'වාසනාවන්ත ම මනුස්සයා මම තමයි, ඒත් මම මානසිකවත් ශාරීරිකවත් දුක් විඳිනවා' - Air India අනතුරෙන් බේරුණු එක ම පුද්ගලයා පවසයි

    • Author, නව්තේජ් ජොහාල්
    • Role, මිඩ්ලන්ඩ්ස් වාර්තාකරු
    • Author, කැතී තොම්ප්සන්
    • Author, සොෆී වුඩ්කොක්

ගුවන් මගීන් 241 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ Air India ගුවන් අනතුරෙන් දිවි ගලවා ගත් එක ම පුද්ගලයා පවසන්නේ, තමා "වාසනාවන්තම මිනිසා" ලෙස හැඟෙන නමුත් ශාරීරිකව හා මානසිකව ද පීඩා විඳින බව ය.

විස්වාශ්කුමාර් රමේෂ් අහමදාබාද්හිදී ලන්ඩන් බලා පිටත් වූ ගුවන් යානයේ සුන්බුන් අතරින් ඇවිද ගියේ ලෝකය මවිතයට පත් කළ අසාමාන්‍ය දර්ශන පෙළක් සමගිනි.

ඔහුගේ දිවි ගැලවීම, "ආශ්චර්යයක්" ලෙස පැවසූ නමුත්, ඔහුගේ බාල සොහොයුරා වූ අජේ ගුවන් යානයේ ආසන කිහිපයක් දුරින් සිටි අතර ජූනි මාසයේ සිදුවූ එම ගුවන් අනතුරෙන් මිය ගිය බැවින්, ඔහුට සියල්ල අහිමි වූ ආකාරය ඔහු පැහැදිලි කළේ ය.

ලෙස්ටර්හි සිය නිවසට නැවත පැමිණි දා සිට, රමේෂ් පශ්චාත් කම්පන ආතති ආබාධයෙන් (PTSD) පීඩා විඳින බවත්, ඔහුගේ බිරිඳ සහ සිව් හැවිරිදි පුතා සමග කතා කිරීමට නොහැකි වී ඇති බවත් ඔහුගේ උපදේශකයෝ පැවසූහ.

බටහිර ඉන්දියාවේදී Boeing 787 ගුවන් යානය ගුවන්ගත වී සුළු වේලාවකට පසු කඩා වැටුණු විට ගිනි ගත්තේ ය.

ඒ අවස්ථාවේ පළ කළ කම්පනසහගත වීඩියෝවකින්, පසුබිමින් දුමාරයක් නැගෙද්දී, මතුපිටින් පෙනෙන තුවාල සහිතව රමේෂ් එම ස්ථානයෙන් ඇවිද යන ආකාරය පෙන්නුම් කෙරිණි.

බීබීසී ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින්, හැඟීම්බරව සිටි රමේෂ් මෙසේ පැවසීය: "මම දිවි ගලවා ගත් එක ම පුද්ගලයා. තවමත්, මම විශ්වාස කරන්නේ නැහැ. ඒක ආශ්චර්යයක්."

"මගේ සහෝදරයාත් මට නැති වුණා. මගේ සහෝදරයා මගේ කොඳු නාරටිය. පහුගිය අවුරුදු කිහිපය තුළ ඔහු මට හැම විටම සහයෝගය දුන්නා."

ඔහු තම පවුල් ජීවිතයට අත්විඳීමට සිදුවූ විනාශකාරී බලපෑම විස්තර කළේ ය.

"දැන් මම තනි වෙලා. මම මගේ කාමරයේ තනියම ඉඳගෙන ඉන්නවා, මගේ බිරිඳ, මගේ පුතා එක්ක කතා කරන්නේ නැහැ. මම මගේ ගෙදර තනියම ඉන්න කැමති යි," රමේෂ් පැවසීය.

ඒ අවස්ථාවේ ඉන්දියාවේ රෝහල් ඇඳක් මත සිට කතා කළ ඔහු, තමන් සුන්බුන් අතරින් බඩගාගෙන පිටතට පැමිණි ආකාරය විස්තර කළ අතර, තුවාල සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවිය.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් අතරින් 169 දෙනෙකු ඉන්දීය ජාතිකයන් සහ 52 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන් වූ අතර, යානය ගැටුණු ගොඩනැගිල්ලේ සිටි තවත් 19 දෙනෙක් මිය ගියහ.

ඉන්දියාවේ ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය විසින් ජූලි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද අනතුර පිළිබඳ මූලික වාර්තාවක සඳහන් වූයේ, ගුවන්ගත වී තත්පර කිහිපයකට පසු එන්ජින්වලට ඉන්ධන සැපයුම නතර වී තිබූ බව ය. මේ අතර, පරීක්ෂණයක් සිදුවෙමින් පවතින අතර, ඛේදවාචකයෙන් පීඩාවට පත් රමේෂ් සහ සියලු ම පවුල් රැකබලා ගැනීම "අපගේ පරම ප්‍රමුඛතාව වන" බව ගුවන් සමාගම පැවසීය.

39 හැවිරිදි ඔහු නැවත එක්සත් රාජධානියට පැමිණීමෙන් පසු මාධ්‍යයට කතා කළ පළමු අවස්ථාව මෙය විය. සම්මුඛ පරීක්ෂණයක් සඳහා ප්‍රවෘත්ති සංවිධාන කිහිපයකට ආරාධනා කරන ලද අතර වාර්තා චිත්‍රපට කණ්ඩායමක් ද කාමරයේ රූගත කරමින් සිටියහ.

සම්මුඛ පරීක්ෂණයට පෙර ඔහුගේ ආරක්ෂාව පිළිබඳව බීබීසී ඔහුගේ උපදේශකයින් සමග සවිස්තරාත්මක සාකච්ඡා පැවැත්වීය.

අනතුර සිදුවූ දිනය පිළිබඳ ඔහුගේ මතකයන් ගැන විමසූ විට, ඔහු පැවසුවේ: "මට දැන් ඒ ගැන කිසිවක් කියන්න බැහැ," යනුවෙනි.

'මං විඳවනවා'

ප්‍රාදේශීය ප්‍රජා නායක සංජීව් පටෙල් සහ ප්‍රකාශක රැඩ් සීගර් සමග සිටි රමේෂ්, ව්‍යසනයේ සිදුවීම් සිහිපත් කිරීම ඉතා වේදනාකාරී බව පැවසූ අතර, ලෙස්ටර්හි පටෙල්ගේ නිවසේදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී ශෝකයට පත් විය.

රමේෂ් තමා සහ ඔහුගේ පවුලේ අය මේ වන විට විඳින වේදනාව විස්තර කළේ ය.

"මේ අනතුරෙන් පස්සේ මම නම් ඉන්නේ ලොකු ආතතියක'

"ශාරීරිකව, මානසිකව, මගේ පවුලේ අය වගේ ම, මානසිකවත්... මගේ අම්මා පහුගිය මාස හතර පුරා ම හැම දා ම දොර ළඟ ඉඳගෙන ඉන්නවා, කතා කරන්නේ නැහැ, කිසි ම දෙයක් කරන්නේ නැහැ."

"මම වෙන කා එක්කවත් කතා කරන්නේ නැහැ. වෙන කා එක්කවත් කතා කරන්න කැමති නැහැ."

"මට වැඩිය කතා කරන්න බෑ. මුළු රෑම කල්පනා කර කර ඉන්නවා, මම මානසිකව දුක් විඳිනවා. මුළු පවුලට ම හැම දවසක් ම වේදනාකාරී යි."

රමේෂ් අනතුරින් තමාට සිදුවූ ශාරීරික තුවාල ගැන ද කතා කළේ ය, එහිදී ඔහු තම ආසනය වූ 11A - බඳෙහි තිබූ සිදුරක් හරහා පැන යාමට තීරණය කළේ ය.

ඔහු කකුලේ, උරහිසේ, දණහිසේ සහ පිටකොන්දේ වේදනාවෙන් පෙළෙන බවත්, අනතුරෙන් පසුව වැඩ කිරීමට හෝ රිය පැදවීමට නොහැකි වී ඇති බවත් ඔහු පවසයි.

"මට හරියට ඇවිද ගන්න බෑ, හෙමින්, හෙමින් යන්නේ, මගේ බිරිඳ මට උදව් කරනවා," ඔහු තවදුරටත් පැවසීය.

රමේෂ් මහතා ඉන්දියාවේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පශ්චාත් කම්පන ආතති ආබාධයෙන් (PTSD) පෙළෙන බව හඳුනා ගත් නමුත් නැවත නිවසට පැමිණි දා සිට කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් ලබා නොගත් බව ඔහුගේ උපදේශකයෝ පැවසූහ.

ඔවුන් ඔහු ගැන විස්තර කළේ, සුවය ලැබීමට දිගු කාලයක් ගත විය හැකි, අතරමං වූ සහ මානසික අවපීඩනයට පත්වූ අයෙකු ලෙස ය. අනතුරෙන් පසු ගුවන් සමාගම ඔහුට සැලකිල්ලක් නොදැක්වූ බව පවසමින් එයාර් ඉන්දියා විධායක නිලධාරීන් සමග ඔහුගේ උපදේශකයෝ රැස්වීමක් ඉල්ලා සිටිති.

"ඔවුන් සිටින්නේ මානසිකව, ශාරීරිකව සහ මූල්‍යමය අර්බුදයක," පටෙල් පැවසීය.

"ඒකෙන් එයාගේ පවුල කඩා වැටිලා තියෙන්නේ.

"ඉහළ ම මට්ටමේ වගකිව යුතු ඕනෑ ම කෙනෙක් මෙම ඛේදජනක සිදුවීමේ වින්දිතයින් හමුවීමට සහ ඔවුන්ගේ අවශ්‍යතා තේරුම් ගැනීමට සහ ඔවුන්ට සවන් දීමට කටයුතු කළ යුතු යි."

'සිදුවුණ වරද නිවැරදි කරන්න'

එයාර් ඉන්දියා සමාගම රමේෂ්ට පවුම් 21,500ක අතුරු වන්දි ගෙවීමක් ලබා දී ඇති අතර එය පිළිගෙන ඇත, නමුත් ඔහුගේ උපදේශකයින් පවසන්නේ, මෙය ඔහුගේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව ය.

ඉන්දියාවේ ඩියු ප්‍රදේශයේ රමේෂ් සිය සහෝදරයා සමග අනතුරට පෙර කරගෙන ගිය පවුලේ ධීවර ව්‍යාපාරය එතැන් සිට බිඳ වැටී ඇති බව ඔහුගේ උපදේශකයෝ පැවසූහ.

පවුලේ ප්‍රකාශක සීගර් පැවසුවේ, ඔවුන් එයාර් ඉන්දියා ගුවන් සේවයට තුන් වරක් සාකච්ඡා සඳහා ආරාධනා කළ බවත්, එම අවස්ථා තුනේදී ම "නොසලකා හරින ලද හෝ ප්‍රතික්ෂේප කරන ලද" බවත් ය.

මාධ්‍ය සම්මුඛ සාකච්ඡා යනු සිව් වන වරටත් එම අභියාචනය නැවත නිකුත් කිරීමට කණ්ඩායම ගත් ක්‍රමය බව ඔහු පැවසීය.

"අද අපි මෙතන ඉඳන් එයාව [විස්වාශ්කුමාර්] මේකට ගේන එක භයානකයි" සීගර් මහතා තවදුරටත් පැවසීය.

"අද මෙතන වාඩි වෙලා ඉන්න ඕන එයාර් ඉන්දියා සමාගමේ විධායක නිලධාරීන්, සිදුවුණ වරද නිවැරදි කරන්න උත්සහ කරන වගකිව යුතු අය."

"කරුණාකර අප සමග එකතු වෙන්න, එහෙම වුණොත් අපිට එකතු වෙලා මේ දුක් වේදනා සමනය කරන්න උත්සහ කරන්න පුළුවන්."

ටාටා සමූහ සමාගමට අයත් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මව් සමාගමේ ජ්‍යෙෂ්ඨ නායකයින් අදාළ පවුල් වෙත ගොස් බලවත් ශෝකය පළ කරන බව ය.

"එවැනි රැස්වීමක් සංවිධානය කිරීම සඳහා රමේෂ්ගේ නියෝජිතයින්ට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. අපි දිගට ම සම්බන්ධ වෙනවා. ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපි බොහෝ බලාපොරොත්තු වෙනවා," යනුවෙන් එහි සඳහන් විය.

ගුවන් සේවය බීබීසීයට පැවසුවේ, රමේෂ් සමග මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට පෙර මෙම දීමනාව ඉදිරිපත් කළ බව ය.