ගුවන් යානයක් වායු කැළඹීමකට ලක්වීම යනු කුමක් ද? සහ එය සිදුවන්නේ ඇයි?

ලන්ඩන් නුවර සිට සිංගප්පූරුව දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් දැඩි වායු කැළඹීමකට ලක්වීම හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.

එම අවස්ථවේදී ගුවන් යානය එකවර පහතට ඇදී ගිය අතර ඒ හේතුවෙන් ගුවන් යානය තුළ සිටි මගීන් සහ භාණ්ඩ මැදිරියේ එහා මෙහා විසි වී ගොස් තිබේ. එය ගුවන් යානය තායිලන්තයේ බැංකොක් නුවර වෙත හදිසි ගොඩබෑමකට ලක් කිරීමට හේතු විය.

වායු කැළඹීමක් යනු කුමක් ද සහ එයට හේතුව කුමක් ද?

ගුවන් යානයක් වායු කැළඹීමකට ලක් වූ විට සිදු විය හැකි හදිසි ගැස්ම නිතර ගුවන් ගමන්වල නිරත වන පුද්ගලයින්ට හුරුපුරුදු දෙයකි. එයට ගුවන් යානය චලනය කළ හැකි අතර එය යානය ඒ වන විට පවතින උසෙහි ද හදිසි වෙනස්කම් ඇති කරයි.

රාජකීය ගුවන් හමුදාවේ හිටපු නිලධාරියෙකු වන BBC Weatherහි සයිමන් කිං පවසන පරිදි, බොහෝ විට කැළඹිලි ඇති වන්නේ, වායු ධාරා ඉහළට සහ පහළට ගමන් කරන වලාකුළු තුළ ය.

ඒවායින් බොහොමයක් තරමක් මෘදු වනු ඇති නමුත් විශාල වලාකුළුවල එනම්, කැටි වැහි වලාකුළු (හෝ ගිගුරුම් වලා) වැනි වලාකුළු තුළ වාතයේ සිදුවන ව්‍යාකූල චලනයන් මධ්‍යස්ථ හෝ දරුණු කැළඹීමක් ඇති කළ හැකි ය.

"පැහැදිලි අහසේ ඇති වායු" කැළඹීම (clear air) ලෙස හැඳින්වෙන තවත් වායු කැළඹීම් වර්ගයක් තිබේ. එය එහි නමට අනුව, වලාකුළුවලින් තොර වන අතර දෘශ්‍යමාන නොවේ. මෙය හඳුනා ගැනීම ඉතා අපහසු බැවින් ඉන් වඩා ත් ගැටලුකාරී තත්ත්ව ඇති කරයි.

සාමාන්‍යයෙන් අඩි 40,000-60,000ක් පමණ උසින් පිහිටි වේගයෙන් ගලා යන "ගංගාවක්" වැනි වායු ප්‍රවාහයක් වටා එනම්, ජෙට් ප්‍රවාහය වටා මෙවැනි කැළඹීමක් ඇති වන බව ගුවන් අධ්‍යයන සහ වාණිජ ගුවන් නියමු ගයි ග්‍රැටන් පවසයි.

ජෙට් ප්‍රවාහයේ වාතය සහ අවට වාතය අතර ඔබට පහසුවෙන් පැයට සැතපුම් 100ක වේගයේ වෙනසක් දැක ගත හැකි බව ඔහු පවසයි. මන්දගාමී සහ වේගවත් වාතය ගැටීමෙන් ජෙට් ප්‍රවාහය වටා ඇතිවන ඝර්ෂණය කැළඹීමට හේතු වේ. මෙය සැමවිට ම පවතින අතර එය එක් තැනකින් තවත් තැනකට ගමන් කරයි. ඒ හේතුවෙන් එය වළක්වා ගැනීමට අපහසු වේ.

නිදසුනක් වශයෙන්, ඔබ යුරෝපයේ සිට උතුරු ඇමෙරිකාවට පියාසර කරන්නේ නම්, එය සම්පූර්ණයෙන් ම වළක්වා ගැනීම දුෂ්කර බව ග්‍රැටන් පවසයි. මෙය දරුණු කැළඹිලි සහිත කාල පරිච්ඡේදයන් ඇති කළ හැකි ය.

වායු කැළඹීමක් කෙතරම් භයානක ද?

ගුවන් යානා නිර්මාණය කර ඇත්තේ කැළඹීමක් නිසා ඇති විය හැකි අයහපත් ම තත්ත්වයට මුහුණ දීමට බව ක්‍රැන්ෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ ගුවන් සේවා සහ පරිසරය පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු ද වන ග්‍රැටන් පවසයි.

වායු කැළඹීමකින් ගුවන් යානයක් විනාශ වීමට ඇති "සම්භාවිතාව අඩු" බව ඔහු සඳහන් කරයි.

අනෙක් අතට, එය ගුවන් යානයකට කිසිදු යහපතක් ද නොකරයි. ගුවන් නියමුවන් එය මග හැරීමට හෝ වේගය අඩු කිරීමට උත්සහ ගන්නේ සහ ආසන පටි පළඳින ලෙසට මගීන්ට අනතුරු අඟවන්නේ ඒ නිසා ය.

විශේෂඥයින් පවසන පරිදි දරුණු ම අවස්ථාවන්හිදී කැළඹීම් හේතුවෙන් වායු ධාරාවල ප්‍රබලත්වය අනුව ගුවන් යානයකට ව්‍යුහාත්මක හානි සිදු විය හැකි ය.

දැඩි වායු කැළඹීමක් ගුවන් මගීන්ට අනතුරුදායක විය හැක්කේ, එමගින් ඇති කළ හැකි ප්‍රචණ්ඩ චලිතය නිසා, ආසන පටි පැළඳ නොසිටින ඕනෑ ම අයෙකු මැදිරිය හරහා විසි වී යාමට හේතුවන බැවිනි.

නමුත් ගුවන් යානයක් වායු කැළඹීමකට ලක් වීම හේතුවෙන් සිදුවන මරණ සහ තුවාල දුර්ලභ බව ගුවන් ආරක්ෂණ විශේෂඥයෝ පවසති.

ගුවන් සේවා විශේෂඥයෙකු වන ජෝන් ස්ට්‍රික්ලන්ඩ් පැවසුවේ, ක්‍රියාත්මක වන මිලියන සංඛ්‍යාත ගුවන් ගමන් පිළිබඳව සැලකිල්ලට ගැනීමේදී දැඩි කැළඹීම්වලින් සිදුවන තුවාල "සාපේක්ෂ වශයෙන් දුර්ලභ" බව ය.

එක්සත් ජනපදයේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය පැවසුවේ, 2009 සහ 2022 අතර එක්සත් ජනපදය පදනම් කරගත් ගුවන් සමාගම්වල "බරපතළ වායු කැළඹීම්වලට ලක් වීම හේතුවෙන් තුවාල සිදුවීම්" 163ක් වාර්තා වී ඇති බව ය. එය සාමාන්‍යයෙන් වසරකට 12ක් පමණ වේ.

ගුවන් නියමුවන් වායු කැළඹීමකදී ක්‍රියාකරන්නේ කෙසේ ද?

ගුවන් නියමුවන්ට ඔවුන් පියාසර කිරීමට පෙර තම ගුවන් ගමනට අදාළව වායුගෝලයේ තත්ත්වය පිළිබඳව අනාවැකි ලැබෙන අතර ඊට කාලගුණ විද්‍යාත්මක දත්ත ද ඇතුළත් වේ.

තම ගමන් මග සැලසුම් කිරීමේදී මෙම තොරතුරු අධ්‍යයනය කිරීමට ඔවුන්ට ඉඩ සැලසේ.

මෙයින් අදහස් කරන්නේ, උදාහරණයක් ලෙස, ඔවුන්ට හුදෙකලා ගිගුරුම් වලා වළක්වා ගැනීමට හැකි විය යුතු බව ය. නමුත් "පැහැදිලි අහසේ ඇති වායු" කැළඹීමක් (clear air) වළක්වා ගැනීමට තරමක් අභියෝගාත්මක ය.

එම ගමන් මාර්ගවල ම ඔවුන්ට ඉදිරියෙන් සිටින අනෙකුත් ගුවන් යානා ද කිසියම් කැළඹීමක් ඇති නම් ඒ පිළිබඳව වාර්තා කරනු ඇති බව ග්‍රැටන් පවසයි.

ගුවන් නියමුවන් මෙම ප්‍රදේශ මග හැරීමට උත්සහ කරනු ඇත. නැතහොත් ඉන් සිදුවන බලපෑම අඩු කිරීමට යානයේ වේගය අඩු කරති.

වායු කැළඹීමකදී ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳව කාර්ය මණ්ඩලය ද පුහුණු කරනු ලබයි.

ආරක්ෂිතව සිටීමට මගීන්ට කළ හැක්කේ කුමක් ද?

මගීන් සඳහා, දෙනු ලබන උපදෙස් වන්නේ, ආසන පටි පැළඳ තද කරගෙන සිටීම සහ බරින් වැඩි භාණ්ඩ කිසිවක් පිටතට නොගෙන සිටීම ය.

වායු කැළඹීම් අනපේක්ෂිත විය හැකි බැවින්, නියමුවන් මගීන්ට සෑම විට ම ආසන පටි පැළඳ සිටින ලෙසට උපදෙස් දෙයි.

වායු කැළඹීම් දැන් නිරන්තරයෙන් සිදුවනවා ද?

ඇතැම් පර්යේෂකයන් සිතන්නේ, දේශගුණික විපර්යාස වායු කැළඹීම් නිතර ඇති වීමට හේතු වී ඇති බව ය.

සාමාන්‍යයෙන් කාර්යබහුල උතුරු අත්ලාන්තික් ගුවන් මාර්ගයක 1979 සහ 2020 අතර කාලයේ දරුණු වායු කැළඹීම් සිදුවීම 55%කින් වැඩි වී ඇති බවට පසුගිය වසරේ එක්සත් රාජධානියේ රීඩිං විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සොයා ගත්හ.

ඔවුන් එම වැඩි වීම ආරෝපණය කළේ, කාබන් විමෝචනයේ ප්‍රතිඵලයක් ලෙස උණුසුම් වන වාතය හේතුවෙන් ඉහළ උන්නතාංශවල ඇති වායු ධාරාවල වේගයේ සිදුවන වෙනසට ය.

අප වැඩි වශයෙන් වායු කැළඹීම්වලට මුහුණ දෙන බව ගයි ග්‍රැටන් පැවසුවේ, අප වැඩි වශයෙන් ගුවන් ගමන්වල නිරත වීම ඊට හේතු විය හැකි බව ද පවසමිනි.

මෙයින් අදහස් වන්නේ, අහස කාර්යබහුල වන බව ය. ඒ හේතුවෙන් අනෙකුත් ගුවන් යානා සමග අවම ආරක්‍ෂිත දුර පවත්වා ගන්නා අතරවාරයේදී වායු කැළඹීම් මග හැර යාමට ද ගුවන් නියමුවන්ට අභියෝගාත්මක තීරණ ගැනීමට සිදු වේ.