ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මම සුන්බුන් අතරින් එළියට ආවා': Air India ගුවන් අනතුරින් දිවි ගලවා ගත් රමේෂ් බිහිසුණු අත්දැකීම විස්තර කරයි
බ්‍රහස්පතින්දා (ජූනි 3) සිදුවූ Air India ගුවන් අනතුරෙන් දිවි ගලවා ගත් එක ම මගියා වන බ්‍රිතාන්‍ය ජාතිකයා පැවසුවේ, ගුවන් යානයේ බඳෙහි ඇතිව තිබුණු විවරයක් හරහා තමාට ඉන් එළියට පැමිණීමට හැකි වූ බව ය.
"මට බකල් එක ගලවා ගන්න පුළුවන් උණා. ඒ විවරයෙන් කකුලෙන් හයිය අරන් බඩගා ගෙන එළියට ආවා," විශ්වාෂ්කුමාර් රමේෂ් ඉන්දීය රාජ්‍ය මාධ්‍ය වන DD නිවුස් වෙත පැවසීය.
බ්‍රහස්පතින්දා බටහිර ඉන්දියාවේ අහමදාබාද් සිට ගුවන්ගත වී මද වේලාවකට පසු අනතුරට පත් ලන්ඩන් බලා පියාසාර කළ බෝයිං 787 ගුවන් යානයේ 40 හැවිරිදි රමේෂ් සිටියේ 11A අසුනේ ය.
රෝහල් ඇඳේ සිට කතා කරමින් රමේෂ් පැවසුවේ ගුවන් යානය ගුවන්ගත වී මොහොතකට පසු ඇතුළත විදුලි පහන් "නිවී නිවී දැල්වෙන්නට පටන් ගත්" බවයි.
තත්පර පහක් හෝ 10ක් ඇතුළත, යානය "ගුවනේ හිරවෙලා" වගේ දැනුණු බව ඔහු පැවසීය.
"ලයිට් කොළ සහ සුදු පැහැයෙන් නිවී නිවී දැල්වෙන්න පටන් ගත්තා... එක පාර ම ගොඩනැගිල්ලක හැප්පිලා පුපුරලා ගියා."
මෙම බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානය බීරම්ජී ජීජීභායි වෛද්‍ය විද්‍යාලයේ සහ සිවිල් රෝහලේ වෛද්‍යවරුන් සඳහා නවාතැන් ලෙස භාවිත කරන ගොඩනැගිල්ලක් මතට කඩා වැටිණි.
තමා නිරුපද්‍රිතව එළියට ආ බව විශ්වාස කළ නොහැකි බව රමේෂ් DD නිවුස් වෙත පැවසීය.
"මගේ ඇස් ඉස්සරහා මිනිස්සු මැරෙනවා මම දැක්කා - ගුවන් සේවිකාවන් සහ මගේ ළඟ හිටපු දෙන්නා මම දැක්කා," ඔහු පැවසීය.
"මොහොතකට, මමත් මැරෙන්න යනවා වගේ දැනුනා, නමුත් මම ඇස් ඇරලා වටපිට බැලුවම, මම ජීවතුන් අතර ඉන්නවා කියලා මට තේරුණා.
"තාමත් මට මම බේරුනේ කොහොම ද කියලා හිතා ගන්න බැහැ. මම සුන්බුන් අතරින් එළියට ආවා."
රමේෂ්ගේ ඥාති සොහොයුරෙකු සමග බීබීසීයට කතා කරයි
රමේෂ් විවාහක වන අතර එක් දරු පියෙකි. ඔහු ඉන්දියාවේ උපත ලැබුව ද, වසර ගණනාවක් එක්සත් රාජධානියේ ජීවත් වූ බව බීබීසීය කළ සොයා බැලීමකදී අනාවරණය විය.
ලෙස්ටර්හි වෙසෙන ඔහුගේ ඥාති සොහොයුරෙකු වන අජේ වල්ගි බීබීසීයට පැවසුවේ, රමේෂ් තම පවුලේ අය අමතා "ඔහු හොඳින්" සිටින බව පැවසූ නමුත් ගුවන් යානයේ සිටි තම සහෝදරයා වන අජේ සිටින්නේ කොහේදැයි නොදන්නා බව ය.
සමාජ මාධ්‍යවල හුවමාරු වූ වීඩියෝවක පසුබිමින් දුමාරයක් නැගෙන මධ්‍යයේ, රමේෂ් ගිලන් රථයක් දෙසට ඇවිද යන ආකාරය සටහන් වී තිබිණි.
ඉන්දීය මාධ්‍ය පැවසුවේ, රමේෂ් තම බෝඩිං අවසර පත්‍රය නිරීක්ෂණය කිරීමට ලබා දුන් බව ත් එහි ඔහුගේ නම සහ ආසන අංකය සඳහන්ව තිබුණු බව ත් ය.
11A ආසනය
ගුවන් යානය කඩා වැටෙන අයුරු වීඩියෝවක සටහන් වෙයි
මේ අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද අනතුර සිදුවූ ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ලන්ඩන් ගැට්වික් ගුවන්තොටුපළ තහවුරු කළේ, මගීන්ගේ ඥාතීන් සඳහා තොරතුරු ලබා දෙන ඇමතුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කර ඇති බවත්, ඔවුන් Air India සමග සමීපව කටයුතු කරන බවත්ය.
එය Xහි මෙසේ පැවසීය: "කොන්සියුලර් සහය අවශ්‍ය බ්‍රිතාන්‍ය ජාතිකයන් හෝ මිතුරන් හෝ පවුලේ අය ගැන සැලකිලිමත් වන අය 0207 008 5000 අංකය අමතන්න."
Air India ගුවන් සේවයට අයත් AI171 ගුවන් යානය අහමදාබාද්හි සර්දාර් වල්ලභායි පටේල් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පස්වරු 1:39ට පිටත්ව ගිය බව එම ගුවන් සමාගම පැවසීය.
එය බ්‍රිතාන්‍ය වේලාවෙන් පස්වරු 6:25ට ලන්ඩන් ගැට්වික් වෙත ගොඩබෑමට නියමිතව තිබිණි.
බීබීසී විසින් සත්‍යාපනය කරන ලද එක් වීඩියෝවක දැක්වෙන්නේ යානය පුපුරා යාමට පෙර පහළට ඇදී යන ආකාරයයි.