුද්ගලයන් වධ බන්ධනයට ලක් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය සතු අඳුරු ඉතිහාසය තැනින් තැන යළිත් ක්‍රියාත්මක වන බව පසුගිය දිනවල දැකගත හැකි විය.

එලෙස මානව හිමිකම් නොතකමින් පොලිසිය ක්‍රියා කිරීම හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළදී කිහිප වරක් ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වින්දිතයන්ට වැඳ සමාව ගැනීමට ද සිදුවූ අවස්ථා වාර්තා විය.

වැලිකන්දේ වෙඩි තැබීම සහ මීගමුවේ පූජකයාට පහර දීම

තියුණු ආයුධයක් වැනි යමක් රැගෙන පොලිස් නිලධාරීන්ට තර්ජනය කරන තරුණයෙකුට වෙඩි තබන ශබ්දයක් සහිත වීඩියෝවක් සති කිහිපයකට ඉහතදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එය පොලිස් නිලධාරියෙකු විසින් ම වීඩියෝ කරනු ලැබූ බවට අනුමාන කළ හැකි ය.

පසුව එම තරුණයා මිය ගිය බවට වාර්තා පළවූ අතර, 25 හැවිරිදි ඔහු මිය ගොස් ඇත්තේ උණ්ඩයකින් හෘදයට සිදුවූ තුවාලයකින් බවට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ අතර, දැනට දින දෙකකට පමණ ඉහතදී දේව මෙහෙයක් අවසන් කර යමින් සිටි කතෝලික පූජකවරයෙකු මීගමුව මහ රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් වී තිබුණේ තමන්ට පොලිසිය පහර දුන් බව සඳහන් කරමිනි.

තමන්ව හඹාගෙන පැමිණි පොලිස් නිලධාරීන් හය දෙනෙකු තමන්ට පහර දුන් බව පහර කෑමට ලක්වූ පූජකවරයා පවසන අතර, අණ නොතකා ධාවනය කරන ලද යතුරු පැදිය නවතා එය ධාවනය කළ පූජකවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව බහින්බස් වීමක් සිදුවූ බවට පොලිසිය පවසන බවට ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධව චෝදනා එල්ල වන පසුබිමක පොලිසිය වැලිකන්ද ප්‍රදේශයේ තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම මෙන් ම කතෝලික පූජකයකුට පහර දීම සම්බන්ධ චෝදනා ඇතුළුව දිනපතා ම පාහේ වාර්තා වන ඇතැම් සිදුවීම් හරහා පොලිසිය තමන් සතු බලය භාවිත කිරීම ගැන ප්‍රශ්නාර්ථයක් මතු වන අතර බීබීසී සිංහල එසේ බලය භාවිත කිරීමට හැකි ආකාරය පිළිබඳව කරුණු සොයා බැලීය.

'අවම බලය කියලා එකක් අද සමාජයේ නැහැ'

වර්තමානයේ පවතින නීතිය තුළ පවතිනුයේ අවම බලය නොව අවශ්‍ය බලය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් කියා සිටියේ ය.

"අවම බලය කියලා එකක් අද සමාජයේ නැහැ, නීතිවල. අද තියෙන්නේ අවශ්‍ය බලය කියලා."

මෙලෙස පොලිසිය විසින් බලය භාවිත කරනු ලබන සෑම අවස්ථාවකදී ම අධිකරණය මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකර, බලය භාවිත කිරීම නිවැරදි ද?, නැද්ද?, ප්‍රමාණය ඉක්මවා ගොස් තිබේ ද? යන්න අධිකරණය විසින් තීන්දු කරනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල වෙත පැවසීය.

ඔබට හෝ වෙන අයෙකුගේ ජීවිතයට හෝ දේපළවලට කරදරයක්, බාධාවක්, හිරිහැරයක් හෝ මරණයක් සිදුවිය හැකි අවස්ථාව ඊට විරුද්ධව පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය නීතිය තුළ පවතින බව ද ඔහු සඳහන් කළේ ය.

'අවශ්‍ය බලය කියන එකෙන් අදහස් කරන්නේ අවම බලය කියන එක'

අවම බලය භාවිත කිරීමේදී එය අවස්ථාවෝචිත විය යුතු බව නීතිඥ තිෂ්‍ය වේරගොඩ බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.

"අපි කියමු අවශ්‍ය බලය කියලා. මෙල්ල කරන්න අවශ්‍ය බලය කියන එකෙන් අදහස් කරන්නේ අවම බලය කියන එක තමයි මගේ මත ය."

'පොලිස් නිලධාරීන් පුහුණු කරන්න ඕනේ මැරෙන්න වෙඩි තියන්න නෙමෙයි'

මන්නයක් වැනි තියුණු ආයුධයක් රැගෙන එන විට තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරියාට ක්‍රියාත්මක විය හැකි මුත් එහිදී ඔහුට මිය යාමට වෙඩි තබනවා ද?, මෙල්ල කිරීමට වෙඩි තබනවා ද? යන්න ස්ථානෝචිතව තත්පර ගණනක් තුළ තීන්දු කළ යුතු දෙයක් බව ද නීතිඥවරයා පැහැදිලි කළේ ය.

"පොලිස් නිලධාරීන් පුහුණු කරන්න ඕනේ මැරෙන්න වෙඩි තියන්න නෙමෙයි. මෙල්ල කරන්න වෙඩි තියන්න. ඇමෙරිකාව වගේ රටවල්වල හරියට ඔය ප්‍රශ්නේ තියෙනවා මේ දවස්වල. අපි ඒ තත්ත්වයට යන්න අවශ්‍ය නැහැ. අපේ සමාජයේ තුවක්කු භාවිත කරන්න පුද්ගලයෝ නෑනේ. ඇමරිකාවේ පෞද්ගලික තුවක්කු තියාගෙන ඉන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් නොවන අවස්ථාවකදී කොහොම ද වෙඩි තියන්න ඕන කියන එක ආකල්පමය වශයෙන් වෙනස් කරන්න ඕනේ."

"අපි සමහරක් වෙලාවට දකිනවා ඒක මිනීමැරුමක් නොවේ ආත්මාරක්ෂාවට කරන ලද වෙඩි තැබීමක් කියලා කියන්න පුළුවන්. නමුත් එහෙම ආත්මාරක්ෂාවට මැරෙන්න වෙඩි තියන්නේ නැතුව ආත්මාරක්ෂාවට ඊට වඩා අඩු දෙයක් කරන්න පුළුවන් ද කියන එක ආකල්පමය ගැටලුවක්," නීතිඥවරයා පැවසීය.

අත්අඩංගුවට ගැනීමේදී පහර දීමට හැකියාවක් තිබේ ද?

පොලිසිය යම් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමේදී කිසිදු ආකාරයට පහර දීමට හැකියාවක් නොමැති බව නීතඥ තිෂ්‍ය වේරගොඩ අවධාරණය කළේ ය.

"පුද්ගලයෙක් කලහකාරී ලෙස හැසිරෙද්දි එයාව බිමට දාලා මෙල්ල කර ගන්න, අත් විලංගු දාන්න අවශ්‍ය බලය පාවිච්චි කරන්න පුළුවන්. අත් විලංගු දැම්මට පස්සේ නහය කට කැඩෙන්න දත් කැඩෙන්න ගහන්න බැහැ. ඒ අවස්ථාවේදී ඔහු මෙල්ල කර ගන්න අවශ්‍ය බලය තමයි පාවිච්චි කරන්න පුළුවන්."

පසුගිය වසර ගණනාවක් පුරා එලෙස පහර දීම් වැරැද්දක් බව තීන්දු කර තිබුණ ද එවැනි නිලධාරීන්ට එරෙහිව බොහෝ අවස්ථාවලදී විනය පියවර නොගැනීම ගැටලුවක් බව ඔහු කියා සිටියේ ය.

'ඒ බලය පාවිච්චි කළ යුත්තේ අවශ්‍යතාව මතයි '

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී සමානුපාතිකත්වයේ මූලධර්මයට කටයුතු කිරීමට පොලිසිය බැඳී සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ගෙහාන් ගුණතිලක බීබීසී සිංහල වෙත සඳහන් කළේ ය.

"පොලිස් නිලධාරියෙක් යම් කිසි පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නකොට ඒ පුද්ගලයා එල්ල කරන තර්ජනය ගැන යම්කිසි මිනුමක් තියෙන්න ඕනේ. ඒ මිනුමට අනුව තමයි, ඒ මිනුමට ප්‍රතිචාරයක් හැටියට ඒ අවශ්‍යතාව මත තමයි ඒ බලට පාවිච්චි කරන්න ඕනේ."

පොලිස් භාරයේ සිටින විට සහ පොලිසිය සමග සිදුවන ගැටුම්වලදී මරණ වළක්වා ගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති බැවින් පොලිසිය ඒ අනුව ක්‍රියා කිරීම අනිවාර්ය බව ද ආචාර්ය ගෙහාන් ගුණතිලක වැඩිදුරටත් කියා සිටියේ ය.