T20 ලෝක කුසලානය: ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව අතර තරග ඉතිහාසය ගැන පසුවිපරමක්

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගය අද (පෙබරවාරි 16) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවට මෙන්ම ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන මෙම තරගය ලෝක කුසලාන තරගාවලියේ B කාණ්ඩය යටතේ පැවැත්වෙන වැඩි ප්‍රේක්ෂක අවදානයක් හිමි වන තරගයක් ලෙස සැලකේ.

ප්‍රේක්ෂකයින් 18,000කට පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී තරගය නැරඹීමට අවස්ථාව හිමිවන අතර, අද තරගය වෙනුවෙන් නිකුත් කර තිබු සියලු ප්‍රවේශ පත්‍ර සියල්ල විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

T20 ලෝක කුසලානය: ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා තරග ඉතිහාසය

මේ දක්වා ක්‍රීඩා කර ඇති විස්සයි 20 ලෝක කුසලාන තරගවලදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත්තේ එක් තරගයක් පමණි.

ලෝක කුසලාන තරගාවලි 05 කදී මිට පෙර ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර එකිනෙකා තරග වැදී ඇත. එම තරග ප්‍රථිපල පහත දැක්වේ.

  • 2007 වසරේ දකුණු අප්‍රිකාවේ දී පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය - ශ්‍රී ලංකාව පරාජය කරමින් කඩුලු 10කින් ජයග්‍රණය කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
  • 2009 වසරේ එංගලන්තයේ දී පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය - ඔස්ට්‍රේලියාව පරාජය කරමින් කඩුලු 06කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
  • 2010 වසරේ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය - ශ්‍රී ලංකාව පරාජය කරමින් ලකුණු 81ක ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
  • 2021 වසරේ අබුඩාබි හිදී පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය - ශ්‍රී ලංකාව කඩුලු 07කින් පරාජය කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
  • 2023 වසරේ ඔස්ට්‍රේලියාවේ දී පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය - ශ්‍රී ලංකාව කඩුලු 07කින් පරාජය කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

දෙරට අතර T20 තරගාවලි ඉතිහාසය

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර විස්සයි 20 තරගාවලි 08ක් ක්‍රීඩා කර තිබේ. එම තරගාවලි 08න් 04ක ජය ශ්‍රී ලංකාවද අනෙක් තරගාවලි 04ක ජය ඔස්ට්‍රේලියාවද හිමි කරගත්තේය.

එම තරගාවලි 08 දී දෙරට අතර පැවති විස්සයි 20 තරග 21ක් ක්‍රීඩා කර තිබේ. එහිදී තරග 12ක් ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට හැකිව ඇති අතර තරග 09ක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව ඇත.

2011, 2013 සහ 2016 යන වසරවල් වලදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔවුන්ගේ රටේදී ක්‍රීඩා කරන ලද විස්සයි 20 තරගාවලි 04ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කොට තිබේ.

කෙසේ වුවද, 2019, 2021 සහ 2022 හිදී පැවති විස්සයි 20 තරගාවලි 04 ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අවසන් වරට විස්සයි 20 තරගයක් ක්‍රීඩා කරනු ලැබුවේ 2022 වසරේ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී වන අතර එම තරගය කඩුලු 04කින් ශ්‍රී ලංකාව ජයග්‍රණය කළේය.

ස්ට්වි ස්මිත් ඔස්ට්‍රේලියානු සංචිතයට

2026 ICC විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ තාක්ෂණික කමිටුව විසින් ඔස්ට්‍රේලියානු සංචිතය සඳහා ජොෂ් හේසල්වුඩ් වෙනුවට ස්ටීව් ස්මිත් නම් කර ඇත.

ජෝෂ් හේසල්වූඩ් කලවයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු සංචිතයෙන් ඉවත් කර තිබෙන අතර ඒ වෙනුවට ස්ටීව් ස්මිත් කැඳවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් විසින් විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ තාක්ෂණික කමිටුවෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

ආදේශක ක්‍රීඩකයා නිල වශයෙන් සංචිතයට එක් කිරීමට පෙර තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍ය වන අතර, ඒ අනුව ස්ටීව් ස්මිත් ඕස්ට්‍රේලියානු සංචිතයට එක් කිරීමට අවසර හිමිව ඇත.