ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකා ජයග්‍රහණය T20 ලෝක කුසලානයට කෙලෙස බලපායි ද?: පළමු තරගයේ ඇස නොගැටුණු තැන්
- Author, කුමුදු ජයවර්ධන
පන්දු වාර 20 ක්‍රිකට් ලෝක කුසලානය ආසන්නයේ එංගලන්තයට එරෙහිව බ්‍රහස්පතින්දා (ජන: 22) ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ලකුණු 19ක ජයග්‍රහණය ශුභවාදී සලකුණක් බව ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පවසයි.
කෙසේ වෙතත්, එක්දින තරග රටාව සහ පන්දු වාර 20 තරග රටාව අතර පැහැදිලි වෙනස්කම් ඇති බව බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ ය.
"අපි අනිවාර්යයෙන් ම ශුභවාදීව ගත යුතු යි. නමුත් අපි මතක තබා ගන්න ඕනෙ පන්දු වාර 50 සහ පන්දු වාර 20 කියන්නෙ තරග රටා දෙකක්. ඉතින් 50 දින්න පළියට 20 දිනනව කියන්න බෑ. 20/20 තරග කියන්නෙ බොහොම ඉක්මනින් ක්‍රීඩා කරන තරගයක්. අනිත් එක බොහොම කෙටි කාලයකදී වෙනස් විය හැකි තරග රටාවක්. පන්දු ඕවරයකදී, දෙකකදී, සමහර විට පන්දු දෙක තුනකදී තරගයේ අවසාන ඉරණම තීරණය වෙන්න පුළුවන්."
ඔහු පැවසුවේ, 20/20 තරග රටාව තුළ ජය ගන්නා කණ්ඩායම පිළිබඳව අනාවැකි පළ කළ නොහැකි බව ය.
"ඉතින් එවැනි තරග රටාවකදී කිසි ම කණ්ඩායමක් තරගාවලිය දිනයි කියල අනාවැකි පළ කරන්නට බැහැ. හොඳ ම කණ්ඩායමත් සුළු වරදක් හරි වුණොත් 20/20 තරගවලදී පරාජය වෙන්න පුළුවන්. මේ තරග රටාවේ වැරදි හදාගැනීමට වෙලාව ගොඩක් අඩු යි. මේක කාටවත් අනාවැකි කියන්න පුළුවන් තරග රටාවක් නවෙයි."
'හොඳ සංවිතයක්'
ශ්‍රී ලංකාව සතුව මේ වන විට සාර්ථක ක්‍රිකට් සංචිතයක් ඇතැයි රොෂාන් අබේසිංහ පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ, ජනවාරි 22 වන දා තරගයට වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර යන ප්‍රමුඛ පන්දු යවන්නන් ක්‍රීඩා නොකළ ද, ජෙෆරි වැන්ඩර්සේ සහ දුනිත් වෙල්ලාලගේ එම අඩුව පිරවීමට සමත් වූ බව ය.
ඒ අනුව, ශක්තිමත් සංචිතයක් ශ්‍රී ලංකාව සතු බවට එම තරගයේදී තහවුරු වූ බව ඔහු පැවසීය.
'සියලු ක්‍රිකට් ලෝලීන් සනසන්න තේරීම් කමිටුවකට බෑ'
මේ අතර, සියලු ක්‍රිකට් ලෝලීන් සැනසීමට තේරීම් කමිටුවට හැකියාවක් නැතැයි රොෂාන් අබේසිංහ සඳහන් කළේ ය.
"තේරීම් කමිටුව හැම දා ම වැරදි යි. මොක ද ඔවුන්ට බෑ ක්‍රිකට් ලෝලීන් සියලු දෙනා ම සනසන්න. ඇයි එයා නැත්තෙ? ඇයි අරය නැත්තෙ? ඔය ප්‍රශ්න හැම දා ම අහයි. ලෝක කුසලානය දින්නත් අහයි."
පළමු එක්දින තරගයේ ප්‍රතිඵලය
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 19ක ජයක් හිමි කර ගත්තේ ය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 271ක් රැස් කළේ ය.
කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 93ක් රැස් කළ අතර, ජනිත් ලියනගේ ලකුණු 46කට දැවී ගියේ ය.
ඊට පිළිතුරු වශයෙන් එංගලන්ත කණ්ඩායම සියලු කඩුලු දැවී රැස් කළේ ලකුණු 252ක් පමණි.
කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම් හැඟීම
ශ්‍රී ලංකා කණ්ඩායම යම් අසීරු තත්ත්වයක පසුවෙද්දී කුසල් මෙන්ඩිස් සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 93ක් රැස් කළේ ය.
අවසන් පන්දු වාරය වන විට ලකුණු 92ක් ලබා සිටි ඔහුට ශතකය රැස් කිරීම සඳහා ලකුණු 8ක් අවශ්‍ය වී තිබිණි.
පන්දු වාරයේ තුන් වන පන්දුවට පහර දුන්න ද, ඔහුට රැස් කර ගත හැකි වූයේ, එක් ලකුණක් පමණි.
එහිදී ඔහු තවදුරටත් කඩුල්ලේ රැඳී නොසිට ඔහු එම ලකුණ වෙනුවෙන් අනෙක් කඩුල්ල දෙසට දිව ගියේ, ඒ වන විට හොඳින් ලකුණු රැස් කරමින් සිටි දුනිත් වෙල්ලාලගේට අවස්ථාව ලබා දෙමිනි.
ඒ අනුව, කුසල් මෙන්ඩිස්ගේ ශතකය ඔහුට අහිමි විය.
එංගලන්ත කණ්ඩායම සිය මව්රටෙන් එපිටදී අඛණ්ඩව පරාජයට පත්වූ 11 වන තරගය මෙය විය.
දුනිත් වෙල්ලාලගේ දැක්වූ විශිෂ්ට දක්ෂතා
මෙම තරගයේ ජය පරාජය තීරණය වීමට කුසල් මෙන්ඩිස්ගේ ලකුණු 93 හැරුණුකොට, දුනිත් වෙල්ලාලගේ දැක්වූ දක්ෂතා ඍජුව බලපෑවේ ය.
එංගලන්ත නායක හැරී බෲක් පැවසූ පරිදි, තරගය ඔවුන්ගෙන් ගිලහී ගියේ, ශ්‍රී ලංකා අවසන් පන්දු වාරයේදී දුනිත් වෙල්ලාලගේ රැස් කළ ලකුණු සංඛ්‍යාව යි.
ශ්‍රී ලංකා ඉනිමේ 49 වන පන්දු වාරය අවසානයේ ශ්‍රී ලංකා පිතිකරුවන් රැස් කර සිටියේ ලකුණු 248ක් පමණි.
එහෙත්, 50 වන පන්දු වාරයේදී දුනිත් වෙල්ලාලගේ වේගවත්ව ලකුණු රැස් කළ අතර එම පන්දු 6 තුළ ලකුණු 23ක් රැස් කිරීමට පිතිකරුවන් දෙදෙනා සමත් වූහ.
පන්දු යැවීමේදී දුනිත් ජේකොබ් බෙතෙල් සහ සෑම් කරන්ගේ කඩුලු දවා ගැනීමට සමත් විය.
ඊට අමතරව, ඔහු උඩ පන්දු 3ක් ද රැක ගැනීමට සමත් විය.