පුද්ගලයෙකුගේ ලිංගේන්ද්‍රියේ ලූනු අතුල්ලා අමානුෂික ලෙස පහර දුන් නාකොටික් නිලධාරීන්ට අධිකරණය දුන් දඬුවම

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

"කුඩු කිලෝ දහය කෝ," යනුවෙන් අසමින් කටුනායක ප්‍රදේශයේ ඇඳුම් මසන්නෙකුගේ ලිංගේන්ද්‍රියේ ලූනු අතුල්ලා අමානුෂික ලෙස පහර දීමේ චෝදනාවලට වරදකරුවන් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනෙකුට මීගමුව මහාධිකරණ විනිසුරු කවින්ද්‍යා නානායක්කාර වසර හත බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළා ය.

මීට වසර අටකට පෙර විත්තිකරුවන් මෙම අපරාධය කර ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරනු ලැබ ඇතැයි තීරණය කරමින් විනිසුරුවරිය විත්තිකරුවන්ට මෙම දඬුවම් ප්‍රකාශයට පත් කළා ය.

දඬුවම් නියම වූ නිලධාරීන් කවුද?

මෙලෙස දඬුවම් නියම වූයේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උපපොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කළ අසංග රමේෂ් අමරසිංහ සහ පොලිස් කොස්තාපල්වරුන් වන අරුණ දිනේෂ් හා තිළිණ උදයංග සෙනෙවිරත්න යන තිදෙනාට ය.

සිද්ධිය කුමක් ද?

2018 නොවැම්බර් 20 වන දා හෝ ඊට ආසන්න දිනයක කටුනායකදී සීනි මොහොමදු නෞකර් නදීප්ට මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරක් හෙළි කර ගැනීමට පහර දී කෲර වධ හිංසාවන්ට භාජනය කිරීම ඇතුළු චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකාර පොලිස් නිලධාරීන්ට එරෙහිව නඩු පවරනු ලැබ තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයේදී සීනි මොහොමදු නෞකර් නදීප් නැමැත්තා සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේ, නිවසේ අය රෝගියෙකු බැලීමට රෝහලට යාම නිසා පස් හැවිරිදි සිය පුතු සමග ත්‍රිරෝද රථයෙන් තම ටේලර් සාප්පුවට ගිය බව ය.

එසේ සිටියදී රාත්‍රී හතයි තිහට පමණ එහි පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක්, "කුඩු කිලෝ දහය කෝ," යැයි අසා ඇති බවත් මත්ද්‍රව්‍ය ජාවාරමට තමාගේ සම්බන්ධයක් නැතැයි පැවසූ පසු එම නිලධාරීන් පස් හැවිරිදි පුතු සමග තමා අලුතින් ඉදිකරමින් පවතින නිවසකට ගෙන ගොස් පහර දී තමාගේ හිසට පොලිතින් බෑග් එකක් දැමූ බවත් ඔහු සඳහන් කළේ ය.

සාක්ෂිකරු හුස්ම හිර වී කෑ ගසන හඬ ඇසී, අසල නිවසේ පදිංචිකරුවන් ද එහි පැමිණ බව ද පැවසීය.

පසුව විත්තිකාර පොලිස් නිලධාරීන් තමා පොලිස් ස්ථානයකට රැගෙන ගොස් දෑත් දෙපසට විහිදුවා මුගුරක් තබා බැඳ බැරල් දෙකක් උඩ දමා පහර දුන් බවත්, පසුව තම ලිංගේන්ද්‍රියට දැවිල්ල සහිත යමක් දැමූ බවත් ඔහු තවදුරටත් සඳහන් කළේ ය.

කෲර ලෙස වධ දෙමින් දින කිහිපයක් පුරා පොලිස් නිලධාරීන් කළ පහර දීම් හේතුවෙන් තමාට හුස්ම ගැනීමට පවා නොහැකි තත්ත්වයකට පත් වූ බව ද ඔහු අධිකරණය හමුවේ පැවසීය.

රැඳවුම් නියෝග ලබා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් තමා මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමන්ගේ තුවාල ආදිය මහේස්ත්‍රාත්වරයාට නිරීක්ෂණය නොවන ආකාරයට ආවරණය කරගෙන සිටි ආකාරය ද පැහැදිලි කළ නදීප්, රෝහල්ගත කර තමාට ප්‍රතිකාර ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළ ද මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පැමිණ දැනුම් දෙන තුරු ප්‍රතිකාර සඳහා තමා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු නොකළ බව ද සඳහන් කළේ ය.

ශරීරයේ තුවාල 11ක්

වින්දිත පුද්ගලයා පරීක්ෂාවට ලක් කළ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා, ඔහුගේ ශරීරයේ තුවාල 11ක් නිරීක්ෂණය කර තිබූ බව තීන්දු කළ විනිසුරුවරිය ඔහුගේ දෑත් අප්‍රාණික වන තරමට ම විත්තිකරුවන් ඔහුට පහර දී ඇති බව ද තීන්දුවේ සඳහන් කර තිබේ.

දීර්ඝ නඩු විභාගයේදී වින්දිත පුද්ගලයා විසින් විත්තිකරුවන් ඔහු කෲරත්වයට ලක් කළ ආකාරය පැහැදිලිව සඳහන් කරනු ලැබ ඇතැයි සිය තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරිය වින්දිත පුද්ගලයාට මෙලෙස පහර දී ඇත්තේ විත්තිකරුවන් විනා අන් පුද්ගලයෙකු නොවන බව සාක්ෂිවලින් මනාව පැහැදිලි වී ඇතැයි ද තීන්දු කළා ය.

ඒ අනුව, විත්තිකරුවන්ට එරෙහි චෝදනාවලට ඔවුන් වරදකරුවන් බව තීරණය කළ විනිසුරුවරිය එක් විත්තිකරුවෙකුට වසර හත බැගින් විත්තිකරුවන් තිදෙනාට බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළා ය.