හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුවේ දෙවන සැකකරු කෙරුණු සමන් ඒකනායක යනු කවුද?

    • Author, බීබීසී සිංහල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක පෙබරවාරි 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපතිවරයා එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය අද (ජනවාරි 28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

'සමන් ඒකනායක නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කෙරේ'

හිටපු ලේකම්වරයා මෙම නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කිරීමට ද නියම විය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් මහතා;

"ස්වාමීනී... මෙම නඩුකරයේ දෙවන සැකකරු හැටියට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නම් කර තිබෙනවා. මේ පුද්ගලයා නීතිය මගහැර සිටීමට දක්ෂ පළපුරුදු අපරාධකාරයෙක්.

"රනිල් වික්‍රමසිංහගේ මේ සංචාරය පෞද්ගලික සංචාරයක් වශයෙන් තමයි මුලින් ම ලිපිවල සඳහන් කළේ. පසුව මේ පුද්ගලයා තමයි එම ලිපිවල තිබෙන 'private' කියන වචනය ඉවත් කර ඊට 'official' කියන වචනය එකතු කළේ.

"මොහු අධිකරණය මගහැර සිටි පුද්ගලයෙක්. මොහු සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට අවශ්‍යව තිබෙනවා," එබැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

"ස්වාමීනී... මේ සැකකරු අධිකරණය මගහැර සිටි පුද්ගලයෙක් නෙමෙයි. ඔහු කිසිදු ආකාරයක රාජ්‍ය මුදල් අවභාවිතාවක් කරලා නෑ. ඔහුට කිසි ම ලාභයක් මේකෙන් ලැබිලත් නෑ. ඔහු අධිකරණයට ඇවිත් ඉදිරිපත් වී තිබෙනවා.

"එය සැලකිල්ලට ගෙන ඔහු ඇපමත මුදා හරින ලෙස සමන් ඒකනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරල්වරයා මෙසේ ද පැවසීය: "මේ සැකකරුගේ නම සමන් ඒකනායක ලෙස සඳහන් වුණත් ඔහුගේ නියම නම වන්නේ ඒකනායක මුදියන්සේලාගේ සොමිසාර ඒකනායක. සමන් ඒකනායක කියලා කොටසක් ඔහුගේ නමේ නෑ. එසේ නම් ඔහු සමන් ඒකනායක ලෙස පෙනී සිටින්නේ කොහොම ද කියලත් ප්‍රශ්නයක් මතු වෙනවා."

සමන් ඒකනායක යනු කවුද?

1958 අප්‍රේල් 12 වන දා උපත ලබා ඇති සමන් ඒකනායක හෙවත් ඒකනායක මුදියන්සේලාගේ සොමිසාර බණ්ඩාර ඒකනායක කුරුණෑගල, මල්කඩුවාව මහා විද්‍යාලයෙන් සහ කුරුණෑගල ලක්දාස් මහා විදුහලෙන් අධ්‍යාපනය හදාරා තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන ඔහු රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ගෙන ඇත්තේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙනි.

දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන සමන් ඒකනායකගේ බිරිඳ ද රාජ්‍ය සේවයේ සිටි ඉහළ පෙළේ නිලධාරිනියක වන අතර ඇය ජාතික පොලිස් කොමිසමේ සාමාජිකාවක ලෙස ද කටයුතු කළා ය.

වෘත්තීය ජීවිතය

1985 වසරේදී මුල් වරට රාජ්‍ය සේවයට එක්ව ඇති සමන් ඒකනායක, සිය තිස් වසරකට අධික සේවා කාලය තුළ යෞවන කටයුතු, ක්‍රීඩා, සමෘද්ධි, නිවාස හා කර්මාන්ත ඇතුළු අමාත්‍යංශ ගණනාවක තනතුරු හොඹවා තිබේ.

ඔහු මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ද සේවයේ නිරතව තිබේ.

එක්සත් ජාතින්ගේ මානව ජනාවාස වැඩසටහනේ ශ්‍රී ලංකා මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානියා ලෙස ද සමන් ඒකනායක කලක් කටයුතු කළේ ය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන සමන් ඒකනායක 2013 වසරේදී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගොස් ඇත.

රනිල් වික්‍රමසිංහ යටතේ ඔහු තෙවරක් අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර 2022 වසරේදී අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ පත්වීමෙන් පසුව සමන් ඒකනායක ජනාධිපති ලේකම්වරයා ලෙස නැවත පත් කළේය.