ධර්මේන්ද්‍ර: අහම්බයකින් සුපිරි තරුවක වූ හින්දි සිනමාවේ 'හී-මෑන්' දිවි රඟ මඬලින් බැස යයි

    • Author, වන්ද්නා
    • Role, ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති සංස්කාරක - බීබීසී

හින්දි සිනමාවේ 'හී-මෑන්' ලෙස හැඳින්වෙන ප්‍රවීණ බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර වයස අවුරුදු 89 දී අභාවප්‍රාප්ත විය.

සිනමා තිරයේ ධර්මේන්ද්‍ර ක්‍රියාදාම තරුවක් ලෙස ප්‍රසිද්ධ වූ නමුත් ක්‍රියාදාම වීරයා සහ හී-මෑන් යන ලේබල්වලින් ඔබ්බට බැලුවහොත්, ධර්මේන්ද්‍රගේ භූමිකාව ඊට වඩා බොහෝ ඉදිරියෙන් තිබේ.

අනුපමා හින්දි චිත්‍රපටයේ ඔහු සංවේදී ලේඛකයෙකු විය; සත්‍යකම් චිත්‍රපටයේ, සමාජය ගැන සැලකිලිමත් වන පරමාදර්ශී මුරණ්ඩු තරුණයෙක්; චුප්කේ චුප්කේ චිත්‍රපටයේ, රසිකයින් සිනා ගැන්වූ මහාචාර්ය පරිමාල්ගේ හාස්‍යෝත්පාදක භූමිකාව ආදිය ඒ අතරින් සමහරකි.

සැබෑ ජීවිතයේදී, ඔහු කවියෙකු, පෙම්වතෙකු, පියෙකු, ලෝකයේ වඩාත් ම කඩවසම් මිනිසුන් අතර, මත්පැන්වලට ඇබ්බැහි වීමෙන් මිදුණු පුද්ගලයෙකු සහ යම් කාලයකදී දේශපාලනඥයෙකු ද විය.

පකිස්ථානයේ සහ ඇෆ්ගනිස්ථානයේ දැවැන්ත රසික පිරිසක්

1935 දී ඉන්දියාවේ පන්ජාබ්හි උපත ලැබූ ධරම් සිං ඩියෝල් තම මුතුන් මිත්තන්ගේ ගම්මානය වන නස්රාලි සිට අද මුම්බායි දක්වා පැමිණි ගමන හැඳින්විය හැක්කේ, සිහිනයක් ලෙසිනි.

ඉන්දියාවේ පමණක් නොව, ධර්මේන්ද්‍රට පකිස්ථානයේ සහ ඇෆ්ගනිස්ථානයේ ද දැවැන්ත රසික පිරිසක් වූහ. ඒ අතර හිටපු පකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ද විය.

"නවාස් ෂරීෆ් ඉන්දියාවට ආපු වෙලාවක, මම ඔහුව මුණ ගැසුණා. නවාස් ෂරීෆ් කිව්වා එයාගේ පවුලේ අය කාර් එකෙන් ගමනක් යන ගමන් ඉන්නවා කියලා, එයාලා මගේ ගෙදර ළඟ කාර් එක නැවැත්තුවා. එයා එයාගේ බිරිඳට සහ දරුවන්ට කිව්වා - බලන්න, මේක ධර්මේන්ද්‍රගේ ගෙදර කියලා," ධර්මේන්ද්‍ර එලෙස කියා තිබිණි.

ට්‍රක් රථ රියැදුරෙකුගෙන් ඇඳුම් ඉල්ලා ගැනීම

ධර්මේන්ද්‍ර ප්‍රසිද්ධියක් ඉසිලුවේ, ඔහුගේ රංගනය සඳහා පමණක් නොව, ඔහුගේ ත්‍යාගශීලීත්වය සඳහා ද ඔහු ප්‍රසිද්ධියට පත්ව සිටියේ ය.

ලේඛක රජීව් විජේකර්ගේ "Dharmendra – Not Just a He-Man" පොත එවැනි කතාවලින් පිරී තිබේ.

එම පොතෙහි චිත්‍රපට අධ්‍යක්ෂ මහේෂ් භාත් පවසන්නේ, "දෝ චෝර් චිත්‍රපටයේ රූගත කිරීම්වලදී, මම සහායකයෙකු ලෙස සේවය කරමින් සිටියා. මට නිසි උපදෙස් ලබා දීලා තිබ්බේ නැති නිසා, ධර්මේන්ද්‍රගේ ඇඳුම එම ස්ථානයෙන් බොහෝ දුරින් පිහිටි හෝටලයක තියලා ගියා. කොහොම හරි ඒ දර්ශනය උදේ පාන්දර රූගත කරන්න සිදු වුණා, එහෙම නොකළා නම් නිෂ්පාදකයාට විශාල පාඩුවක් වෙන්න ඉඩ තිබුණා. මම මගේ ප්‍රශ්නේ ධර්මේන්ද්‍රට කිව්වා."

"ධර්මේන්ද්‍ර මට ඉතා අනුකම්පාවෙන් සවන් දුන්නා. ඔහු නැගිට්ටා. ඒ අසල ට්‍රක් රථ රියැදුරෙක් හිටියා. ඔහු ඔහු ළඟට ගියා. ධරම් ජී රියැදුරා ඇඳගෙන හිටපු අපිරිසිදු ඇඳුම් ඉල්ල ගත්තා. ඔහු ඇඳුම් නිර්මාණකරුවෙකුගේ වැරැද්ද ඔහුගේ ත්‍යාගශීලීත්වයෙන් සහ පරිකල්පනයෙන් වසා ගත්තා."

දිලීප් කුමාර් නිසා රංගනය සඳහා ඇති වුණු ආශාව

ඔහුගේ පියා පන්ජාබයේ සනේවාල් ගම්මානයේ ගණිත ගුරුවරයෙකු වූ අතර, චිත්‍රපට නැරඹීම දුෂ්කර කාර්යයක් විය.

කුඩා දරුවෙකුව සිටියදී, දිනක් ඔහු හොර රහසේ දිලිප් කුමාර්ගේ 1948 දී තිරගත වූ ෂහීඩ් චිත්‍රපටය නැරඹුවේ ය.

ධර්මේන්ද්‍ර පැවසුවේ, චිත්‍රපටය සහ දිලීප් කුමාර් ඔහුගේ හදවතට මායා බලයක් ඇති කළ බවත්, එදින ඔහුගේ ඉරණම තීරණය වූවාක් මෙන් දැනුණු බවත් ය.

ඇතැම්විට, ධර්මේන්ද්‍රගේ දෛවයේ එය ලියැවී තිබුණා වන්නට ඇත. 1958 දී ෆිල්ම් ෆෙයාර් සඟරාව රංගන දක්ෂතා ඇති පුද්ගලයින් සෙවීමේ වැඩසටහනක් නිවේදනය කළේ ය. ඒ වන විට ධර්මේන්ද්‍ර මලර්කොට්ලා නගරයේ සේවය කරමින් සිටියේ ය. ඔහු ජාන් මොහොමඩ් ෆොටෝ ස්ටුඩියෝවට ගොස් මෙසේ කියා තිබේ. - 'මාව දිලීප් කුමාර් වගේ පේන්න, නළුකමට තෝර ගන්න විදිහට හදලා ගන්න.'

එය එසේ ම සිදු විය. ගමෙන් ආ තරුණයා එයින් තේරී පත්වී බොම්බේ වෙත ගියේ ය.

ඒ අනුව හැඟීම්, නාට්‍ය සහ ඛේදවාචක ඇතුළත් චිත්‍රපට කතාවක ආරම්භය සිදු විය.

බිමල් රෝයිගේ ධර්මේන්ද්‍ර සහ බන්දිනී

ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ බිමල් රෝයි, ඔහු ධර්මේන්ද්‍ර ලෙස හැඳින්වූ අතර, ඔහුට ඔහුගේ පළමු චරිතය "බන්දිනී" චිත්‍රපටය හරහා ලබා දුන්නේ ය.

බන්දිනී නිර්මාණය කිරීමට කාලයක් ගත වුව ද, එහි රූගත කිරීම් නතර වී පැවති කාලයේ, අර්ජුන් හිඟෝරානි දිල් බී තේරා හුම් බී තේරේ චිත්‍රපටිය සඳහා ධර්මේන්ද්‍ර සමග ගිවිසුම් ගත විය.

1966දී ෆූල් ඕර් පත්තාර් ධර්මේන්ද්‍රට වීරයෙකු ලෙස පිළිගැනීමක් ලබා දුන්නේ ය. චිත්‍රපටයේ බේබද්දෙකු ලෙස රඟපාන ධර්මේන්ද්‍ර තම කමිසය ගලවා යාචකයෙකුට සහ වැන්දඹුවකට පළඳින දර්ශනයක් තිබේ.

එකල හින්දි චිත්‍රපටවල එවැනි ශරීරයක් තිබුණේ ප්‍රධාන ධාරාවේ වීරයන් ඉතා ස්වල්ප දෙනෙකුට පමණි. මෙම චිත්‍රපටයේදී, හී-මෑන්ගේ පළමු දර්ශනය දක්නට ලැබුණු අතර, ධර්මේන්ද්‍ර ෆිල්ම් ෆෙයාර්හි පළමු වරට නිර්දේශිත නාමයන් අතරට ගියේය.

අමිතාබ්-රාජේෂ් ඛන්නා සිටියදීත් බැබළීම

60 දශකය අවසන් වන විට, ධර්මේන්ද්‍ර සාර්ථකත්වයේ ඉනිමග දිගේ ඉහළට නැගීම ආරම්භ කළ නමුත්, දැඩි තරගයක් පැවතිණි.

60 දශකයේ ඔහු රංගනය ආරම්භ කරන විට, ෂම්මි කපූර් ප්‍රබල තත්ත්වයක පසු විය. 1970 වන විට, රාජේෂ් ඛන්නා නමැති කුණාටුව පැමිණියේ ය. ධර්මේන්ද්‍ර එහි උච්චතම අවස්ථාවට ළඟා වන විට, අමිතාබ් බච්චන් නම් සුළි සුළඟ පැමිණියේ ය.

නමුත් මේ සියල්ල මධ්‍යයේ, අනෙකුත් ප්‍රධාන තරු සමග 60 දශකයේ සිට 80 දශකය දක්වා ජනප්‍රිය නළුවන් කිහිප දෙනාගෙන් ධර්මේන්ද්‍ර ද එක් අයෙකු විය.

ධර්මේන්ද්‍ර සහ හී-මෑන්

බිමල් රෝයි, රිෂිකේෂ් මුඛර්ජි සහ චේතන් ආනන්ද් වැනි අධ්‍යක්ෂවරුන් ඔහුව ගොඩ නැගූ හකීකාත්, දිල් නේ ෆිර් යාද් කියා, මම්තා, මේරේ හම්දම් මේරේ දොස්ත් වැනි චිත්‍රපට හරහා ධර්මේන්ද්‍රගේ යුගය ගොඩ නැගිණි.

ඉන්පසුව 70 දශකය පැමිණි අතර, ධර්මේන්ද්‍රගේ අද්විතීය ශෛලිය - ක්‍රියාදාම, ආදර, හාස්‍ය, වාණිජ සිනමාව - ආදී සෑම ශෛලියක ම රංගනයේ නිරත විය. ජීවන් ම්රිත්යු, සීතා ඕර් ගීතා, චරාස්, බ්ලැක්මේල්, චුප්කේ චුප්කේ හරහා ඔහු ශීඝ්‍රයෙන් ඉහළට පැමිණියේ ය.

1975 දී සම්භාව්‍ය ඉන්දියානු චිත්‍රපටයක් වන ෂෝලේ චිත්‍රපටය නිකුත් වන විට, ප්‍රධාන චරිතය වන වීරු ලෙස ඔහුගේ ජනප්‍රියත්වය එහි උච්චතම අවස්ථාවට පැමිණ තිබිණි.

බීමතින් වතුර ටැංකියකට නගින දර්ශනය, නැතහොත් ධර්මේන්ද්‍ර අශ්ව කරත්තයක නැගී හේමා මාලනී සමග පෙම් ජවනිකාවක පෙනී සිටීම මෙම චිත්‍රපටය ධර්මේන්ද්‍රගේ තරු ගුණය වර්ධනය කළේ ය.

වඩාත් ම කඩවසම් පිරිමින් අතර ධර්මේන්ද්‍ර

ඔහුගේ යුගයේදී, ධර්මේන්ද්‍ර ලොව කඩවසම් පිරිමින්ගේ ලැයිස්තුවට ඇතුළත් විය.

ඔහුගේ ආදර්ශය සහ නළුවා වන දිලීප් කුමාර් වරක් උත්සවයකදී පැවසුවේ, දෙවියන් වහන්සේ හමු වූ විට, ධර්මේන්ද්‍ර තරම් ලස්සනට ඔහුව නිර්මාණය නොකළේ මන්දැයි තමා දෙවියන්ගෙන් අසන බව ය.

මෙයට පිළිතුරු දෙමින් ධර්මේන්ද්‍ර බීබීසීයට මෙසේ පැවසීය, "සමහර විට මිනිස්සු කියන දේ හරි කියලා මම හිතනවා. ඔවුන් මාව "He-Man", ග්‍රීක දෙවියන් පවා කියනවා. මම මගේ ම ගුණාංගවල අඩුපාඩු සොයමින් ඉන්නවා. රසිකයන්ගේ හදවත් තුළ මට ඒ ස්ථානය අහිමි වෙයි කියලා මම බය වෙනවා."

හේමා සහ ධර්මේන්ද්‍ර අතර ආදර කතාව

මේ කාලය තුළ, රංගන ශිල්පිනී හේමා මාලිනී සමග ඔහුගේ ප්‍රේමය ද දලු ලා වැඩිණි. කෙසේ වෙතත්, ධර්මේන්ද්‍ර ඒ වන විටත් ප්‍රකාශ් කෞර් සමග විවාහ වී සිටියේ ය.

1980 දී ධර්මේන්ද්‍ර හේමා සමග විවාහ වූ විට, එය බොහෝ මතභේදයන්ට තුඩු දුන්නේ ය.

හේමා මාලිනීගේ චරිතාපදානයක් වන Hema Malini: Beyond the Dream Girl කෘතියේ ලේඛක රාම් කමල් මුඛර්ජි මෙසේ ලියයි, "1974 දී, ජීතේන්ද්‍ර සහ හේමා මාලිනීගේ දෙමාපියෝ ඔවුන්ගේ විවාහය තීරණය කළහ… නමුත් ඒ වන විට ධර්මේන්ද්‍ර හේමා මාලිනීගේ ජීවිතයට ඇතුළු වී සිටියේ ය. ධර්මේන්ද්‍ර ඒ බව දැන ගත් විට, ඔහු කෙලින් ම විවාහ උත්සවය පැවැත්වීමට නියමිතව තිබූ මදුරාසියට ගියේ ය. ධර්මේන්ද්‍ර හේමාට තනිව ම කතා කළේ ය. නමුත් විවාහය සිදු නොවී ය."

එක් කාලයකදී ධර්මේන්ද්‍රට ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඉමහත් කීර්තියක් හිමි වූ නමුත්, මත්පැන්වලට ඇබ්බැහි වීම ද ඔහුට හානියක් වූ බව ඔහු ම සම්මුඛ සාකච්ඡාවලදී පිළිගත්තේ ය.

බී ශ්‍රේණියේ චිත්‍රපටවල රඟපෑ ධර්මේන්ද්‍ර

සත්‍යකම් සහ චුප්කේ චුප්කේ වැනි සම්භාව්‍ය චිත්‍රපටවල ධර්මේන්ද්‍ර 90 දශකයෙන් පසු B ශ්‍රේණියේ චිත්‍රපට කිහිපයක ම චරිත නිරූපණය කළ අතර, ඒවා ඔහුගේ බොහෝ රසිකයින්ට නැරඹීම වේදනාකාරී විය.

ලේඛක රජීව් විජේකර් 1990 සිට 2003 දක්වා ඔහුගේ Dharmendra – Not Just a He-Man නම් පොතේ මෙසේ ලියයි, "මෙය ධර්මේන්ද්‍රගේ වෘත්තීය ජීවිතයේ ප්‍රතිගාමී අවධියක් ලෙස හැඳින්විය හැකි ය. 1999 දී කාන්ති ෂාගේ මුන්නිබායි චිත්‍රපටය සමගින්, ඔහු B-ශ්‍රේණියේ චිත්‍රපටවලට සම්පූර්ණයෙන් ම පාහේ යොමු විය."

එම පොතේ ම අධ්‍යක්ෂ රාජ්කුමාර් සන්තෝෂි මෙසේ පවසයි, "ධරම් ජීගේ රසිකයෙකු ලෙස, ඔහුගේ බලකිරීම් කුමක් වුවත්, ඔහු C-ශ්‍රේණියේ චිත්‍රපට කිරීමෙන් ඔහුගේ චමත්කාරය අඳුරු කර රසිකයන්ගේ විශ්වාසය බිඳ දැමූ බව මට පැවසිය හැකිය. වසර 25 ක් තුළ ඔහු උපයා ගත් තත්ත්වයට, ධර්ම් ජී විසින් ම හානි කර ගත්තේ ය. එය කනගාටුදායක තත්ත්වයකි."

මගේ ආදරය රංගනය යි, සමහර වෙලාවට එයා කලබල වෙනවා...

වයසත් සමග ධර්මේන්ද්‍රට චිත්‍රපටවල තවත් බැබළෙන්නට හැකියාව තිබුණත්, එය එතරම් සාර්ථක නොවී ය.

ලන්ඩනයේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ධර්මේන්ද්‍ර වරක් මට මෙසේ පැවසීය, "රංගනය තමයි මගේ ආදරය, මම රංගනයට ආදරෙ යි. පෙම්වතියක් සහ ආදරණීයයෙක් රණ්ඩු වෙනවා වගේ... සමහර විට ඇය කලබල වෙනවා, මම ඇයව සන්සුන් කරනවා. සමහර විට මම කලබල වෙනවා, ඇය මාව සන්සුන් කරනවා. නමුත් මම කවදාවත් ඇයව දාලා ගියේ නැහැ."

ධර්මේන්ද්‍ර කිසිදා රංගනයෙන් ඉවත් නොවූ බව සත්‍යයකි - විටින් විට ඔහු තම කැමති ම රැකියාවට පැමිණෙන අතර, චරිතය හොඳ නම්, ඔහුගේ පැරණි මායාව නැවත දැකගත හැකිය.

ජොනී ගඩාර් චිත්‍රපටයේ, ඔහුගේ කල්ලි සාමාජිකයන් මහලු ධර්මේන්ද්‍රගේ හැකියාව ගැන සැක කරන විට, ඔහු පවසන්නේ, "වයසින් වැඩක් නෑ, දුවන දුරයි වැදගත්" - එහි අදහස 'වයස අනුව තීරණය නොකර, හැකියාව අනුව තීරණ ගන්න' යන්න ය.

"Life in a Metro" චිත්‍රපටයේ, ජීවිතයේ අවසාන අදියරේදී තම පෙම්වතිය වන නෆීසා අලි සමග ගත කරන අමෝල්, නැතහොත් "Rocky Aur Rani Ki Prem Kahani" චිත්‍රපටයේ මතකය අහිමි වූ පෙම්වතා යන භූමිකාවල සුළු කලකට වුව ද, ඒ පැරණි අලංකාරය නැවතත් දක්නට ලැබිණි.

චිත්‍රපටවලින් ඔබ්බට ඔහු දේශපාලනයට ද පිවිසියේ ය. ඉන්දියාවේ හිටපු අගමැති අතල් බිහාරි වජ්පායි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ඔහුව පොළඹවා ගත් අතර ඔහු ජයග්‍රහණය කළේ ය - නමුත් දේශපාලනයට පිවිසීම විශාල වැරැද්දක් ලෙස ඔහු සැලකීය.

රංගනයට අමතරව, ධර්මේන්ද්‍ර සැමවිට ම උර්දු බසට සහ කවිවලට ප්‍රිය කළේ ය.

උර්දු භාෂාවට ඇති ඇල්ම ගැන මම වරක් ඔහුගෙන් ඇසූ විට, ඔහුගේ පිළිතුර වූයේ - 'මම උර්දු භාෂාවට ණයගැතියි' යන්න ය.

ධර්මේන්ද්‍ර හැඟීම්බර, ආදර හැඟීම්බර, කවියෙකුගේ හදවතක් ඇති ක්‍රියාදාම තරුවකි.

කීර්තිය සහ තරු ගුණය පිළිබඳ මගේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන්, ඔහු උර්දු පද යුගලයක් කියෙව්වේ ය - "ඔබ ප්‍රමාණවත් තරම් වැදගත් නම් ඔබට ප්‍රශංසාව ලැබිය හැකි ය. නමුත් ඔබ මානුෂීය නම්, ඔබට ගරු කරනු" ලැබේ.

ඔහුගේ රංගනයේ සරල බවක්, අලංකාරයක් පැවතිණි. ඇතැම් විට එය තිරය මත දිස් වූ අතර, ඇතැම් විට හී-මෑන්ගේ සෙවණැල්ල තුළ සැඟවී සිටියේ ය. නමුත් ධර්මේන්ද්‍ර තමාව සෙවීම කිසි විටෙකත් නතර නොකළේ ය.

දෙසැම්බර් මාසයේදී ධර්මේන්ද්‍ර රඟපෑ ඉක්කිස් චිත්‍රපටය තිරගත වන විට, එනම් ඔහුට වයස අවුරුදු 90ක් වන විට, ඔහුගේ රසිකයින්ට ඔහුව අවසන් වරට තිරය මත දැක ගැනීමට ලැබීම අහම්බයක් වනු ඇත.