ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
T20 ලෝක කුසලානයේ සුපිරි 8 වටය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? මෙතෙක් විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් කවුද?
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 3
2026 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ පළමු තරගය අදින් (පෙබ: 21) ආරම්භ වේ.
සුපිරි කණ්ඩායම් 8 වටයේ පළමු තරගය පකිස්ථානය සහ නවසීලන්තය අතර පැවැත්වේ.
සුපිරි 8 වටයේ දෙවන කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (පෙබරවාරි 21 වැනිදා) පැවත්වීමට නියමිත ය.
සුපිරි 8ට ඇතුළත් කණ්ඩායම් මොනවා ද? එය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?
සුපිරි 8 වටයේ කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වේ.
එහි පළමු කාණ්ඩයට ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් ඇතුළත් ය.
දෙවන කාණ්ඩයට ඇතුළත් වන්නේ, එංගලන්තය, නවසීලන්තය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව ය.
සුපිරි 8 වටයේදී අදාළ කාණ්ඩයට අයත් කණ්ඩායම් 4 එකිනෙකා සමග තරග කළ යුතු ය.
කාණ්ඩ දෙකෙහි පළමු සහ දෙවන ස්ථානයට පත්වන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.
මෙතෙක් විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෝ
- වැඩි ම ලකුණු
තරගාවලියේ මෙතෙක් පැවති තරගවලදී වැඩි ම ලකුණු රැස් කර සිටින පිතිකරුවා වන්නේ, පකිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු, සහිබ්සාදා ෆර්හාන් ය.
ඔහු තරග 4කදී ලකුණු 220ක් රැස් කර සිටී.
දෙවන ස්ථානයේ පසු වන ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක තරග 4කදී ලකුණු 199ක් රැස් කර සිටී.
ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු 182ක් සමගින් වැඩි ම ලකුණු ලැයිස්තුවේ තුන් වන ස්ථානයේ පසුවෙයි.
- වැඩි ම කඩුලු
තරගාවලියේ මේ වන විට වැඩි ම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙළූ ක්‍රීඩකයා වන්නේ, ඇමෙරිකානු ක්‍රීඩක ෂැඩ්ලි වැන් ස්කැල්ක්වික් ය.
ඔහු කඩුලු 13ක් බිඳ හෙළා තිබේ.
ඔහුට පසුව වරුන් චක්‍රවර්ති (ඉන්දියාව), බ්ලෙසිං මුසරබානි (සිම්බාබ්වේ), මයිකල් ලීස්ක් (ස්කොට්ලන්තය) සහ අස්මතුල්ලා ඔමාර්සායි (ඇෆ්ඝනිස්ථානය) කඩුලු 9 බැගින් බිඳ හෙළා ඇත.
- හොඳ ම ප්‍රහාරාත්මක වේගය
මෙතෙක් පැවති තරග අනුව හොඳ ම ප්‍රහාරාත්මක වේගයට හිමිකම් කියන්නේ, ශ්‍රී ලංකා පිතිකරු කමිඳු මෙන්ඩිස් ය.
ඉනිම තුනකදී ඔහුගේ ලකුණු රැස් කිරීමේ ප්‍රහාරාත්මක වේගය, 225.8%කි.
දෙවන ස්ථානයේ පසු වන එංගලන්ත ක්‍රීඩක විල් ජැක්ස් 207.54%ක සහ තෙවන ස්ථානයේ සිටින ඉන්දීය පිතිකරු ඉෂාන් කිෂන් 202.29%ක ප්‍රහාරාත්මක වේගයක් පවත්වාගෙන ගොස් තිබේ.
- අඩු ම ලකුණු දුන් වේග පන්දු යවන්නෝ
මේ අතර, ප්‍රතිවාදීන්ට ලකුණු අඩුවෙන් ම ලබා දුන් වේග පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන සිටින්නේ, අයර්ලන්තයේ ජොෂ් ලිට්ල් ය.
ඔහු පන්දු වාරයක් සඳහා ලබා දුන් ලකුණු සාමාන්‍යය 4කි. දෙවන ස්ථානයේ පසු වන සිම්බාබ්වේ ක්‍රීඩක රිචර්ඩ් එන්ගවාරා ලබා දී ඇති ලකුණු සාමාන්‍යය පන්දු වාරයකට ලකුණු 4.25කි.
තුන් වන ස්ථානයේ පසු වන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක මැතිව් ෆෝඩ් ලකුණු ලබා දී ඇති සාමාන්‍යය 4.40කි.