ගමනක් යාමට පෙර ඔබටත් නොසන්සුන් බවක් දැනෙනවා ද? එයට හේතුව කුමක් ද? එය පාලනය කරන්නේ කෙසේ ද?

    • Author, අමන්ප්‍රීත් කෝර්
    • Role, බීබීසී මාධ්‍යවේදී
  • කියවීමේ කාලය: මිනිත්තු 7

ගමනක් යාමට පෙර ඔබටත් නොසන්සුන් බවක් වැනි හැඟීමක් දැනෙනවා ද? නැතහොත් ගමන යාම සඳහා නියමිත දිනය ළඟා වන විට, ඔබේ මනසෙහි අස්වාභාවික ආතතියක් ඇති වී "කොහේ හරි මොකක් හරි වුණොත්?" වැනි යමක් ඔබට හැඟෙනවා ද?

මෙම තත්ත්වය 'travel anxiety' නැතිනම් 'ගමනකදී දැනෙන කාංසාව' ලෙස හඳුන්වයි. එය ඕනෑ ම ආකාරයක ගමනකදී සිදුවිය හැක. ගුවන් ගමනකදී, මෝටර් රථයක, දුම්රියක ගමනකදී ඔහු කෙටි සංචාරයකදී පවා එය සිදුවිය හැකි ය.

මෑතකදී, සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර් ද ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මේ පිළිබඳව පළ කර තිබුණු අතර ඒ ගැන සංවාද කර තිබිණි.

ඔහු පැවසුවේ ගමනට පෙර පවා ඔවුන්ගේ කාංසාව වැඩි වන බවත්, හැකි ඉක්මනින් ගුවන් තොටුපළට ළඟා වීමට දැඩි අවශ්‍යතාවක් දැනෙන බවත් ය. භූමි මෙහෙයුම් නිලධාරීන් පැමිණීමට පෙර පවා ඔහු එහි ගොස් සිටින බව ඔහු පැවසීය.

ඔහු තවදුරටත් ඒ පිළිබඳව පැහැදිලි කළේ ය, "ගුවන්තොටුපළේ විවේකාගාරයේ වාඩි වෙලා ඉද්දි මම මගේ ගමන් බලපත්‍රය සහ බෝඩින් පාස් එක 50 වතාවක් විතර පරීක්ෂා කරනවා. ගුවන් යානයේ අසුන් ගත්තාට පසුව පවා, මම නියමුවාගෙන් කාලගුණ තොරතුරු, ගුවන් ගමන් කාලය පිළිබඳ තොරතුරු වගේ සෑම නිවේදනයක් ම ලැබෙනකම් බලාගෙන ඉන්නවා. ගුවන් ගමන පහසු එකක් කියලා කියනවා නම්, මට ටිකක් සහනයක් දැනෙනවා, එහෙම නැතිනම් කෙටි ගමන්වලදී මම හැම විනාඩි 10කට වරක් ම සිතියම දිහා බලනවා. දීර්ඝ ගමන්වලදී, මම පෙත්තක් පානය කරලා නිදා ගන්න උත්සහ කරනවා."

කරන් ජොහාර්ට පමණක් නොව, බොහෝ දෙනෙකුට මෙවැනි කාංසා තත්ත්වයක් ඇතිවීම සාමාන්‍ය සිදුවීමක් වන අතර රෝග ලක්ෂණ හඳුනා ගැනීමෙන් එය පාලනය කළ හැකි ය. ගමනකදී කාංසාව ඇතිවන්නේ ඇයි සහ ගමනක් යාමට පෙර මෙම කාංසාව පාලනය කළ හැකි වන්නේ කෙසේ ද යන්න වටහා ගනිමු.

සංචාරයකදී ඇති වන කාංසාව යනු කුමක් ද?

මනෝචිකිත්සාවේදී, කාංසාව යනු සංජානන, චර්යාත්මක, චිත්තවේගීය සහ ශාරීරික වශයෙන් ප්‍රකාශ වන මානසික තත්වයක් ලෙස වටහා ගෙන ඇතැයි දිල්ලියේ හොපින්ග් හොරයිසන්ස් සායනයේ උපදේශක මනෝචිකිත්සක වෛද්‍ය පල්ලවි රාජ්හාන්ස් පැහැදිලි කරයි.

"ගමන්බිමන් යාමේදී ඇතිවන කාංසාව අලුත් දෙයක් නෙමෙයි," ඇය පවසයි. "බොහෝ පුද්ගලයින් සංචාරයකට පෙර හෝ ඒ අතරතුර සුළු තත්ත්වයක සිට මධ්‍යස්ථ මට්ටම දක්වා මේ කාංසාව අත්විඳනවා."

මෙම කාංසා තත්ත්වය ගුවන් ගමනකදී, මෝටර් රථයෙන්, බස් රියෙන් හෝ දුම්රියෙන් යන ඕනෑ ම ආකාරයක ගමනකදී හට ගත හැක. කෙටි දුර ගමනකදී පවා කාංසාව ඇති විය හැක. ගමනක් සැලසුම් කිරීමට ඇති බිය, උස, සංවෘත හෝ ජනාකීර්ණ පරිසර මෙයට ඇතුළත් වේ.

"ඇතැම් පුද්ගලයින්ට තියෙන්නේ පොඩි කාංසාවක් වගේ තත්ත්වයක් වුණත් අනෙක් අයට මෙම කාංසාව දරුණු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඇතැම් පුද්ගලයින්ට ගෙදර ඉඳන් කාර්යාලයට මෝටර් රථයෙන් ගමන් කිරීම පවා අපහසු සහ නොසන්සුන්තාවක් ගෙන දෙන දෙයක් වෙන්න පුළුවන්," දිල්ලියේ ශ්‍රීමත් ගංගා රාම් රෝහලේ මනෝවිද්‍යාඥ නීලම් මිශ්‍රා පවසයි.

"සමහර වෙලාවට මිනිස්සු ඕනෑවට වඩා හිතන්න පටන් අරගෙන විවිධ උපකල්පනයන් සිදු කරනවා. උදාහරණයක් විදිහට, ඇතැම් අය හිතන්නේ, 'ගමන අතරතුර හෘදයාබාධයක් ඇති වුණොත් මම මොකක් ද කරන්නේ? එහේ කුමන හෝ වෛද්‍යමය සහයෝගයක් ලබා ගන්න තියේවි ද?'" වගේ දේවල්, ඇය පැහැදිලි කරයි.

මනෝවිද්‍යාඥ නීලම් මිශ්‍රාට අනුව, එම පුද්ගලයින් ඒ පිළිබඳ බොහෝ සෙයින් සිතා බලන අතර, ඇතැම් විට එය පපුවේ සුළු වේදනාවක් වැනි තත්ත්වයකින් ශාරීරිකව බලපෑම් එල්ල කිරීම ආරම්භ වේ.

ඇයට අනුව, පෙර සංචාරවලදී අමිහිරි අත්දැකීම් අත්විඳ ඇති පුද්ගලයින් තුළ මෙම කාංසාව වැඩිවශයෙන් දක්නට ලැබේ. එයට පහත සඳහන් කරුණු පිළිබඳ කණස්සල්ල ද ඇතුළත් වීමට හැකියාව පවතී.

  • හදිසි අනතුරු
  • ආරක්ෂාව
  • සෞඛ්‍ය අවදානම්
  • අතරමං වීම
  • විනෝද චාරිකාව අවලංගුවීම හෝ කල්දැමීම
  • නිවසින් බැහැරට යාම

ගමනකදී කණස්සල්ලට ප්‍රධාන හේතු මොනවා ද?

වෛද්‍ය පල්ලවි රාජ්හාන්ස්ට අනුව, පූර්ව සංචාරවලදී මුහුණදුන් අමිහිරි අත්දැකීම් ආවෘතිභීතිකාව (claustrophobia) හෝ අංගණභීතිකාව (agoraphobia) වැනි තත්ත්වයන් සංචාරයකදී ඇතිවන කාංසාවට ප්‍රධාන හේතුවක් වේ.

ආවෘතිභීතිකාව යනු, ආවෘත අවකාශයන්ට යාමට හෝ සංචාරය කිරීමට ඇතිවන බිය වන අතර අංගණභීතිකාව යනු විවෘත අවකාශයන් හෝ ජනාකීර්ණ ස්ථානවලට යාමට පවතින බිය වේ. ඒවා ඔබේ සංචාරක සැලසුම්වලට බලපෑම් එල්ල කළ හැකි ය.

මීට පෙර බලපෑ අමිහිමිරි අත්දැකීම්, ගුවන් යානය වායු කැළඹීමකට ලක් වීම, රෝගී තත්ත්වයන් හෝ සංචාරය කරන අතරතුර වෙනත් අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීම හෝ ගමන් මලු නැතිවීම යන සියල්ල පුද්ගලයෙකු තුළ දිගුකාලීනව බිය නිර්මාණය කළ හැකි ය.

මේ සඳහා බලපාන වෙනත් හේතු විය හැක්කේ:

  • අලුත් හෝ නුහුරු ස්ථානයකට යාමට දක්වන බිය
  • උස් ස්ථානවලට යාමට, දොරවල් වසන ලද බස් රථ/දුම්රියෙන් ගමන් කිරීමට පවතින බිය හෝ ගුවන් යානය වායු කැළඹීමකට ලක් වීමේ තත්ත්වයන්ට පවතින බිය
  • සංචාරය කරන අතරතුර සෞඛ්‍යය සහ ආරක්ෂාව පිළිබඳ පවතින බිය
  • ගුවන් ගමනක්, බස් රථයක් හෝ දුම්රියක් අවලංගුවීම හෝ කල්යාම පිළිබඳ හෝ ලේඛනයක් අමතක වීමේ බිය
  • ඔබේ සුවපහසු කලාපය හැර යාම හෝ නිවසින් බැහැර වීම

වෛද්‍ය පල්ලවි පැහැදිලි කරන්නේ සංචාරක අනතුරු පිළිබඳ ප්‍රවෘත්ති ඇසීම හෝ දැකීම සහ ගමන් ආරක්ෂාව පිළිබඳ අසත්‍ය තොරතුරු කණස්සල්ලට හා බියට හේතු විය හැකි බවයි.

රෝග ලක්ෂණ

වෛද්‍ය පල්ලවි සහ මනෝවිද්‍යාඥ නීලම් මිශ්‍රාට අනුව සංචාරයට පෙර හෝ සංචාරය කරන අතරතුර ඇතිවන කාංසාව ශාරීරික, චිත්තවේගීය සහ චර්යාත්මක රෝග ලක්ෂණ ලෙස ප්‍රකාශ විය හැක.

ශාරිරික රෝග ලක්ෂණ:

  • හෘද ස්පන්දනය වේගවත් වීම
  • ඩහදිය දැමීම
  • ආමාශ ආන්ත්‍රික ගැටලු
  • ඔක්කාරය
  • කෙටි හුස්ම
  • කරකැවිල්ල
  • හිසරදය
  • මාංශපේශීවල තද බව

මානසික රෝග ලක්ෂණ:

  • සංචාරය පිළිබඳ නිරන්තරයෙන් කණස්සල්ලට පත්වීම
  • නරක සිතිවිලි ඇතිවීම
  • සුලුදෙයක් පවා විශාල අනතුරක් ලෙස සිතීම
  • ඔක්කාරය / වමනය හෝ සංචාරය කරන අතරතුර රෝගී වෙතැයි පවතින බිය
  • නුරුස්සන බව
  • නිවසින් හෝ පවුලෙන් ඈත්වීමට පවතින බිය

චර්යාමය රෝග ලක්ෂණ:

  • සංචාරය කිරීමෙන් වැළකී සිටීම
  • සංචාරය පිළිබඳ දත්ත නිතර පරීක්ෂා කිරීම හෝ වෙනස් කිරීම
  • සංචාරයේ ආරක්ෂාව පිළිබඳව සෑම කෙනෙකුගෙන් ම විමසා බැලීම
  • සංචාරයට පෙර දිනවල නින්දට ඇතිවන බාධා

ගමන්බිමන්වලදී ඇතිවන කාංසාව වළක්වා ගන්නේ කෙසේ ද?

"ඔබට සංචාරයට පෙර හෝ සංචාරය කරන අතරතුර වැඩියෙන් කාංසාව දැනෙනවා නම්, කෙටි චාරිකාවල නිරත වීම සෙමින් ආරම්භ කර දුර ගමන් චාරිකාවලින් වැළකී සිටින්න. ගමන අතරතුර ජලය, ඇතැම් ඖෂධ වර්ග සහ ඔබට භාවිතයට පහසු දෑ ළඟ තබා ගන්න," මනෝවිද්‍යාඥ නීලම් මිශ්‍රා පවසයි.

වෛද්‍ය පල්ලවීට අනුව විවේකය සහ හුස්ම ගැනීමේ ව්‍යායාම කිරීමෙන් ඔබේ හදවත සහ මනස සන්සුන් කර ගත හැක. විශේෂඥයින් විසින් උපදෙස් දෙනු ලැබ ඇති පරිදි ගැඹුරින් හුස්ම ගැනීම, භාවනා කිරීම සහ අනෙකුත් අභ්‍යාස ක්‍රමවල නිරතවීම ද ඔහු නිර්දේශ කරයි.

මීට අමතරව, චාරිකාවක් සඳහා පිටත්වීමට පෙර ඍණාත්මක ප්‍රවෘත්තිවලින් ඈත්වී සිටින ලෙසත්, හදිසි අනතුරු හෝ බාධාකාරී සිදුවීම් පිළිබඳ ප්‍රවෘත්ති හෝ වීඩියෝ නැරඹීමෙන් වළකින ලෙසත් ඔහු පැවසීය.

කාංසාව අඛණ්ඩව පවතින අවස්ථාවලදී, වෘත්තීයමය වශයෙන් සුදුසුකම් ලත් පුද්ගලයෙකුගෙන් උපකාර ලබා ගැනීම වැදගත් වේ. මෙයට සංජානන හැසිරීම් චිකිත්සාව (CBT) හෝ කෙටි කාලීන ඖෂධ වැනි ප්‍රතිකාර ඇතුළත් විය හැක.

මීට අමතරව, ඔබේ බිය සහ ගැටලු මිතුරන් හෝ පවුලේ අය සමග බෙදා ගැනීම ද ඔබට සහනයක් විය හැක.

මෑත කාලීනව සිදුවූ අනතුරුවල බලපෑම?

ඉකුත් වසරේ ජූනි මාසයේදී ගුජරාටයේ අහමදාබාද්හිදී එයාර් ඉන්දියා සමාගමට අයත් මගී ගුවන් යානයක් කඩා වැටිණි. ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි ගොඩනැගිල්ලක් මතට යානය කඩා වැටුණේ එය ගුවන් ගත වී කෙටි වේලාවකින් අනතුරුවයි.

කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළුව මගීන් 242 දෙනෙක් එම ගුවන් යානයේ සිටියහ. ඔවුන්ගෙන් එක් අයෙකු පමණක් දිවි බේරා ගත් අතර ඉතිරි 241 දෙනා මිය ගියහ.

මීට අමතරව, මෑත කාලයේදී වායු සමීකරණය කළ සහ ස්ලීපර් බස් රථ කිහිපයක් ගිනි ගැනීමට ලක්වූ අවස්ථා ද වාර්තා වී තිබේ.

මේ වන විට දහස් ගණනක් මගීන් ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් ගමන් අවලංගු කිරීම් සහ ප්‍රමාදයන් හේතුවෙන් ගුවන් තොටුපළවල අතරමං වී ඇත. කෙසේ වෙතත්, ගුවන් යානා හදිසි ගොඩබෑමට ලක් කළ අවස්ථා කිහිපයක් ද වාර්තා වී තිබේ.

මෙම තත්ත්වයන් සාමාන්‍ය ජනතාවට සහ දැනටමත් කාංසාවෙන් පෙළෙන පුද්ගලයින්ට එල්ල කරන බලපෑම සම්බන්ධයෙන් අදහස් දක්වන මනෝවිද්‍යාඥ නීලම් මිශ්‍රා පවසන්නේ, මෙමගින් මිනිසුන් සීමාව ඉක්මවා කල්පනා කිරීමට නැඹුරු වන බවයි, එනම් ඔවුහු ඕනෑවට වඩා කල්පනා කිරීමට පටන් ගනිති. මේ සමග ම, ඔවුන්ට ගමන පිළිබඳ අනාරක්ෂිත බවක් හැඟෙන්නට ද හැකියාවක් ඇත.

"මෙම තත්ත්වයන් ඇතැම් පුද්ගලයින්ට වඩාත් ප්‍රවේශම් සහගතවීමට මගපාදන අතර බොහෝ පුද්ගලයින් තුළ සංචාරය කිරීමේදී අවිශ්වාසයක් ගොඩනැගීමට පවා හේතු විය හැකියි," මනෝචිකිත්සක වෛද්‍ය පල්ලවි රාජ්හාන්ස් පවසයි.

"මෙම තත්ත්වයන් සංචාරය කිරීම් ආශ්‍රිත කාංසාව වැඩි කිරීමට හේතු වෙන්න පුළුවන්, විශේෂයෙන් ම දැනටමත් බිය හෝ කාංසාව ඇති පුද්ගලයින් හෝ මීට පෙර සිදු කළ සංචාරවලදී එවැනි ඍණාත්මක අත්දැකීම් ඇති පුද්ගලයින් තුළ," ඇය වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත්, විශේෂඥයින් පවසන්නේ සංචාරය කිරීමේදී ඇතිවන කාංසාවේ රෝග ලක්ෂණ හඳුනා ගැනීමෙන්, නිවැරදි ක්‍රම අනුගමනය කිරීමෙන් සහ ගැටලුව නරක අතට හැරේ නම් වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගැනීමෙන් කාංසාව පාලනය කළ හැකි බවයි.