පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට සහ රැට්ටාට වරෙන්තු නිකුත් කළේ ඇයි?

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 2

නඩු කටයුත්තක් සඳහා අධිකරණයට වාර්තා නොකළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ සහ රැට්ටා හෙවත් රතිදු සේනාරත්න නමැත්තන් වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (පෙබ: 02) නියෝග කළේ ය.

කොම්පඤ්ඤවීදිය පොලිසියට එම නියෝගය කරමින් වරෙන්තු නිකුත් කළ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර, ඔවුන්ගේ ඇපකරුවන්ට ඉදිරි දිනයේදී අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නොතීසි නිකුත් කළේ ය.

සිද්ධියේ සැකකරුවෙකු වන පෙර දිනයේ නඩු විභාගයට නොපැමිණි පූජ්‍ය තැන්නේ ඥාණානන්ද හිමියන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී රුපියල් ලක්ෂයක අමතර ඇපයක් මත මුදා හැරීමට ද එහිදී නියෝග කෙරිණි.

නඩුවට අදාළ සිද්ධිය

ගාලුමුවදොර පිටියේ සාමකාමී අරගලයක නිරත වූ අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ඇමති සනත් නිශාන්ත ඇතුළු පිරිස 2022 වසරේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරුවන්ට ඇප නොදෙන ලෙස ඉල්ලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළ බව කියන සිද්ධියට අදාළ නඩුවට ඉදිරිපත් නොවීම හේතූවෙන් සැකකරුවන්ට එරෙහිව මෙලෙස වරෙන්තු නිකුත් කෙරිණි.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකරුවන් ලෙස නම් කර සිටින රංගනවේදි දමිතා අබේරත්න, ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසෆ් ස්ටාලින්, ධම්මික මුණසිංහ, පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි, පූජ්‍ය තැන්නේ ඥාණානන්ද හිමි, සත්‍යවේල් පියතුමා ඇතුළු හත් දෙනෙක් විවෘත අධිකරණයේ පෙනී සිටියහ.

නඩුවේ සෙසු සැකකරුවන් ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ සහ රැට්ටා හෙවත් රතිදු සේනාරත්න නමැත්තන් අධිකරණයේ පෙනී සිටියේ නැත.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තා ඉදිරිපත් කළ කොම්පඤ්ඤවීදිය පොලිසියේ නිලධාරීහු අධිකරණයේ පෙනී නොසිටින සැකකරුවන්ට වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලා සිටියහ.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කළේ ය.