පකිස්ථානය සහ බංග්ලාදේශය T20 ලෝක කුසලානයට ක්‍රීඩා නොකිරීමෙන් ICCයට මූල්‍ය පාඩුවක් සිදුවෙනවා ද?

    • Author, බීබීසී උර්දු සහ බීබීසී හින්දි

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශ කණ්ඩායම ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කිරීමෙන් පසුව පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ද ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීම කෙරෙහි අවධානය යොමුවී තිබේ.

අගමැති ෂෙබාස් ෂරීෆ් හමුවීමෙන් පසු, පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ (PCB) සභාපති මොහ්සින් නක්වි පැවසුවේ, T20 ලෝක කුසලානයට පකිස්ථානයේ සහභාගීත්වය සම්බන්ධයෙන් "සියලු විකල්ප සලකා බලන" බව සහ ඒ සම්බන්ධයෙන් සිකුරාදා හෝ ලබන සඳුදා අවසන් තීරණයකට එළඹෙනු ඇති බව ය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන සාමාජික රටක් වන පකිස්ථානය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා නොකළහොත් ඇති විය හැකි මූල්‍යමය අලාභයන් මොනවා ද?

පකිස්ථානයට සිදුවන පාඩුව කුමක් ද?

පකිස්ථානය විස්සයි 20 ලෝක කුසලානයට සහභාගී නොවන්නේ නම්, ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට හැකියාවක් ඇතැයි 'දි ඉන්ඩියන් එක්ස්ප්‍රස්' පුවත්පත වාර්තා කර තිබේ. ද්විපාර්ශ්වික තරගාවලි තහනම් කිරීම, පකිස්ථාන සුපර් ලීගය සඳහා විදේශීය ක්‍රීඩකයින්ට සහභාගී වීම සඳහා වන විරෝධතා නොමැති බවට වන NOC සහතික නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ ආසියානු කුසලාන තරගාවලියෙන් පකිස්ථානය ඉවත් කිරීම මෙයට ඇතුළත් විය හැකි ය.

පකිස්ථානය විස්සයි 20 ලෝක කුසලානයට ක්‍රීඩා නොකළහොත්, ඔවුන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් හිමි වන වාර්ෂික ආදායමෙන් කොටසක් ද අහිමි වීමේ අවදානමක් පවතී.

"පාකිස්ථානය ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළහොත්, ක්‍රිකට් පාලක මණ්ඩලයට ICC වෙතින් ලැබෙන වාර්ෂික ආදායම නතර කරනු ඇත" යනුවෙන් සිය අනන්‍යතාව හෙළි නොකිරීම මත එක් නිලධාරියෙක් හින්දුස්ථාන් ටයිම්ස් වෙත පවසා තිබේ.

2023 දී, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මුළු ආදායම ඩොලර් මිලියන 600ක් විය.

2024-27 කාලය සීමාව තුළ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI) 38.5%ක කොටසක් හිමිවන බව ඩර්බන්හිදී තීරණය කරන ලදී.

එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයට ආදායමෙන් 6.89%ක් හිමි වන අතර ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයට 6.25%ක් හිමි විය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් වැඩි ම ආදායමක් උපයන සිව් වන සාමාජිකයා පකිස්ථානය වනු ඇති අතර, ඔවුන්ට 5.75%ක් හෙවත් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 34.51ක් හිමිවනු ඇත.

පෙර වටයට සාපේක්ෂව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට හිමි කොටස දෙගුණ වී ඇති නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආදායම බෙදා හරින ආකාරය පිළිබඳ පැහැදිලි බවක් නොමැතිකම පිළිබඳව ඔවුහු අසතුටට පත්ව සිටිති.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විනිවිදභාවයකින් කටයුතු නොකළ බව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. පකිස්ථානය T20 ලෝක කුසලානයෙන් ඉවත් වුවහොත්, ICC වෙතින් ලැබෙන සැලකිය යුතු අරමුදල් ප්‍රමාණයක් අත්හිටුවිය හැකි අතර, එමගින් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය මූල්‍යමය අර්බුදයකට ලක් විය හැකි ය.

"පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය මූල්‍ය වශයෙන් ශක්තිමත් නැහැ. ඔවුන්ට ICC වෙතින් ලැබෙන මුදල් අවශ්‍ය යි. පකිස්ථානය තරගාවලිය වර්ජනය කළොත්, ඔවුන්ට මෙම විශාල මුදල අහිමි වනවා. එහෙම වුණොත් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට ක්‍රියාත්මක වීම ඉතා අපහසු වෙනවා," ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදිනියක සහ කතුවරියක වන නීරු භාටියා පැවසුවා ය.

"අද පකිස්ථානය ක්‍රීඩා නොකළොත්, ඉදිරි ICC ක්‍රිකට් ලෝක කුසලාන සහ ටෙස්ට් ශූරතාවලියෙන් ද ඔවුන්ව ඉවත් විය හැකි යි," ඇය තවදුරටත් පවසයි.

පකිස්ථානය ක්‍රීඩා නොකිරීමෙන් ICCයට පාඩුවක් සිදුවෙයි ද?

පකිස්ථානය ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළහොත් ICC ආයතනයට ද මුදල් අහිමි විය හැකි ය. මෑතකදී, ICCය විසින් 2027 දක්වා PTV සහ Myco වෙත පකිස්ථානයේ රූපවාහිනී සහ ඩිජිටල් විකාශන අයිතිවාසිකම් ලබා දුන්නේ ය.

ගනුදෙනුවේ වටිනාකම කොපමණ දැයි ICC ය හෙළි කර නොමැත. ගිවිසුම බිඳී ගියහොත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මුදල් අහිමි විය හැකි නමුත්, නිශ්චිතව එම මුදල ඇස්තමේන්තු කිරීම දුෂ්කර ය.

පකිස්ථානය T20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම මග හැරියහොත්, ICC ආදායමට එය ඍජුව ම බලපානු ඇත. පකිස්ථානය ක්‍රීඩා කළහොත්, ඔවුන්ට ඉන්දියාව සමග තරගයකට මුහුණ දීමට සිදුවිය හැකි අතර, එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැඩි ම ආදායමක් උපයන තරගය වනු ඇත.

ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය විකාශනකරුවන්ට සහ වෙළෙඳ දැන්වීම්කරුවන්ට ඉතා වැදගත් වේ.

පකිස්ථානය ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම මග හැරියහොත් විකාශකයින්ට ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව පකිස්ථානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක බාසිත් අලි, යූ ටියුබ් නාලිකාවක් වන The Game Plan වෙත පැවසීය. පකිස්ථානය වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ කුමන කණ්ඩායම ද සහ පකිස්ථානය නොමැති තරග ඉන්දියා-පකිස්ථාන තරගයක් තරම් ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගනීවි ද යන්න ඔහු විමසීය.

ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයට අනුව, පසුගිය වසර 20 තුළ ඉන්දියා-පකිස්ථාන තරග මගින් රුපියල් කෝටි 10,000ක් (ඩොලර් බිලියන 1.3 ක් පමණ) උපයා ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

"ICC පාඩු ලැබීම ස්වාභාවික යි. ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගවල ප්‍රවේශ පත්‍ර සම්පූර්ණයෙන් ම විකිණිලා අවසන් වෙනවා. විශාල ප්‍රවේශපත්‍ර සංඛ්‍යාවක් අලෙවි වෙනවා. රූපවාහිනියෙන් ලැබෙන දැවැන්ත දැන්වීම් සහ අනුග්‍රාහකයින් අඩුවීම නිසා පාඩුවක් වෙනවා," නීරු භාටියා පවසයි.

බංග්ලාදේශය නොමැතිව ලෝක කුසලානය පැවැත්වීම ද ICCයට හානියක් වනු ඇති බවත්, තරගාවලියට ප්‍රේක්ෂකයින් මිලියන 200ක් පමණ අහිමි වන බවත් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති අමිනුල් ඉස්ලාම් බුල්බුල් පැවසීය.

කෙසේ වෙතත්, විකාශන අයිතිය කල්තබා අලෙවි කරනු ලබන බැවින්, විකාශකයින්ට සහ දැන්වීම්කරුවන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට වඩා වැඩි මුදලක් අහිමි වනු ඇත.

පකිස්ථානය ක්‍රීඩා නොකිරීමට තීරණය කරයි ද?

සිදුවිය හැකි සියලු අලාභයන් සැලකිල්ලට ගත් විට, ප්‍රශ්නය වන්නේ පකිස්ථානය තරගාවලියෙන් ඉවත්ව සිටීමේ අවදානමක් ගනී ද යන්න යි.

"අපි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට සිදුවූ දේ ගැන කම්පා වෙනවා. ICCයේ දැඩි ක්‍රියාමාර්ග ගැන කලකිරීමට පත්ව සිටිනවා, නමුත් ලෝක කුසලානය ක්‍රීඩා නොකිරීමේ ප්‍රශ්නයක් නැහැ" යනුවෙන් නැෂනල් හෙරල්ඩ් වෙත අදහස් දක්වමින් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශ්වාසදායක ආරංචි මාර්ග පැවසීය.

"අපි ICC සාමාජික ක්‍රීඩා ගිවිසුමට (MPA) බැඳී සිටින අතර පසුගිය වසරේ BCCI සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා, 2027 දක්වා සියලු ම ICC ඉසව් සඳහා හයිබ්‍රිඩ් ආකෘතියක් සඳහා ICC අනුමැතිය ලබා දී තිබෙනවා. මේ අවස්ථාවේ එයින් බැහැර වීමට කිසිදු හේතුවක් නැහැ," යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

ලෝක කුසලාන තරගාවලිය වර්ජනය කිරීමේ අදහසට පකිස්ථානයේ හිටපු නායක වසීම් අක්‍රම් විරුද්ධ වී තිබේ.

"බංග්ලාදේශය ක්‍රීඩා නොකරන නිසා පකිස්ථානය විස්සයි20 ලෝක කුසලානය වර්ජනය කිරීමට කිසිදු හේතුවක් නැහැ. පකිස්ථානය තමන් ගැන අවධානය යොමු කළ යුතු යි. හොඳින් ක්‍රීඩා කළ යුතු යි. ඒ වගේ ම තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඉලක්ක කළ යුතු යි," ඔහු පැවසුවේය.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදිනි නීරු භාටියා පවසන්නේ, පකිස්ථානයට දැන් විස්සයි20 ලෝක කුසලානය මග හැරිය නොහැකි බව ය.

"ICC ඉසව්වලට සහභාගී වීමෙන් සහභාගීත්ව ගාස්තුවක් හිමි වන අතර එය පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහා ඉතා වැදගත් වෙනවා. බොහෝ රටවල කණ්ඩායම් පකිස්ථානයේ පැවැත්වෙන දේශීය තරග ක්‍රීඩා කිරීමට නොඑන නිසා, ICC තරගාවලිය ඔවුන්ට දැවැන්ත අවස්ථාවක්," ඔහු පැවසුවේය.

"පකිස්ථානය අවදානම ගත්තත්, ඔවුන්ට සහය දක්වන්න ඉදිරිපත් වෙන අනෙක් සාමාජිකයින් අඩුවීම නිසා ICCය තුළ ඔවුන්ගේ තත්ත්වය දුර්වල වෙන්න පුළුවන්." ඔහු කියා සිටියේය.

බංග්ලාදේශයට සිදුවන පාඩුව කොපමණ ද ?

විස්සයි 20 ලෝක කුසලානයට සහභාගී වීමෙන් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට, එහි ක්‍රිකට් ක්‍රීඩකයින්ට, පුහුණු කාර්ය මණ්ඩලයට සහ කළමනාකාරිත්වයට බංග්ලාදේශ ටකා මිලියන 40ක් පමණ හිමි වනු ඇත. එය ඩොලර්වලින් කිවහොත් ඇමරිකානු ඩොලර් 300,000කට සමාන වේ.

කෙසේ වෙතත්, කණ්ඩායමක් ඉහළ ම කණ්ඩායම් 12 අතරට පැමිණියහොත්, ඔවුන්ට ටකා මිලියන 55කට වඩා ලැබෙනු ඇත, නැතහොත් ඩොලර් 450,000ක් පමණ ලැබෙනු ඇත.

බංග්ලාදේශය නිල වශයෙන් T20 ලෝක කුසලානයෙන් ඉවත් වීම නිසා ක්‍රීඩකයින්ට විශාල මූල්‍යමය බලපෑමක් ඇති කරනු ඇත. ඔවුන්ට තරග ගාස්තු, කාර්ය සාධන ප්‍රසාද දීමනා සහ ත්‍යාග මුදල් අහිමි වනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික කණ්ඩායම් ක්‍රිකට් ක්‍රීඩකයින්ට පුද්ගලික ආදායමෙන් ද විශාල පාඩුවක් සිදුවිය හැකි ය.

මෙම අවස්ථාවේදී, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට ද මූල්‍යමය පාඩු සිදුවනු ඇත. ICC වෙතින් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ තුනේ සිට ලක්ෂ 05 දක්වා සහභාගීත්ව ගාස්තුව තවදුරටත් ලබා ගත නොහැක. බංග්ලාදේශ මුදලින්, මෙම අගය ටකා කෝටි හතරේ සිට හය දක්වා වන අතර එය ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදුවන විශාල පාඩුවකි.

විස්සයි 20 ලෝක කුසලානය ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් ම ලාභ ඉපයිය හැකි තරගාවලියකි. එය මගහැරීම ක්‍රීඩකයින්ට සහ මණ්ඩලයට විශාල මූල්‍යමය පාඩුවක් ඇති කර යි.

බංග්ලාදේශය ක්‍රීඩා නොකිරීමෙන්, විකාශන සහ අනුග්‍රාහක ආදායමට ද බලපෑම් එල්ල විය හැක.

ඉන්දියානු උපමහද්වීපයේ බංග්ලාදේශ තරග සාමාන්‍යයෙන් ඉහළ රූපවාහිනී නරඹන්නන් සංඛ්‍යාවක් ලබා නරඹති. මෙම තරග විකාශනය නොකළහොත්, ශ්‍රේණිගත කිරීම් පහත වැටිය හැකි අතර, එමගින් දැන්වීම්කරුවන්ගේ සහ අනුග්‍රාහකයන්ගේ උනන්දුව අඩු විය හැකි ය.

තරගාවලියේ බංග්ලාදේශ තරග අඩු වීමෙන් සමස්ත වාණිජ වටිනාකම අඩු වන බවට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ විචාරකයින් දැනටමත් අනතුරු අඟවා ඇත.

ඊට අමතරව, බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් ජාත්‍යන්තර විස්සයි 20 තරගයක් ක්‍රීඩා කිරීමෙන් අවම වශයෙන් එක් තරගයකට ටකා ලක්ෂ 2.5ක් උපයයි.

2024 ICC පිරිමි T20 ලෝක කුසලානය තරගාවලියේ ඉතිහාසයේ ඉහළ ම ත්‍යාග මුදල හිමිකර ගත් තරගාවලිය යි. නව වන තරගාවලියට බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ථාන නවයක දින 28ක් පුරා කණ්ඩායම් 20ක් තරග කළ අතර, එය මේ දක්වා පැවති දැවැන්ත ම T20 ලෝක කුසලානය බවට පත්විය.

එම තරගාවලියේ අනුශූරතාව දිනාගත් කණ්ඩායමට අවම වශයෙන් ඩොලර් මිලියන 1.28 ක් ලැබිණි. අවසන් පූර්ව වටයේ පරාජිතයින් දෙදෙනාට ඩොලර් 787,500 බැගින් ලැබිණි. දෙවන වටයෙන් ඔබ්බට යාමට නොහැකි වූවන්ට ඩොලර් 382,500 බැගින් ලබා දෙන ලදී.

නව වන ස්ථානයේ සිට දොළොස් වන ස්ථානයේ සිටින කණ්ඩායම් සඳහා ඩොලර් 247,500 බැගින් ලැබුණු අතර, දහතුන් වන ස්ථානයේ සිට විසි වන ස්ථානයේ සිටින කණ්ඩායම් සඳහා ඩොලර් 225,000 බැගින් ලැබිණි.

ඊට අමතරව, අර්ධ අවසන් පූර්ව වටය සහ අවසන් තරග හැර, සෑම තරගයක් ම ජයග්‍රහණය කිරීම සඳහා කණ්ඩායම්වලට අමතර ඩොලර් 31,154ක් උපයා ගැනීමට හැකි විය.