AI171: ගුවන් අනතුරින් මිය ගිය සංඛ්‍යාව 270ක් දක්වා ඉහළට

වීඩියෝව නරඹන්න

Air India ගුවන් සමාගමට අයත් මගී ප්‍රවාහන ගුවන් යානයක් ගුවන්ගත කර සුළු වේලාවකට පසු ජූනි 12 ගුවන් ගත වී මිනිත්තු කිහිපයක් ඇතුළත කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් මගීන් සහ කාර්ය මණ්ඩලයේ 241 දෙනෙකු සහ එය කඩා වැටුණු ස්ථානයේ සිටි තවත් පුද්ගලයින් මිය ගොස් තිබේ.

ඒ අනුව, මේ වන විට මිය ගිය සංඛ්‍යාව 270ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, අනතුරට පත්වූ පුද්ගලයින්ගේ පවුල් කිහිපයක සාමාජිකයින් තවමත් අහමදාබාද් සිවිල් රෝහල ඉදිරිපිට කඳවුරු බැඳගෙන සිටින බව එහි සිටින බීබීසී වාර්තාකරු පවසයි.

බොහෝ දෙනෙකු තම ආදරණීයයන් හඳුනා ගැනීම සඳහා DNA සාම්පල ඉදිරිපත් කර ඇති අතර මළ සිරුරු භාරදීමට යම් කාලයක් ගතවනු ඇත.

එක් මගියෙකු අනතුරෙන් දිවි ගලවා ගත් අතර 11A ආසනයේ වාඩි වී සිටි ඉන්දීය සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන විශ්වාෂ්කුමාර් රමේෂ් පසුව සිය පවුලේ අයට පවසා ඇත්තේ, තමා එයින් එළියට පැමිණියේ කෙසේදැයි සිතා ගත නොහැකි බවයි.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් සිට එක්සත් රාජධානියේ ලන්ඩන්හි ගැට්වික් ගුවන්තොටුපොළ දක්වා ගමන් කරමින් තිබුණු මෙම ගුවන් යානය අනතුරට පත්වන විට එහි මගීන් 242 දෙනෙකු සිට තිබේ.

"අද, 2025 ජූනි 12 අහමදාබාද්-ලන්ඩන් ගැට්වික් දක්වා යාමට ගුවන්ගත වූ AI171 ගුවන් යානයේ සිදුවීමක් සිදුවුණා. මේ මොහොතේ, අප විසින් තොරතුරු තහවුරු කර ගනිමින් සිටින අතර හැකි ඉක්මනින් වැඩිදුර තොරතුරු ලබා දීමට බලාපොරොත්තු වෙනවා," යැයි Air India ගුවන් සමාගම අනතුර සිදු වූ මොහොතේ නිකුත් කළ X පණිවිඩයක සඳහන් විය.

ගුවන් ගමන් නිරීක්ෂණ වෙබ් අඩවියක් වන FlightRadar24, නිකුත් කළ X පණිවිඩයක දැක්වෙන්නේ "අහමදාබාද් සිට ලන්ඩන් දක්වා ගමන් කළ AI171 Air India ගුවන් යානය අනතුරට ලක්වීමක් පිළිබඳව වාර්තා අපට ලැබෙමින් පවතී. ගුවන් යානයෙන් අවසන් වරට සංඥාවක් අපට ලැබුණේ 08:08:51ට, [එනම්] ගුවන්ගත වී තත්පර කිහිපයකට පසුවයි," යනුවෙනි.

අනතුර සිදු වූ ස්ථානයට "ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා ඇති," බව ඉන්දියාවේ ගුවන් සේවා අමාත්‍යවරයා පැවසීය.

අනතුරට හේතුව තවමත් නොදන්නා අතර ඒ ගැන වැඩි විස්තර සපයන කළු පෙට්ටි දෙක (black box) සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක ය. නමුත් BBC Verify වෙත විශේෂඥයින් හේතු 3ක් තුනක් සඳහන් කර ඇත.

වීඩියෝව නරඹන්න

ඉන්දීය අගමැති මෝදි අනතුර සිදුවූ ස්ථානය නිරීක්ෂණය කරයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගුවන් අනතුර සිදු වූ ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණි අතර අතර එහි විනාඩි 20ක් පමණ ගත කළේ ය.

නමුත් ඔහු මාධ්‍යයට අදහස් දැක්වූයේ නැත.

ඔහුගේ යූ ටියුබ් නාලිකාවේ පළ කරන ලද වීඩියෝවකින් ඔහු එම ස්ථානයේ ඇවිදිමින් සුන්බුන් පරීක්ෂා කරන ආකාරය පෙන්නුම් කෙරේ.

අනතුරට ලක්වූ ගුවන් යානයේ පිටුපස කොටස සිර වී ඇති ගොඩනැගිල්ල අසල ඔහු සිටින අයුරු දක්නට ලැබිණි.

ඔහු සමග ෆෙඩරල් ගුවන් සේවා අමාත්‍ය කිංජරපු රාම් මෝහන් නායිදු සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම ස්ථානය නිරීක්ෂනය සඳහා පැමිණ තිබිණි.

බෝම්බ බියක් හේතුවෙන් ෆුකෙට් සිට දිල්ලිය බලා පියාසර කළ Air India ගුවන් යානයක් හරවා යවයි

සිකුරාදා (ජූනි 13) උදෑසන බෝම්බ තර්ජනයක් පිළිබඳව වාර්තා වීමෙන් පසු දකුණු ෆුකෙට් දූපතේ සිට නවදිල්ලිය බලා පිටත් වූ Air India ගුවන් යානයක් (AI379) ආපසු ගුවන් තොටුපළ වෙත හරවා යැවූ බව තායිලන්තයේ සිටින බීබීසී වාර්තාකරුවෝ පැවසූහ.

ගුවන් යානයේ බෝම්බ තර්ජනයක් පිළිබඳව යානයේ නියමුවා එරට වේලාවෙන් උදෑසන 09:30ට ගුවන් ගමනාගමන පාලක මැදිරියට දැනුම් දුන් බව ෆුකෙට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ පැවසීය.

ඒ අනුව, ගුවන් යානය හදිසි ගොඩබෑමට අවසර ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිට ඇත.

ගුවන් ගමන් නිරීක්ෂණ වෙබ් අඩවිවලට අනුව, මගීන් 156 දෙනෙකු රැගත් ගුවන් යානය එරට වේලාවෙන් උදෑසන 09:15 ට ගුවන්ගත වී ඇති අතර එය උදෑසන 11:38ට ආරක්ෂිතව ගොඩ බස්වා තිබේ.

ෆුකෙට් ගුවන්තොටුපළ ෆේස්බුක්හි සඳහන් කළේ, ඔවුන් ගුවන්තොටුපළ තුළ හදිසි අවස්ථාවක් සඳහා සූදානම් බවත් තවදුරටත් තොරතුරු ලබා දෙන බවත් ය.

ගුවන් යානය කඩා වැටුණු වේලාව සහ ස්ථානය

AI171 ගුවන් යානය අහමදාබාද්හි සර්දාර් වල්ලභායි පටේල් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දහවල් 1:39ට පිටත් වූ බව Air India සමාගම පැවසීය.

එය බ්‍රිතාන්‍ය වේලාවෙන් පස්වරු 6:25ට ලන්ඩන් ගැට්වික් වෙත ගොඩබෑමට නියමිතව තිබිණි.

ගුවන් ගමන් නිරීක්ෂණ වෙබ් අඩවියක් වන FlightRadar24 වෙබ් අඩවියට අනුව, ගුවන් යානය ගුවන්ගත වී විනාඩියකටත් අඩු කාලයකදී ඉන් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

යානය අඩි 625ක (මීටර් 190) උන්නතාංශයක තිබියදී සම්බන්ධතාව ගිලිහී ගොස් ඇත.

ඉන්දීය ගුවන් සේවා නියාමන ආයතනයට අනුව, යානය ගුවන් ගමනාගමන පාලක මධ්‍යස්ථානය වෙත හදිසි තත්ත්වයක් පිළිබඳව දැනුම් දී ඇත. ඉන් පසුව යානයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත.

එය මේඝානි නගර් නම් ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටුණු අතර පොලිසිය ANI ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ, එය කඩා වැටී ඇත්තේ වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරයක් මතට බව යි.

එහි සිටි වෛද්‍ය සිසුන් 50ක් පමණ රෝහල්ගත කර ඇති බව ඉන්දියාවේ සමස්ත ඉන්දීය වෛද්‍ය සංගම් සම්මේලනය (FAIMA) විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් කර ඇත. එම සංගමය පවසන්නේ, සිසුන් පස් දෙනෙකු අතුරුදහන් වී ඇති අතර අවම වශයෙන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටින ප්‍රතිකාර ලබන බව ය.

FAIMAට අනුව, ගුවන් යානයේ සිටි බොහෝ මගීන් රෝහලට රැගෙන යන විටත් මිය ගොස් සිට ඇත.

යානයේ සිටියේ කවුද?

ගුවන් යානයේ සිටි මගීන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 දෙනෙකු, ඉන්දියානු ජාතිකයන් 169 දෙනෙකු, කැනේඩියානු ජාතිකයෙකු සහ පෘතුගාල ජාතිකයන් හත් දෙනෙකු සිට ඇත.

Boeing 787-8 Dreamliner ගුවන් යානයක් වන මෙම යානයේ මුළු ආසන ගණන 256කි.

ගුවන් යානය පිළිබඳව අප දන්නේ මොනවා ද?

Boeing 787-8 Dreamliner වර්ගයේ ගුවන් යානයක් මෙවැනි අනතුරකට ලක්වූ පළමු අවස්ථාව මෙය බව පැවසේ.

වසර 14කට පෙර හඳුන්වා දුන් මෙම වර්ගයේ ගුවන් යානාවලින් ලොව පුරා මගීන් බිලියනයක් පමණ ප්‍රවාහනය කර තිබේ.

ගුවන් යානයේ පියාසර ඉතිහාසය අනුව එය ඉන්දියාව සහ පැරිස්, ෆ්‍රෑන්ක්ෆර්ට්, ටෝකියෝ, ඇම්ස්ටර්ඩෑම් සහ මෙල්බර්න් ඇතුළු ගමනාන්ත කිහිපයක් අතර නිතර ගමන් කර ඇති ගුවන් යානයක් බව වාර්තා වේ.

Air India ගුවන් අනතුරෙන් දිවි ගලවා ගත් බ්‍රිතාන්‍ය ජාතිකයා

Air India ගුවන් යානයේ 11A ආසනයේ සිටි අයෙකු අනතුරින් දිවි ගලවා ගෙන ඇතැයි අහමදාබාද් පොලිස් ප්‍රධානී ජී.එස්. මලික් ANI ප්‍රවෘත්ති ඒජන්සියට පවසා තිබේ.

ANI වෙත අදහස් දක්වමින් ඔහු පවසන්නේ, දිවි ගලවා ගත් පුද්ගලයා "රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින" බවයි.

බලධාරීන් විසින් මීට පෙර නිකුත් කරන ලද මගී ලැයිස්තුවට අනුව, ඔහු විශ්වාෂ්කුමාර් රමේෂ් නමැති අයෙකි.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ ඔවුන් විශ්වාෂ් සමග රෝහලේදී කතා කළ බවයි. ඔහු තම නම සහ ආසන අංකය පෙන්වන ඔහුගේ බෝඩිං අවසර පත්‍රය ඔවුන්ට දැක ගැනීමට අවස්ථාව ලබා දී ඇත.

"ගුවන්ගත වෙලා තත්පර තිහකට විතර පස්සේ, ලොකු සද්දයක් ඇහුණා. පස්සේ ප්ලෙන් එක කඩාගෙන වැටුණා. ඒ හැමදේ ම ඉතා ම ඉක්මනින් සිද්ධ වුණා," ඔහු පැවසුවේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

අනතුරට හේතුව කුමක් ද?

අනතුරට හේතුව තවමත් පැහැදිලි නැති නමුත් විශේෂඥයින් BBC Verify වෙත පවසන්නේ ගුවන් යානයේ පියාපත්වල ෆ්ලැප් (wing flaps) යම් ආකාරයකින් මෙයට හේතුවන්නට ඇති බව යි.

තුවාලකරුවන් ළඟ ම ඇති රෝහල් වෙත රැගෙන යන බව Air India ගුවන් සේවය පැවසීය.

වීඩියෝව නරඹන්න

"කඩිනම් ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම්" සිදු කරන ලෙසත් "ඉක්මනින්" කටයුතු සම්පාදනය කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ගුජරාට් මහ ඇමතිවරයා පැවසීය.

Air India සභාපති නටරාජන් චන්ද්‍රසේකරන් පැවසුවේ "හදිසි ඇමතුම් මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කර ඇති" බව ත් තොරතුරු ලබා ගැනීමට බලාපොරොත්තු වන පවුල් සඳහා සහයක කණ්ඩායමක් යොදවා ඇති බව ත් ය.