රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සංචාරය: වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් කළ තොරතුරු ඉල්ලීම්වලින් මෙතෙක් හෙළි වී ඇති කරුණු

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දරන සමයේ බ්‍රිතාන්‍යයේ කරන ලද සංචාරයක් සම්බන්ධ නඩුකරය මෙරට දේශපාලන මෙන් ම, නීති ක්ෂේත්‍රයේ ද කතාබහට ලක්වන නඩුවක් බවට පත්ව තිබේ.

මෙම සංචාරයේදී හිටපු ජනාධිපතිවරයා වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවති සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධාන උත්සවයකට සහභාගි වී තිබිණි.

කෙසේ වෙතත් එම සංචාරය නිල රාජ්‍ය සංචාරයක් ද, පෞද්ගලික සංචාරයක් ද යන්න තවමත් අධිකරණ ඉදිරියේ විභාග වන කරුණකි.

මෙවැනි පසුබිමක එක්සත් රාජධානියේ තොරතුරු දැන ගැනීමේ නිදහස ඉල්ලීම (freedom of Information Request) පිළිබඳ පනත අනුව,සමාජ ක්‍රියාකාරියෙකු වන ඕෂල හේරත් විසින් අදාළ සංචාරයට අදාළ පහත කරුණු වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් විමසා තිබේ.

එම ප්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු ඔහු තම ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණු අතර මෙහි දැක්වෙන්නේ ඔහුගේ අවසරය මත උපුටා ගත් එම ප්‍රශ්න සහ පිළිතුරු වේ.

1. අන්තර්ගතයේ සත්‍යතාව: මෙම නිශ්චිත ලිපිය සහ එහි අන්තර්ගතය සත්‍ය බවටත්, ඔබේ කාර්යාලය විසින් නිල වශයෙන් නිකුත් කරන ලද ඒවා බවටත් විශ්වවිද්‍යාලයට තහවුරු කළ හැකි ද?

මෙය අපගේ වාර්තා තුළ අප සතුව ඇති ලේඛනයට ගැලපෙන බව අපට තහවුරු කළ හැකි ය.

2. නිල ආරාධනාවේ තත්ත්වය: රනිල් වික්‍රමසිංහ මහතාට යවන ලද ආරාධනය ඔහුට යොමු කළේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස ඔහුගේ නිල තත්ත්වය මත ද?

මෙම තොරතුරු ඔබගේ අයැදුම්පතට අමුණා ඇති ආරාධනා ලිපිය තුළ අඩංගු වේ.

3. සන්නිවේදනය කළ ආකාරය: මෙම ආරාධනයට පහසුකම් සැපයූවේ හෝ එය යැව්වේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා ද, නැතහොත් පෞද්ගලික සන්නිවේදනයක් ලෙස එය ලබන්නන්ට ඍජුවම යවන ලද්දේ ද?

ලිපිනය ඔබගේ අයැදුම්පතට අමුණා ඇති ආරාධනා ලිපිය තුළ අඩංගු වේ.

4. අමුත්තන්ගේ තනතුර: මෙම උත්සවයට සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ [මහතා] සැලකුවේ (සහකරුවෙවකු/පවුලේ සාමාජිකයෙකු ලෙස සහභාගි වන) සාමාන්‍ය අමුත්තෙක් වශයෙන් ද නැතහොත් විශ්වවිද්‍යාලයේ විශේෂ අමුත්තෙක් වශයෙන් ද?

මේ තොරතුරු ඔබගේ අයැදුම්පතට අමුණා ඇති ආරාධනා ලිපිය තුළ අඩංගු වේ.

5. ගෞරව සම්මානය: 2023 සැප්තැම්බර් උපාධි ප්‍රදානෝත්සව සමයේදී විශ්වවිද්‍යාලය විසින් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට ගෞරව මහාචාර්ය ධූරයක් පිරිනමන ලද බව ඔබට තහවුරු කළ හැකි ද?

ඔබගේ අයැදුම්පතට අමුණා ඇති ආරාධනාව සහිත ලිපිය තුළ එම තොරතුරු අඩංගු වේ.

මේ අතර, මෙම පිළිතුරුවල සඳහන් ආරාධනා පත්‍රය ද ඕෂල හේරත් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබිණි.

එමෙන් ම ඔහු පනත යටතේ දෙවන වරට තවත් ඉල්ලීමක් කොට තිබු අතර ඊට විශ්වවිද්‍යාලය විසින් පහත පරිදි පිළිතුරු දෙනු ලැබ තිබිණි.

"2023 සැප්තැම්බර් මාසයේදී ඔබගේ විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සිදු වූ ඉහළ පෙළේ සංචාරයක් පිළිබඳ කරුණු තහවුරු කර ගැනීමක මම නියැළී සිටින අතර, එය විශේෂයෙන් ම එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ කටයුත්තකි. මෙහිදී, එවකට ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුරදී විශ්වවිද්‍යාලයේ ප්‍රධානීන් සමග නිල රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පැවැත්වූ බව කියමින් ජේඩ් ටයිම්ස් විසින් පළ කරන ලද මාධ්‍ය වාර්තාවක් (පිටපත අමුණා ඇත/සබැඳිය පහත සපයා ඇත) වෙත අවධානය යොමු කරමි.

මේ සම්බන්ධ මහජන වාර්තාවේ නිවැරදි බව සහතික කිරීම සඳහා, පහත තොරතුරු සපයන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි:"

1. "නිල සාකච්ඡා පැවැත්වීම" පිලිබඳ වාර්තා තහවුරු කර ගැනීම

එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා "අධ්‍යයන කටයුතු සම්බන්ධ සහයෝගිතාව, ශිෂ්‍ය හුවමාරු සහ පර්යේෂණ සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා උපකුලපති, කුලපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වූ" බව අමුණා ඇති මාධ්‍ය වාර්තාවේ සඳහන් වේ.

ප්‍රශ්නය: 2023 සැප්තැම්බර් 22 හෝ ඊට ආසන්න දිනයකදී පැවැත්වූ එවැනි රැස්වීම් සම්බන්ධ නිල වාර්තා, න්‍යාය පත්‍ර හෝ අවබෝධතා ගිවිසුම් (MoU) තිබේදැයි විශ්වවිද්‍යාලයට තහවුරු කළ හැකි ද?

විශ්වවිද්‍යාලය සතුව වෙනත් ලියකියවිලි නොමැත.

ප්‍රශ්නය: මෙම හමුව විශ්වවිද්‍යාලය විසින් නිල රාජ්‍යතාන්ත්‍රික සංවාදයක් ලෙස වර්ගීකරණය කළේ ද, නැතහොත් එය ඔහු සමාජ/උත්සව අවස්ථාවකට සහභාගි වීමත් සමග පැවැත්වූ සුහද හමුවක් ද?

අදාළ නොවේ.

මෙය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙනුවෙන් පවත්වන ලද නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහා වූ ආරාධනයකි.

2. ආරාධනාවේ ස්වභාවය

ප්‍රශ්නය: රනිල් වික්‍රමසිංහ මහතාට මෙම ආරාධනාව යොමු කරන ලද්දේ රාජ්‍ය නායකයා ලෙස ඔහුගේ තනතුර හේතුවෙන් ද්විපාර්ශ්වික අධ්‍යාපන සාකච්ඡා සඳහා ද, නැතහොත් ගෞරව සම්මානලාභී (මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ) ගේ සහකරුවා ලෙස ඔහුට පෞද්ගලිකව ඇති තත්ත්වය මත ද?

මෙය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙනුවෙන් පවත්වන ලද නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහා වූ ආරාධනයකි.

3.මූල්‍ය හා ප්‍රොටෝකෝල සැකැස්ම

ප්‍රශ්නය: රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීමට අදාළ කුමන හෝ වියදමක් (උදා: ආරක්ෂාව, ප්‍රවාහනය හෝ නවාතැන් සම්බන්ධ) වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය විසින් දරනු ලැබුවේ ද, නැතහොත් මෙම වියදම් දරනු ලැබුවේ අදාළ ආරාධිතයා විසින් ද?

විශ්වවිද්‍යාලය දිවා ආහාරය ලබා දුන්නේ ය.

ප්‍රශ්නය: නිල රාජ්‍ය සංචාර සම්බන්ධයෙන් පවතින සම්මත ක්‍රමවේදයට අනුව, ආරාධනා පත්‍රය සහ

ගමන් විස්තරය එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා සම්බන්ධීකරණය කළේ ද?

නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහා වන ආරාධනය ඍජුව ම යැව්වේ සහභාගිවන්නන් වෙත යි.

4. සහභාගි වූවන් තහවුරු කිරීම

ප්‍රශ්නය: නියෝජිත පිරිසක් සිටි බවක් මාධ්‍ය වාර්තාවෙන් අදහස් වේ. එවැනි නිල රැස්වීමක් පැවැත්වූවේ නම්, මාධ්‍ය වාර්තාවේ සඳහන් වන නිශ්චිත හමුවට සහභාගි වූ විශ්වවිද්‍යාල නිලධාරීන්ගේ ලැයිස්තුවක් සපයන්න.

අදාළ නොවේ තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් සඳහන් කොට තිබේ.