ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තමන් ලොව පුරා ජනප්‍රිය කර වූ පසුබිම් ගායනයෙන් සමුගන්නා බව තවමත් 40 වැනි වියේ සිටින අරිජිත් සිං නිවේදනය කළේ ඇයි?
චිත්‍රපට සඳහා පසුබිම් ගීත ගායකයෙකු වන අරිජිත් සිං ඉන්දියාව පමණක් නොව ශ්‍රී ලංකාවේ ද ඉතා ජනප්‍රිය ගායකයෙකි. ඔහුගේ චිත්‍රපට ගීත විශාල ප්‍රමාණයක් අතිශය ජනප්‍රියත්වයට පත්වී තිබේ.
ඊයේ දිනයේ [ජනවාරි 27] ඔහු සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් චිත්‍රපට පසුබිම් ගීත ගායනයෙන් සමුගන්නා බවට නිවේදනය කිරීමත් සමග ලොව පුරා ඔහුගේ ප්‍රේක්ෂකයෝ රැසක් කම්පනයට පත්ව තිබේ.
මෙම නිවේදනයෙන් පසු සමාජ මාධ්‍ය තුළ ඒ පිළිබඳව විශාල කතාබහක් ඇති විය. පසුගිය වසර කිහිපය තුළ අරිජිත් සිං බොලිවුඩ් චිත්‍රපටවල එක දිගට ජනප්‍රිය ගීත ගායනා කර ඇති බැවින් ඔහුගේ තීරණය පිළිබඳව සාකච්ඡා කෙරෙමින් පවතී.
අරිජිත් මෙම තීරණය ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හරහා නිවේදනය කළේ ය.
"හෙලෝ, සුභ නව වසරක්. වසර ගණනාවක් තිස්සේ මට ආදරය කළ මගේ සියලු ම අසන්නන්ට ස්තූතියි"
"මම තවදුරටත් පසුබිම් ගායකයෙකු ලෙස කිසිදු නව නිර්මාණයක් භාර ගන්නේ නැහැ. මම එය මෙතැනින් අවසන් කරනවා. එය සුන්දර ගමනක්."
කෙසේවෙතත් අරිජිත් සිං සංගීත රචනයන් සිදු කිරීමෙන් සමුගැනීමක් සිදු නොකරනු ඇත.
නමුත් ඉන්දියාව තුළ පමණක් නොව තමන් ලොව පුරා ජනප්‍රිය කර වූ පසුබිම් ගායනයෙන් ඉවත් වන බවට තවමත් 40 වැනි වියේ සිටින අරිජිත් සිං නිවේදනය කළේ ඇයි?
ඔහුට සමීප පුද්ගලයින් සමග කතා කිරීමෙන් අරිජිත් සිංගේ තීරණය තේරුම් ගැනීමට බීබීසී පුවත් සේවය උත්සහ කළේ ය.
අනුරාග් බාසුගේ 'බර්ෆි', 'ජග්ගා ජාසූස්', 'ලුඩෝ', 'මෙට්‍රෝ ඉන් ඩිනෝ' වැනි චිත්‍රපට රැසකට අරිජිත් ගීත ගායනා කළ අතර මෙම චිත්‍රපටවල සමහර ගීත විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තේය.
"ලොව පුරා සිටින ජනතාව මේ ගැන පුදුම වෙන්න පුළුවන්, නමුත් මම ඔහුගේ තීරණය ගැන කිසිසේත් ම පුදුම වෙන්නේ නැහැ. අරිජිත් කොතරම් දක්ෂ ද කියන එකත්, ඔහුට ගායනයට වඩා ජීවිතයේ බොහෝ දේ කිරීමට අවශ්‍ය බවත් මම බොහෝ කාලයක ඉඳලා දැනගෙන හිටියා," අනුරාග් බීබීසීයට පැවසීය.
"අරිජිත් සිං චිත්‍රපට නිර්මාණය කෙරෙහි දැඩි ඇල්මක් දක්වන බව මම දන්නවා. මම බර්ෆි චිත්‍රපටය නිර්මාණය කරන විට පවා, අරිජිත් මගෙන් ඔහුගේ සහායක ලෙස වැඩ කරන ලෙස ඉල්ලා සිටියා. ඔහුට පාසලක් විවෘත කර දරුවන් සමග බොහෝ කාලය ගත කිරීමටත් අවශ්‍යයි. ඔහුට තවත් බොහෝ සැලසුම් තිබෙනවා, මෙම තීරණය අපට ඔහුගේ වෙනස් පැත්තක් හඳුන්වලා දෙයි."
'අරිජිත්ට අවශ්‍ය චිත්‍රපට නිර්මාණකරුවෙකු වෙන්න'
අරිජිත් සිං අධ්‍යක්ෂකවරයෙකු ලෙස ඔහුගේ පළමු හින්දි චිත්‍රපටයේ වැඩ ආරම්භ කර ඇති බව විශ්වාසදායක මූලාශ්‍රයකින් බීබීසී පුවත් වෙත දැනගන්නට ලැබිණි.
මෙම ත්‍රාසජනක චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ නවාසුදීන් සිද්දිකි විසින් ය. දැනට රූගත කිරීම් ශාන්ති නිකේතනයේ සිදුවෙමින් පවතී.
මෙම චිත්‍රපටය අරිජිත් සිං සහ ඔහුගේ බිරිඳ කොයෙල් සිං එක්ව රචනා කර ඇත.
"චිත්‍රපට නිර්මාණය පිළිබඳ ගැඹුරු අවබෝධයක් අරිජිත්ට තිබෙනවා" යැයි අනුරාග් බාසු පවසයි.
ඔහුගේ මුල් කාලීන වෘත්තීය ජීවිතයේදී, අරිජිත් සිං ප්‍රසිද්ධ සංගීතඥ ප්‍රිතම්ට යම් කාලයක් සහාය වීමෙන් සංගීතයේ සියුම් කරුණු ඉගෙන ගත්තේය.
ප්‍රීතම්ගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ ඔහු බර්ෆි, යේ ජවානි හේ දිවානි, තමාෂා, ඒ දිල් හේයි මුෂ්කිල් චිත්‍රපට සඳහා ගීත ගායනා කළ අතර ඒවා දැවැන්ත ලෙස ජනප්‍රිය චිත්‍රපට බවට පත්විය.
ක්ෂේත්‍රයට පැමිණියේ කෙසේ ද?
අරිජිත් සිං බටහිර බෙංගාලයේ මුර්ෂිදාබාද් ප්‍රදේශයේ උපත ලැබීය. ඔහු හින්දි, බෙංගාලි, මරාති සහ අනෙකුත් ඉන්දියානු භාෂාවලින් ගීත ගායනා කර ඇත.
අරිජිත් සිං වයස අවුරුදු 18 දී 'ෆේම් ගුරුකුල්' නම් ගායන රියැලිටි වැඩසටහනට සහභාගී විය. ඒ 2005දී ය.
මෙම ප්‍රසංගයේ විනිශ්චයකරුවන් වූයේ කවියෙකු සහ ගීත රචකයෙකු වන ජාවෙඩ් අක්තාර්, සංගීත රචක ශංකර් මහාදේවන් සහ ගායක කේකේ ය.
අරිජිත් වැඩසටහනෙන් ඉවත් වූ විට, විනිසුරු ජාවෙඩ් අක්තාර් ඔහුව දිරිමත් කළේ, "මෙය ඔබට සුළු පාඩුවක් වන අතර ප්‍රසංගයට වැඩියෙන් වන පාඩුවක්" යනුවෙනි.
ඔහු බොලිවුඩයට පළමු වරට පිවිසුණේ 2011දී ඉම්රාන් හෂ්මි රඟපෑ සහ මෝහිත් සූරි විසින් අධ්‍යක්ෂණය කරන ලද මර්ඩර් 2 චිත්‍රපටයේ 'ෆිර් මොහබ්බාත්' ගීතය සමගින් ය. එය දැවැන්ත ජනප්‍රියත්වයක් ලබා ගත්තේ ය.
මෙම ගීතයේ සාර්ථකත්වයෙන් පසු, අරිජිත් සිංට බොහෝ අවස්ථා ලැබීමට පටන් ගත්තේ ය.
2013 වසරේ තිරගත වූ 'ආෂිකි 2' චිත්‍රපටයේ 'තුම් හි හෝ' ගීතය අරිජිත්ව කර්මාන්තයේ ඉහළ ම ගායකයන්ගේ ලැයිස්තුවට ගෙන ආවේ ය.
චන්නා මෙරෙයා, කලන්ක්, කබීරා, හම්දර්ද් වැනි ගීත ද ඔහුගේ අතිශයින් ම ජනප්‍රිය වූ ගීත වේ.
ඔහු තරුණ පිරිස් අතර අතිශයින් ජනප්‍රිය බව නැවත නැවතත් ඔප්පු වූ අතර ඉන්ස්ටග්‍රෑම් රීල්ස්, යූ ටියුබ් හෝ ස්පොටිෆයි යන සියල්ලෙහි ම අරිජිත් සිං පසුගිය වසර කිහිපය තුළ වඩාත් ම ජනප්‍රිය ගායකයෙකු බවට පත්ව ඇත.
පද්ම ශ්‍රී සම්මානය හිමි වීම
අරිජිත් සිං දෙවරක් ඉන්දීය ජාතික සම්මානය ලබා ඇති අතර සහ ෆිල්ම් ෆෙයාර් සම්මානය අට වතාවක් ලබා ගෙන ඇත.
2025 වර්ෂයේදී ඉන්දීය රජය ඔහුට පද්ම ශ්‍රී සම්මානය පිරිනමන ලදී.
සංජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ පද්මාවත් (2018) චිත්‍රපටයේ 'බින්ටේ දිල්' ගීතය සඳහා අරිජිත් ඔහුගේ පළමු ජාතික සම්මානය දිනා ගත්තේ ය. එය සංජේ ලීලා බන්සාලි විසින්ම රචනා කරන ලද ගීතයකි.
සිත්ගන්නා කරුණ නම්, බන්සාලි 2007දී නිකුත් වූ 'සාවරියා' චිත්‍රපටය සඳහා අරිජිත් ලවා ගීතයක් ගායනා කරවා තිබීම ය. නමුත් පසුව අධ්‍යක්ෂවරයා ඔහුව ඉවත් කර එම ගීතය ම වෙනත් අයෙකු ලවා ගායනා කරවා ගත්තේ ය.
රන්බීර් කපූර් සහ ආලියා භාත් දෙදෙනා රංගනයෙන් දායක වන බ්‍රහ්මස්ත්‍රා (2022) චිත්‍රපටයේ 'කේසරියා' ගීතය සඳහා අරිජිත් දෙවන වරටත් ජාතික සම්මානය ලබා ගත්තේ ය.
ප්‍රේක්ෂක ප්‍රතිචාර
අඟහරුවාදා [ජනවාරි 27] උදෑසන 8.30 ට පමණ ඉන්ස්ටග්‍රෑම්හි නිවේදනය නිකුත් කිරීමෙන් පසු, මිනිත්තු විස්සක් ඇතුළත එයට ලයික් 92,000 කට වඩා සහ කමෙන්ට් 9500ක් ලැබී තිබිණි.
මේ අයගෙන් බොහෝ දෙනෙක් අරිජිත්ගෙන් ඉල්ලා සිටින්නේ පසුබිම් ගායනය අත් නොහරින ලෙසයි.
සමහර අය අනුමාන කළේ අරිජිත් නව ආකාරයකින් නැවත පැමිණෙනු ඇති බවයි. එමෙන් ම, සමහර රසිකයෝ ඔහුගේ මේ දක්වා වූ ගායන ගමන වෙනුවෙන් ඔහුට ස්තූති කළහ.