ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේදී අද සිදු වූයේ කුමක් ද?
- Author, බීබීසී සිංහල
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (ජනවාරි 28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.
රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන මෙම නඩුකරය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙම දැනුම් දීම සිදු කළේ ය.
මේ අතර, මෙම සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
'සැකකරුවෙක් එහෙම වාඩිවෙන්නේ කොහොම ද?'
නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාර රනිල් වික්‍රමසිංහ අධිකරණයට පැමිණ සිටිනවා දැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රශ්න කළේ ය.
එම අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සදහන් කළේ, ඔහු විත්ති කූඩුවේ වාඩි වී සිටින බව ය.
එහිදී අධිකරණය ඇමතූ දිලීප පීරිස්: "සැකකරුවෙක් එහෙම වාඩිවෙන්නේ කොහොම ද? ඒ සඳහා අධිකරණයේ අවසරය ලබා ගත යුතුයි," යනුවෙන් සඳහන් කළේ ය.
එම ප්‍රකාශයට විත්තියේ නීතිඥවරු විරෝධය පළ කළහ.
කෙසේ වෙතත්, එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ, "පැමිණිල්ල ඉදිරිපත් කරන ස්ථාවරය මම පිළිගන්නවා. අධිකරණයේ අසුන් ගැනීමේදී නිසි ක්‍රමවේදයක් තියෙනවා. එය අනුවයි කටයුතු කළ හැක්කේ," යනුවෙනි.
'ඔහුගේ සියලු ම වැඩවල තිබෙන්නේ වංගු තමයි'
"ස්වාමීනී... මේ සැකකරුට ඇප ඉල්ලා සිටි අවස්ථාවේදී සැකකරුගේ නීතිඥවරු සදහන් කර තිබුණා රනිල් වික්‍රමසිංහ මහතාගේ හදවතේ ධමනි අවහිර වීම නිසා ලේ ගමන් කරන්නේ වංගුවකින් බවට."
"ඒක හරි. ඔහුගේ සියලු ම වැඩවල තිබෙන්නේ වංගු තමයි. මොකද මොහු අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කළාට පසුව කෙලින් ම ඇතුළත් වෙන්නේ කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ. දැඩිසත්කාර ඒකකයේ සිය සහචරයින් සමග කාලය ගත කරමින් ඔහු බොරිස් ජොන්සන්ගේ පොත කියෙව්වා. පසුව අධිකරණය විසින් ඉල්ලීමක් කර නොතිබියදී ජාතික රෝහලේ වෛද්‍ය මණ්ඩලයක් විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළා."
"ඒ වාර්තාවේ පිටපත් පැමිණිල්ලට ලැබුණේ නෑ. මේ සැකකරු යන්න ඔන්න මෙන්න කියලයි නීතිඥවරු කිව්වේ. එහෙම කියලයි ඇප ගත්තේ."
"මේ ක්‍රියාව තුළින් මේ සැකකරු දැඩිසත්කාර ඒකකයේ අනීතික ලෙස රැඳී සිටිමින් මහජන දේපළ අවභාවිතාවට ලක් කර තිබෙනවා," යනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් පැවසීය.
'සැකකරුගේ මේ සංචාරය තුළ සුළු හෝ නිල කටයුත්තක් තිබුණා ද?'
"මේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පළපුරුදු නිලධාරීන් කණ්ඩායමක් ලන්ඩන් නුවරට ගොස් එහි තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා."
"ඒ යටතේ ඔවුන් එවකට එංගලන්තයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කටයුතු කළ සරෝජා සිරිසේන ඇතුළු 13 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තා. ඒ සියලු ප්‍රකාශවලින් තහවුරු වී ඇත්තේ මේ සංචාරය පෞද්ගලික සංචාරයක් බව," ඔහු තවදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා දිලීප පීරිස් අමතමින් මෙලෙස ප්‍රශ්න කළේ ය: "ඔබ විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිගමන 26ක් ඇතුළත් වෙනවා. ඒ සියලු කරුණුවලින් සඳහන් වන්නේ මේක පෞද්ගලික සංචාරයක් බව. සැකකරුගේ මේ සංචාරය තුළ සුළු හෝ නිල කටයුත්තක් තිබුණා ද?"
ඊට ප්‍රතිචාර දක්වූ දිලීප පීරිස්: "මේක නිල සංචාරයක් වෙන්න නම් බ්‍රිතාන්‍ය රාජ්‍යයේ මැදිහත් විමක් තිබිය යුතුයි. නිල ආරාධනාවක් තිබිය යුතුයි. මේ සැකකරුට වොල්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය සඳහා පැමිණෙන ලෙස ආරාධනා කරමින් ලිපියක් එවා තිබූ බව විත්තිය විසින් ප්‍රකාශ කර තිබුණා."
"නමුත් තානාපති කාර්යාලයේ නිලධාරීන් ප්‍රකාශ ලබා දී කියා තිබෙනවා එවැනි ලිපියක් තමන්ට නොලැබුණු බව. ඒ අනුව තමයි මේක පෞද්ගලික සංචාරයක් බවට කරුණු අනාවරණය කරගෙන තිබෙන්නේ. මේ විශ්වවිද්‍යාලය පෞද්ගලික විශ්වවිද්‍යාලයක්," ඔහු පැවසීය.
'විමර්ශන 90%ක් අවසන්'
සැකකාර රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු සියයට අනූවක් පමණ මේ විට සම්පූර්ණ බවත් මාසයකින් පමණ විමර්ශන කටයුතු අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බවත් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කරුණු දැක්වීය.
මෙම නඩුව මහාධිකරණයේ නොව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලක් ඉදිරියේ ගොනු කිරීමට තමා නීතිපතිවරයාට යෝජනා කර තිබෙන බවත් මෙහිදී ඔහු පැවසීය.
එම අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක කරුණු දක්වමින් සඳහන් කළේ, ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පැවරීම සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ නීතිපතිවරයා බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට එම තීරණයක් ගත නොහැකි බවත් ය.
ඊට ප්‍රතිචාර දක්වමින් දිලීප පීරිස් කියා සිටියේ, තමා අද දින අධිකරණය හමුවේ ඉදිරිපත් කරන්නේ නීතිපතිවරයාගේ මතය බව ය.
අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉදිරිපත් කරන කරුණු නීතිපතිවරයාගේ මතය වශයෙන් තම අධිකරණය ද පිළිගන්නා බව එහිදී මහේස්ත්‍රාත්වරයා පැවසීය.
'විශ්වවිද්‍යාල බලධාරීන්ගෙන් ප්‍රකාශ ගත්තොත් හෙළි වෙනවා මේක සත්‍ය ලියවිල්ලක් කියලා'
"ස්වාමීනි... පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණුවලින් සියයට අනූවක් පමණ මගේ සේවා දායකයාට අදාළ නෑ."
"මේ සැකකරු විසින් ඔහුට ලැබුණු ආරාධනාව ඇතුළත් ලිපිය ව්‍යාජ ලිපියක් කියලා පැමිණිල්ල කලින් සඳහන් කර තිබුණා. ඒ ලිපිය ව්‍යාජ ද ඇත්ත ද කියලා බලාගන්න නම් අදාළ විශ්වවිද්‍යාලයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශයක් ගත යුතුයි."
"එවැනි ප්‍රකාශයක් ලබා ගැනීමකින් තොරව එහි සත්‍ය අසත්‍යභාව ප්‍රකාශ කරන්න බෑ. නමුත් පැමිණිල්ල ඒක කරන්නේ නෑ. මොකද විශ්වවිද්‍යාල බලධාරීන්ගෙන් ප්‍රකාශ ගත්තොත් පැහැදිලිව හෙළි වෙනවා මේක සත්‍ය ලියවිල්ලක් කියලා."
"තානාපති කාර්යාලයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගත් පමණින් මේ ලියවිල්ලේ සත්‍ය අසත්‍යභාවය සොයා ගන්න බැහැ," යනුවෙන් ඉන් අනතුරුව සැකකාර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන කරුණු ඉදිරිපත් කළේ ය.
'සමන් ඒකනායක නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කෙරේ'
"ස්වාමීනි... මෙම නඩුකරයේ දෙවන සැකකරු හැටියට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නම් කර තිබෙනවා. මේ පුද්ගලයා නීතිය මගහැර සිටීමට දක්ෂ පළපුරුදු අපරාධකාරයෙක්."
"රනිල් වික්‍රමසිංහගේ මේ සංචාරය පෞද්ගලික සංචාරයක් වශයෙන් තමයි මුලින් ම ලිපිවල සඳහන් කළේ. පසුව මේ පුද්ගලයා තමයි එම ලිපිවල තිබෙන 'private' කියන වචනය ඉවත් කර ඊට 'official' කියන වචනය එකතු කළේ."
"මොහු අධිකරණය මගහැර සිටි පුද්ගලයෙක්. මොහු සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට අවශ්‍යව තිබෙනවා," එබැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරල්වරයා මෙසේ ද පැවසීය: "මේ සැකකරුගේ නම සමන් ඒකනායක ලෙස සඳහන් වුණත් ඔහුගේ නියම නම වන්නේ ඒකනායක මුදියන්සේලාගේ සොමිසාර ඒකනායක. සමන් ඒකනායක කියලා කොටසක් ඔහුගේ නමේ නෑ. එසේ නම් ඔහු සමන් ඒකනායක ලෙස පෙනී සිටින්නේ කොහොම ද කියලත් ප්‍රශ්නයක් මතු වෙනවා."
"ස්වාමීනී... මේ සැකකරු අධිකරණය මගහැර සිටි පුද්ගලයෙක් නෙමෙයි. ඔහු කිසිදු ආකාරයක රාජ්‍ය මුදල් අවභාවිතාවක් කරලා නෑ. ඔහුට කිසි ම ලාභයක් මේකෙන් ලැබිලත් නෑ. ඔහු අධිකරණයට ඇවිත් ඉදිරිපත් වී තිබෙනවා."
එම කරුණු සැලකිල්ලට ගෙන ඔහු ඇපමත මුදා හරින ලෙස සමන් ඒකනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.
මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය
සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මෙලෙස පැවසීය:
"එක් කරුණක් හැර ඉදිරිපත් වී ඇති සියලු කරුණුවලින් බැලූ බැල්මට ම මේ සැකකරු නිරත වී ඇති සංචාරය පෞද්ගලික සංචාරයක් බව පෙනී යනවා."
"ඒ සම්බන්ධයෙන් අධිකරණය සෑහීමකට පත් වෙනවා. නමුත් මීට පෙර අධිකරණය කළ එක් නියෝගයක් තව ම සම්පූර්ණ වෙලා නෑ. රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු බව කියන ආරාධනා ලිපිය ගැන අදාළ විශ්වවිද්‍යාලයෙන් ප්‍රකාශ ලබාගෙන නෑ."
"ඒ නිසා එම ප්‍රකාශ ඉක්මනින් ලබා ගන්න. ඒ සඳහා බ්‍රිතාන්‍යයට යාමට අවශ්‍ය නෑ. මාර්ගගත ක්‍රමයකින් එය කිරීමට හැකියාවක් තිබෙනවා."
අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට යළි අප්‍රේල් මස 29 වන දා පෙනී සිටින මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය.
පසුව සැකකාර සමන් ඒකනායකගේ ඇප නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා පැවසුවේ;
"මෙම සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳව සලකා බැලීමේදී පොදු දේපළ පනත කෙරෙහි අධිකරණය අවධානය යොමු කරනවා. පොදු දේපළ පනත යටතේ ඇප ප්‍රදානය කිරීමට නම් අසාමාන්‍ය කරුණු ඉදිරිපත් විය යුතුයි."
"මේ සැකකරු රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානියා වශයෙන් සඳහන් කළ යුතුයි. එසේ නම් ඔහුට දැඩි වගකීමක් තිබෙනවා. නමුත් මේ නඩුකරයට අදාළ රුපියල් මිලියන 16කට වැඩි මුදල අනුමත කිරීමේදී ඔහු දැඩි අවධානයෙන් කටයුතු කර තිබෙන ආකාරයක් පෙනී යන්නේ නැහැ.
"ඔහුගේ ක්‍රියාව තුළ සුපිළිපන්භාවයක් හෝ පරීක්ෂාකාරීභාවයක් තිබී නෑ. සැකකරු ජනාධිපති ලේකම්වරයා කියන කාරණය අමතක කර සාමාන්‍ය පුරවැසියෙක් වශයෙන් සැලකුවොත් මේ අධිකරණය කටයුතු කරන්නේ කෙසේ ද? ඒ සම්බන්ධයෙන් අධිකරණය දැඩි අවධානය යොමු වෙනවා," යනුවෙනි.
"සැකකාර සමන් ඒකනායක අධිකරණය මගහැර ගිය පුද්ගලයෙකු ලෙස පැමිණිල්ල පැවසුවා. ඒ සම්බන්ධයෙන් අධිකරණයට එකඟ වීමට හැකියාවක් නෑ. මොකද ඔහු එක් අවස්ථාවකදී හැර සෑම අවස්ථාවකදී ම අධිකරණයේ පෙනී හිටියා."
"නමුත් ඔහුට ඇප ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන කරුණු අසාමාන්‍ය කරුණු වශයෙන් අධිකරණයට පිළිගන්න බැහැ."
ඒ අනුව ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු පෙබරවාරි 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන බව මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ ය.
හිටපු ලේකම්වරයාගෙන් ප්‍රකාශ ගැනීමට CIDයට අවසර
බන්ධනාගාරය තුළදී සැකකාර සමන් ඒකනායකගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර දෙන ලෙස මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දීලීප පීරිස් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා හෙට දින ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ ය.
නඩු විභාගය පැවති අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ විත්තියේ නීතිඥවරුන් අතර වරින්වර උණුසුම් වචන හුවමාරු වූ අතර ඒවා මහේස්ත්‍රාත්වරයා මැදිහත් වී සමථයට පත් කරන ආකාරය ද දක්නට ලැබිණි.
මෙතෙක් සිදුවූයේ කුමක් ද?
2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට පෞද්ගලික සංචාරයක් වශයෙන් සහභාගි වෙමින් පැය 36ක් තුළ රුපියල් ලක්ෂ එකසිය හැට හයකට වැඩි මුදලක් වැය කරමින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් 2025 වසරේ අගෝස්තු මස 22 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදින ම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණ ද බන්ධනාගාරයට රැගෙන යාමෙන් පසුව රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට පත්වීම හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.
පසුව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටි රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය කමිටුවක් විසින් ඉදිරිපත් කරන ලද වාර්තා සලකා බැලූ එවක කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර 2025 අගෝස්තු මස 26 වන දා රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හැරීමට නියම කළා ය.