කුර්දි සටන්කාමීන්: සම්පූර්ණයෙන්ම කාන්තාවන්ගෙන් සැදුම්ලත් රහසිගත බලඇණියක්

    • Author, කවූන් කමුෂ් - ඉරාකයේ අර්බිල් සිට
    • Role, බීබීසී ලෝක සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 8

ඇමෙරිකානු සහ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර අඛණ්ඩව එල්ල වෙමින් පවතින පසුබිමක, ඉරාකයේ කඳවුරු බැඳ සිටින සන්නද්ධ ඉරාන කුර්දි කණ්ඩායම් ඉක්මනින්ම දේශසීමා හරහා ගොස් ඉස්ලාමීය ජනරජයට එරෙහි යුද්ධයට අවතීර්ණ වනු ඇතැයි යන සැකය වර්ධනය වෙමින් පවතී. මෙයට ප්‍රතිචාර වශයෙන් ඉරානය කුර්දි කණ්ඩායම් කිහිපයකට ප්‍රහාර එල්ල කර ඇති අතර බැලැස්ටික් මිසයිල ප්‍රහාරයකින් එක් සටන්කාමියෙකු මිය ගියේය. මේ අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාර්තු 7 වනදා ප්‍රකාශ කළේ කුර්දි සටන්කාමීන් ඉරානය තුළ සටන් කරනවා දැකීමට තමා අකමැති බවයි.

බීබීසී පුවත් සේවය කුර්දි සටන්කාමීන්ගේ එක් කණ්ඩායමක් වෙත ප්‍රවේශවීමේ දුර්ලභ අවස්ථාවක් ලද අතර එය සම්පූර්ණයෙන්ම කාන්තාවන්ගෙන් පමණක් සමන්විත රහසිගත හමුදා බලකායකි.

ඉරාකයේ උතුරු දිග ප්‍රදේශයේ පිහිටි ඉරාන කුර්දි සටන්කාමීන්ගේ කඳවුරක් ලෙස භාවිත කෙරෙන ගැඹුරු ගුහා සහ භූගත උමං මාර්ග වෙත ඇතුළු වීම සඳහා දින ගණනාවක් බලා සිටීමට සහ සාකච්ඡා කිරීමට සිදු විය.

ඔවුහු රහසිගත සන්නිවේදන ජාලයක් මෙහෙයවන අතර, කුර්දිස්තානයේ අර්ධ ස්වයං පාලන කලාපය තුළ බාහිර ලෝකයෙන් හුදකලාව ජීවත් වෙති.

ඡායාරූප ශිල්පිනියකට පමණක් භූගත සංකීර්ණයට ඇතුළු වී එහි දින 10 ක කාලයක් රැඳී සිටීමට අවසර හිමිවිය.

මෑත දශක කිහිපය තුළ, ඉරානයේ කුර්දි කැරලිකාර කණ්ඩායම් කිහිපයක් ඉරාක දේශ සීමාව හරහා කඳුකරයට සංක්‍රමණය වී ඇත.

ඔවුහු ඉරාන බුද්ධි අංශවලින්, ඉරාකයේ ෂියා හිතවාදීන්ගෙන් සහ තුර්කි හමුදාවෙන් සැඟවී සිටිති.

මෑතකාලීනව ඉරාකයේ උතුරු ප්‍රදේශයේ වෙසෙන ප්‍රධාන ඉරාන කුර්දි කණ්ඩායම් සන්ධානයක් පිහිටුවා ගත් අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම නායකයින් සමඟ සෘජුව සම්බන්ධ වී ඔවුන්ට යුද්ධයට එක්වන ඉල්ලීම් කර ඇති බවට සැක පළ වී තිබේ.

මාර්තු 5 වන දින රොයිටර් පුවත් සේවය සමඟ පැවැත්වූ දුරකථන සම්මුඛ සාකච්ඡාවකදී, ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානයට එරෙහිව ප්‍රහාරයක් දියත් කිරීමට ඔහු කුර්දිවරුන්ට සහය දක්වන බවයි. "මම හිතනවා ඔවුන්ට එය සිදු කිරීමට හැකියාව තිබේනම් එය ඉතා අගනා දෙයක් කියලා.'' ඔහු පැවසීය.

කෙසේ වෙතත්, සෙනසුරාදා ජනමාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ කුර්දි පාබල සේනා ඉරාන භූමියට ඇතුළු වනවා දැකීමට තමා අකමැති බවයි.

"දැනටමත් පවතින යුද්ධය තවත් සංකීර්ණ කිරීමට අපට අවශ්‍ය නැහැ," යැයි ඔහු පැවසීය.

එක්සත් ජනපදය සහ ඊශ්‍රායල බෝම්බ හෙලීම අඛණ්ඩව සිදු කරන විට ඉරානය බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් ද ඇතුළුව කුර්දි කණ්ඩායම් කිහිපයකට එරෙහිව ප්‍රහාර දියත් කළ අතර ඉන් එක් සටන්කරුවෙකු ඝාතනය විය.

වඩාත්ම සංවිධානාත්මක කණ්ඩායම් වලින් එකක් වන්නේ ඉරාන භූමියට යළි පය තැබීමට ඔවුන් වසර ගණනාවක් තිස්සේ සූදානම් වෙමින් සිටින බව පවසන කුර්දිස්තානයේ Free Life Party (PJAK) ය.

"මම සටන් කරන්නේ මගේ පවුල වෙනුවෙන් සහ දීර්ඝ කාලයක් තිස්සේ පීඩාවට පත්ව සිටින කුර්දි ජනතාව වෙනුවෙනුයි'' 21 හැවිරිදි ආර්යන් පවසයි.

ඇය PJAK කාන්තා ආරක්ෂක බලකායේ සාමාජිකාවකි.

කුර්දි ජාතිකයෙකු ලෙස ඉරානය තුළ තමා අසාධාරණයට සහ වෙනස් කොට සැලකීමට ලක් වූ බවත්, අවි දැරීම හැර වෙනත් විකල්පයක් නොතිබූ බවත් ආර්යන් පවසයි. ඇය මීට වසර දෙකකට පෙර PJAK සමග එක්වූවාය.

රහසිගත හමුදා කඳවුරු ඇතුළත

මෙම උමං මාර්ග ආහාර, මුදල් සහ පතොරම් ගබඩාවලින් සමන්විත ආරක්ෂිත ස්ථාන වේ.

PJAK සංවිධානය තම සටන්කරුවන්ගේ සංඛ්‍යාව ඉතා රහසිගතව තබා ගන්නා නමුත් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහි යුද්ධය යුද්ධය ආරම්භ කිරීමට පෙර සිට බොහෝදුරට කාන්තාවන් වූ සටන්කරුවන් 60 ක් පමණ මෙම කඳවුර තුළ පුහුණුව ලැබ තිබේ.

සටන්කාමීන් හමුදා අභ්‍යාස, මතවාදී සැසි සහ ස්නයිපර් හා ඩ්‍රෝන උපක්‍රම වැනි පුළුල් පරාසයක කුසලතා ඔස්සේ පුහුණුව ලබයි.

එක්සත් ජනපදය සහ ඉරානය අතර ආතතීන් උත්සන්න වීමත් සමග දේශ සීමාව දෙසට යෙදවීම සඳහා සූදානම් වීම වෙනුවෙන් ඔවුන් වෛද්‍ය පරීක්ෂණවලට ද භාජනය විය.‍

''මෙම යුද්ධය බොහෝදුරට අපේක්ෂා කළා'' 40 හැවිරිදි වියේ පසුවන ගෙලවෙජ් එව්රින් බීබීසී වෙත පැවසුවාය.

අවුරුදු 20 දී එව්රින් ඉරානයේ උර්මියා නගරයේ සිටිමින් හැදෑරූ ඇගේ භූගෝලීය පාඨමාලාවෙන් අතහැර පා බල කාන්තා සොල්දාදුවෙකු ලෙස PJAK සමඟ සම්බන්ධ විය. පසුව ඇය මාධ්‍ය ප්‍රකාශිකාවක බවට පත් වූවාය.

රහස් ගුහාව තුළ සිට අදහස් දක්වමින් එව්රින් පවසන්නේ ඇය තම ජීවිතයෙන් අඩක්ම මෙම කඳුකරය තුළ ගෙවා දමා ඇති බව සහ පළා ආ දා සිට ඇගේ පවුලේ සාමාජිකයින් දැක නොමැති බවයි.

ඇය පවසන්නේ වත්මන් ප්‍රහාරවලින් කමේනි මියයන්නට ඇතත් 2022 වසරේ සිට ඉරානය පුරා ආරම්භ වූ කාන්තා නායකත්වයෙන් යුත් විරෝධතා මාලාව ඒ වන විටත් ඉස්ලාමීය ජනරජය දුර්වල කර තිබූ බවයි.

කාන්තාවන් හිස් ආවරණ පැළඳිය යුතු බවට වන නීති අනුගමනය නොකිරීම හේතුවෙන් ඉරාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ, 22 හැවිරිදි කුර්දි ජාතික කාන්තාවක වූ මහ්සා අමිනීගේ මරණයත් සමඟ හටගත් නොසන්සුන්තාව පිළිබඳව ඇය මෙහිදී සඳහන් කරයි.

එකම තේරීම

'කාන්තාවන්, ජීවිතය, නිදහස' නමින් ව්‍යාපාරයක් දක්වා පරිණාමය වූ විරෝධතාවලට ඉරාන බලධාරීන් මාරාන්තික මර්දනයකින් ප්‍රතිචාර දැක්වූ නමුත් එය ඇතැම් නව PJAK සාමාජිකයින්ට ප්‍රබෝධයක් විය.

PJAK සංවිධානයට සම්බන්ධ වීමට පෙර, 18 හැවිරිදි බිගන් මහජන විරෝධතාවලට සහභාගී වූ අතර රජයේ නීති කඩකිරීමක් ලෙස පාසලේදී හිස් ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කළාය.

''කාන්තාවන්ට තෝරා ගැනීම් මහ ගොඩක් නැහැ'' සෙසු සටන්කාරියකගේ කොණ්ඩය සෙමින් ගොතන අතරතුර බිගන් පවසයි.

"අපට ගෘහස්ථ හිංසනය සහ සමාජ සීමාවන් විඳීම හරි නැත්නම් විප්ලවය හරහා අපව ආරක්ෂා කර ගැනීම හරි කියන දෙකෙන් එකක් කරන්න වෙනවා."

ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් කුර්දි කැරලිකාර කණ්ඩායම්වලට නිරන්තරයෙන් චෝදනා එල්ල වන අතර, බිගන් වසර තුනකට පෙර කැරලිකාර කණ්ඩායමට සම්බන්ධ වන විට ඉරානයේ පාසල් සිසුවියක් වූවාය. මෙහි සිටින බොහෝ සටන්කාරිනියන් පවසන්නේ සන්නද්ධ ප්‍රතිරෝධය ඔවුන්ට ඇති එකම මාර්ගය බවයි.

''මගේ සටන කුර්දි ජාතිකයන්ගේ ඊළඟ පරම්පරාවට නිදහස් අනාගතයක් ආරක්ෂා කරදීමයි," වයස අවුරුදු 23 දී ගරිල්ලා සටන්කරුවෙකු බවට පත් වූ දන්ත වෛද්‍ය ඩෙලාල් පවසයි.

"කුර්දි ජනතාවට... පසුගිය වසර දෙසියය ගෙවා දමන්න වුණේ මර්දනය සහ ප්‍රචණ්ඩත්වය තුළයි " ඇය වැඩිදුරටත් පවසයි.

2004 දී පිහිටුවන ලද PJAK සංවිධානය තුර්කි රාජ්‍යය සමඟ දශක හතරක් පුරා පැවැති ගැටුමකින් අනතුරුව පසුගිය වසරේදී අවි බිම තැබූ තුර්කි බෙදුම්වාදී කණ්ඩායමක් වන කුර්දිස්තාන් කම්කරු පක්ෂය සමග සම්බන්ධ විය.

එම තීරණයට තමන් ගරු කරන නමුත් ඉරාන කුර්දිවරුන් ඉරාන ඉස්ලාමීය ජනරජයට එරෙහිව සිය සන්නද්ධ ප්‍රතිරෝධය අඛණ්ඩව පවත්වා ගෙන යන බව PJAK ප්‍රකාශ කළේය.

තුර්කිය සහ ඉරානය යන දෙපාර්ශවයම එය ත්‍රස්ත සංවිධානයක් ලෙස හඳුන්වයි.

වාර්ගික බෙදුම්වාදය අවුස්සන බවට සහ කලාපයේ සාමයට හා ස්ථාවරත්වයට තර්ජනයක් වන බවට චෝදනාවට ලක්වන "PJAK ත්‍රස්තවාදී කණ්ඩායමේ" ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන බව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි

සිවිල් යුද්ධයක් පිළිබඳ පවතින බිය

තමන් ඉදිරියේ පවතින අභියෝගයේ පරිමාණය පිළිබඳව කුර්දි සටන්කාමීන් දැනුවත්ව සිටියි. ඔවුන් අපේක්ෂා කරන්නේ ඇතැම්විට ඉරාන ඉස්ලාමීය ජනරජයේ මැනවින් සන්නද්ධ වූ හමුදා සමඟ සෘජු ගැටුමකට පවා මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

''සිවිල් යුද්ධයක් කියන්නේ අප මුහුණ දීමට බලාපොරොත්තු නොවන දෙයක්,'' එව්රින් බීබීසී යට පවසයි.

'''යුද්ධය පාලන තන්ත්‍රයේ බිඳවැටීම කරා යොමු කිරීමට සිදු කළ යුතු කුමක්ද අප එය කළ යුතුයි. එතකොට යුද්ධය අප වෙත හැරීමත්, පසුව අපි එකිනෙකා සමග සටන් කිරීමට සැලැස්වීමත් එමගින් නවතිනවා,'' ඇය වැඩිදුරටත් පවසයි.

''මැද පෙරදිග ප්‍රතිනිර්මාණය වෙමින් පවතින අතර ඉරානයේ ජනතාව එකට එකතු වී ඔවුන්ගේ අනාගතය සඳහා තීරණයක් ගන්න ඕනේ.''

ඉරාන විරුද්ධ පක්ෂ කණ්ඩායම් බලාපොරොත්තු වන්නේ මෙම යුද්ධයෙන් පසු ඉරානය කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදී ආදර්ශයක් ලෙස මතු වනු ඇති බවයි. නමුත් අන්ත ජාතිකවාදී බලවේග ජයග්‍රහණය කළහොත් තත්ත්වය නරක අතට හැරෙනු ඇතැයි ඔවුහු බිය වෙති.

ඉරානයේ මිලියන 90 ක ජනගහනයෙන් 10% ක් කුර්දි ජාතිකයන් වන අතර, දශක ගණනාවක් පුරාවට ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් කොන් කරන ලද බවත් පීඩාවට පත් කරන ලද බවත් ඔවුනට හැඟෙයි.

එතැන් පටන් ටෙහෙරානය ඉරාකයේ කුර්දිස්ථාන් කලාපයේ වෙසෙන ඉරාන කුර්දි කණ්ඩායම් වෙත එල්ල කරන ප්‍රහාර තීව්‍ර කර ඇත.

බීබීසී ය නව සන්ධානයේ නායකයින් සමඟ සාකච්ඡා කළ අතර, ට්‍රම්ප් සමඟ පැවැත්වූ දුරකථන ඇමතුම පිළිබඳව ඔවුන්ගෙන් විමසා සිටි නමුත් ඔවුන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළහ. සිය හමුදා මේ වන විටත් ඉරාන දේශසීමා තරණය කර ඇති බවට පළවන වාර්තා ද ඔවුහු ප්‍රතික්ෂේප කළහ.

කෙසේ වෙතත්, PJAK පවසන්නේ දැනටමත් ඉරාන භූමිය මත "සැලකිය යුතු" සන්නද්ධ හමුදා සිටින බව සහ ක්‍රියාත්මක වීම සඳහා ඔවුන් සුදුසු මොහොත එළඹෙන තෙක් බලා සිටින බවයි.

''අපගේ හමුදා මැදිහත්වීම තීරණය වන්නේ ඉදිරි දින කිහිපය තුළ දේවල් වර්ධනය වන ආකාරය අනුවයි,' යනුවෙන් එක් නායකයෙකු අප වෙත පැවසීය.

හරස්මාර්ග

අනෙකුත් ඉරාන කුර්දි විරුද්ධ කණ්ඩායම් පවසන්නේ තමන් තත්ත්වය නිරීක්ෂණය කරමින් විවිධ විකල්ප පිළිබඳව සලකා බලමින් සිටින බවයි.

ඉරාන කුර්දිස්තාන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක මුස්තාෆා හිජ්රි පවසන්නේ ඔවුන්ගේ වගකීම වන්නේ සංක්‍රාන්ති කාල පරිච්ඡේදයක් තුළ ඉරාන කුර්දිස්ථානය පරිපාලනය කිරීම බව සහ ආරක්ෂාවට හානි සිදු විය හැකි පළිගැනීම්වලින් වළකින ලෙස අනුගාමිකයින්ගෙන් ඉල්ලා සිටීම බවයි.

මේ අතර, ඉදිරියේදී සිදුවන ඕනෑම යුද්ධයකදී එක්සත් ජනපදයෙන් හිමිවන සහයෝගය මත විශ්වාසය තැබිය හැකිද යන්න පිළිබඳව ඇතැම් කුර්දි සටන්කරුවන් සැක පළ කරයි.

ඉරාන කුර්දි සටන්කාමීන් පිළිබඳ දැනුවත් මූලාශ්‍රයක් බීබීසී පුවත් සේවයට පැවසුවේ එක්සත් ජනපද ගුවන් හමුදාවේ සහයෝගය පිළිබඳ සහයෝගයක් පිළිබඳ සහතිකයක් නොමැතිව විරුද්ධ පක්ෂ කණ්ඩායම් සිය හමුදාව සටන් භූමිය වෙත යොමු නොකරන බවයි.

ඔහු විශ්වාස කරන්නේ ඉරාන හමුදාව තවමත් ශක්තිමත්ව සිටින බව සහ කුර්දි සටන්කාමීන් ගොඩබිම් ප්‍රහාරයක් දියත් කළහොත් ඔවුන්ට 'දරුණු' ප්‍රතිඵලයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

කාන්තා ආරක්ෂක බළකායේ සෙබළියන්ට බොහෝ කලක සිට ඔවුන් අපේක්ෂා කරන 'නිදහස' ළඟාවෙමින් ඇත.

ඩෙලාල් දැන් පුහුණු වීම් ලැබූ ස්ථානවලින් ඉවත් කර දේශ සීමාවට ආසන්නව අනුයුක්ත කර ඇත. කුර්දි ජාතිකයන් ඉස්ලාමීය ජනරජයට එරෙහි යුද්ධයට සම්බන්ධ වුවහොත්, ඕනෑම සටනක් කොපමණ කාලයක් පවතිනු ඇතිද යන්න හෝ එහි ප්‍රතිඵලය කුමක් විය හැකිද යන්න දැන ගැනීමට ක්‍රමයක් නොමැත.

අතිරේක වාර්තාකරණය - වැලන්ටිනා සිනිස් විසිනි

කාන්තා සටන්කාමීන් ඔවුන්ගේ සැබෑ නම් ලබා දුන්නේ නැත, ආරක්ෂාව සහතික කිරීම සඳහා හමුදා ඇමතුම් සංඥා භාවිතා කර ඇත.