ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පකිස්ථාන ක්‍රිකට් සභාපතිගෙන් කුසලානය භාර නොගැනීමට ඉන්දියාව ගත් තීරණය පිටුපස සිටියේ කවුද?
- Author, බීබීසී උර්දු සහ බීබීසී හින්දි
2025 ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් පකිස්ථානය කඩුලු 5කින් පරාජය කරමින් ඉන්දියාව ශූරතාව දිනා ගත්තේ ය.
නමුත්, ජයග්‍රහණයෙන් පසු සිදු වූයේ, ක්‍රිකට් ක්‍රීඩාවේ මීට පෙර නොවූවිරූ සිදුවීමකි.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති සහ පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය, පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොෂින් නක්වි අතින් කුසලානය භාර ගැනීම ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ෂේප කර තිබිණි.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් දේව්ජිත් සයිකියා පසුව පැවසුවේ, ක්‍රීඩකයින් කල්තබා එම තීරණය ගෙන සිටි බව ය.
පකිස්ථානය ලබා දුන් ලකුණු 147ක ඉලක්කය ඉන්දියාව පන්දුවාර 19 යි පන්දු 4කදී කඩුලු 5ක් දැවී තිබියදී හඹා යාමට සමත් විය.
තිලක් වර්මා නොදැවී ලකුණු 69ක් රැස් කළ අතර ශිවම් ඩුබේ ලකුණු 33ක් රැස් කළේ ය.
නමුත් ඉන්දියාවේ ජයග්‍රහණයට වඩා, ඉන්දීය ක්‍රීඩකයින් කුසලානය ලබා ගැනීමට වේදිකාවට නොපැමිණීම පිළිබඳව දැඩි කතාබහක් ඇති විය.
තරගයෙන් පසුව සිදුවූයේ කුමක් ද?
ජයග්‍රහණයෙන් පසුව පැවැත්වීමට නියමිතව තිබූ ත්‍යාග ප්‍රදානෝත්සවය පැයක් පමණ ප්‍රමාද වී ආරම්භ විය. විකාශය අතරතුර, නවසීලන්තයේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක සයිමන් ඩූල් නිවේදනය කළේ, ඉන්දීය කණ්ඩායම ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි නොවන බව සහ කුසලානය භාර නොගනු ඇති බව ය.
ඉන්පසු, ඉන්දීය ක්‍රීඩකයින් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොෂින් නක්විගෙන් කුසලානය භාර නොගැනීමට තීරණය කර ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් දේව්ජිත් සයිකියා තහවුරු කළේ ය.
මේ හේතුවෙන්, ජයග්‍රාහී කණ්ඩායම වේදිකාවට නොපැමිණි අතර නායකයාට කුසලානය භාර දීමක් සිදු නොවී ය.
තිලක් වර්මා (තරගයේ දක්ෂතම ක්‍රීඩකයා), අභිෂේක් ෂර්මා (තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා) සහ කුල්දීප් යාදව් (වටිනා ම ක්‍රීඩකයා) ඔවුන්ගේ තනි සම්මාන ලබා ගැනීම සඳහා වේදිකාවට පැමිණිය ද, ඔවුන් මොෂින් නක්වි කෙරෙහි අවධානයක් යොමු නොකළේ ය.
රොයිටර් පුවත් සේවයට අනුව, වේදිකාවේ සිටි ඉන්දීය ක්‍රීඩකයින්ට අත්පුඩි නොගැසූ එක ම පුද්ගලයා මොෂින් නක්වි පමණි.
PTI පුවත් සේවයට අනුව, ආසියානු ක්‍රිකට් කවුන්සිලය සහ ක්‍රීඩාංගණයේ කළමනාකාරිත්වය ජයග්‍රාහී කණ්ඩායමට කුසලානය පිරිනමන්නේ කවුරුන් ද? යන්න තීරණය කරමින් සිටියහ. වාර්තාවේ සඳහන් වන්නේ, උත්සවය හදිසියේ ම නතර වූ බව සහ සංවිධායකයින් කුසලානය ක්‍රීඩක විවේකාගාරයට රැගෙන ගිය බව ය.
ඉන්දියාව කුසලානය ලබා නොගත් නමුත් පිටියේ සිටි ක්‍රීඩකයින් ඔවුන්ගේ ම ආකාරයකින් (කුසලානය ඔසවාගෙන සිටින ආකාරයක් අභිරූපණයෙන් දක්වමින්) ජයග්‍රහණය සමරනු දක්නට ලැබිණි.
"මම විශිෂ්ට අවසන් තරගයක් දැකීමට බලාපොරොත්තු වන අතර ජයග්‍රාහී කණ්ඩායමට කුසලානය භාර දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා," අවසන් තරගයට දිනකට පෙර, මොෂින් නක්වි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ යත.
'ක්‍රීඩා පිටිය මැද සින්දූර් මෙහෙයුම'
"ක්‍රීඩා පිටියේ සින්දූර් මෙහෙයුම. ප්‍රතිඵලයත් එයමයි - ඉන්දියාව දිනුවා! අපේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට සුබ පැතුම්" යනුවෙන් පවසමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 'X' සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දීය කණ්ඩායමට සුබ පැතුම් එක් කර තිබිණි.
බොහෝ ඉන්දීය පරිශීලකයින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ X සටහන අගය කළ අතර, ඇතැමුන් එය "ඉන්දීය හමුදාවේ කැපකිරීම් සමච්චලයට ලක් කිරීමක්" ලෙස විස්තර කළහ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයට පිළිතුරු වශයෙන් පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොෂින් නක්වි මෙලෙස සටහනක් තබා තිබිණි, "යුද්ධය ඔබේ ආඩම්බරය නම්, ඉතිහාසය දැනටමත් පකිස්ථානය ඔබේ අවමන්සහගත පරාජයන් පෙන්නුම් කර තිබෙනවා. කිසිදු ක්‍රිකට් තරගයකට මේ සත්‍යය වෙනස් කළ නොහැකි යි."
යුද්ධය ක්‍රීඩාවට ඈඳා ගැනීමෙන් කලකිරීමක් පමණක් පෙන්නුම් කරන අතර එය ක්‍රීඩාවේ ජීවගුණයට බලපාන බව මොෂින් නක්වි තවදුරටත් පැවසීය.
මේ අතර, ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ඉන්ස්ටග්‍රෑම්හි සටහනක් තබමින් පැවසුවේ, "විශිෂ්ට ජයග්‍රහණයක්. අපේ ක්‍රීඩකයින්ගේ දැවැන්ත ශක්තිය විසින් නැවතත් ප්‍රතිවාදීන් සුණුවිසුණු කරනු ලැබ ඇති," බව ය.
"භුමිය කුමක් වුවත් ඉන්දියාවේ ජයග්‍රහණය ස්ථිර යි," ඔහු පැවසීය.
"ක්‍රිකට් ජයග්‍රහණයක් සොල්දාදුවන් ජීවිත පූජා කළ ඔපරේෂන් සින්දූර් මෙහෙයුමට සංසන්දනය කිරීම අගෞරවයක්. එය හුදෙක් නොසැලකිලිමත්කමක් නොවේ; එය ඔවුන්ගේ පරිත්‍යාගය දේශපාලන සටන් පාඨයක් බවට පත් කරයි. ඔබට මීට වඩා හොඳින් කළ හැකියි, කරුණාකර මෙය මකා දමන්න," අගමැති මෝදිගේ X පණිවුඩයට ප්‍රතිචාර දක්වමින්, ආශිෂ් ගුප්තා නම් පරිශීලකයෙක් සඳහන් කළේ ය.
"නරේන්ද්‍ර මෝදි, කරුණාකර ඔපරේෂන් සින්දූර් වැනි හමුදා මෙහෙයුමක් ක්‍රිකට් සමග සංසන්දනය කිරීමෙන් විහිළුවට ලක් නොකරන්න. අපගේ සොල්දාදුවන්ගේ ජීවිත අවදානමට ලක්ව තිබුණා. ජාතික ආරක්ෂාව සහ ක්‍රීඩාව කියන්නේ දෙකක්. මෙම සංසන්දනය ප්‍රශංසා කිරීම වෙනුවට, කරුණාකර එහි පිටුපස ඇති කැපකිරීම්වලට ගරු කරන්න," සනාතත් ධර්මා එලෙස සටහන් කර තිබිණි.
ඉන්දියාවේ ජයග්‍රහණය ඉන්දීය සමාජ මාධ්‍ය ඔස්සේ සමරනු ලබද්දී, තිලක් වර්මාගේ ජයග්‍රාහී ඉනිම ප්‍රශංසාවට ලක් කරමින් එය 'තිලක් මෙහෙයුම' ලෙස නම් කර තිබේ.
'රෆාල්' යන වචනය සමාජ මාධ්‍යවල ජනප්‍රිය වෙමින් පවතින්නේ, අවසන් තරගයේදී, ඉන්දීය පන්දු යවන්නෙකු වන ජස්ප්‍රිත් බුම්රා, පකිස්ථාන පන්දු යවන්නෙකු වන හරිස් රවුෆ්ට පන්දු යැවීමෙන් පසු, පෙර තරගයේදී හරිස් රවුෆ් කළාක් මෙන්, එම ගුවන් අනතුර සිදුවන ආකාරය දැක්වෙන අභිනය සිදු කළ බැවිනි.
කුසලානය භාර නොගැනීමට ගත් තීරණය කාගේ ද?
ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් මාධ්‍ය හමුවකදී පැවසුවේ, තමන් මීට පෙර මෙවැනි දෙයක් දැක නැති බව ය. කුසලානය භාර නොගැනීමට කණ්ඩායම එක්ව තීරණය කළ බව ඔහු පැවසීය.
මේ අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් දේව්ජිත් සයිකියා ANI පුවත් සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ඉන්දීය කණ්ඩායම පකිස්ථාන නායක සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්විගෙන් කුසලානය භාර නොගැනීමට තීරණය කර ඇති බව සහ මේ සම්බන්ධයෙන් ICC සමුළුවේදී නිල විරෝධතාවක් ගොනු කරන බවයි.
සූර්යකුමාර් යාදව් පැවසුවේ ජයග්‍රාහී කණ්ඩායමකට කුසලානය නොලැබෙන ආකාරය තමා මින් පෙර කිසිදා දැක නොමැති බවය.
"ඒක අපි මහන්සි වෙලා ලබා ගත්ත කුසලානයක්, අපි ඒකට සුදුසු යි කියලා මම විශ්වාස කරනවා. මම මගේ අදහස පැහැදිලි කළා. ඔබ මගෙන් කුසලාන ගැන ඇහුවොත්, මගේ කුසලාන ඉන්නේ ක්‍රීඩා විවේකාගාරයේ. මාත් එක්ක ඉන්න සියලු ම ක්‍රීඩකයින් 14 දෙනා සහ සහායක කණ්ඩායම් තමයි මගේ සැබෑ කුසලාන," ඔහු පැවසුවේ ය.
මොෂින් නක්විගෙන් කුසලානය භාර නොගැනීමට ගත් තීරණය නිල වශයෙන් ගත් තීරණයක් ද? නොමැති ද? යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසූ විට, සූර්යකුමාර් යාදව් මෙලෙස පැවසීය, "අපි පිටියේදී ම තීරණය කළා. එහෙම කරන්න කියලා කිසි කෙනෙක් අපට කිව්වෙ නෑ. තරගාවලිය පුරා මෙතරම් හොඳින් ක්‍රීඩා කරලා තරගාවලිය ජයග්‍රහණය කරලා, කුසලානය ගන්න සුදුසු ද නැද්ද? ඔබ ම මට කියන්න."
"ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාගෙන් 2025 ආසියානු කුසලාන කුසලානය පිළිනොගැනීමට අපි තීරණය කළේ ඔහු පකිස්ථානයේ ප්‍රමුඛ පෙළේ නායකයෙක් නිසා. නමුත් මෙයින් අදහස් කරන්නේ කුසලානය සහ පදක්කම් ඔහු ළඟ ම තියේවි කියලා නෙමෙයි. ඒවා ඉක්මනින් ඉන්දියාවට නැවත ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නොවැම්බර් මාසයේදී ඩුබායිවල පැවැත්වෙන ICC සමුළුවේදී, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාගේ ක්‍රියාවන් ගැන අපි දැඩි විරෝධයක් පළ කරනවා," දේව්ජිත් සයිකියා ANI ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේය.
"අවසාන තරගයේදී පකිස්ථානය පරාජය කිරීම ගැන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අතිශයින් ම සතුටු වන අතර ම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට සුබ පතනවා. පකිස්ථානයට එරෙහි තරග තුන ම ඒකපාර්ශ්වික තරග වුණා, අපේ කණ්ඩායම ගැන ඉතා ආඩම්බර වෙනවා. අපගේ සන්නද්ධ හමුදා දේශසීමා ප්‍රදේශයේදී ද එසේ කර තිබෙනවා. දැන්, ඩුබායිවලදී එය ම සිදුවී තිබෙනවා. අපි ඉන්දීය කණ්ඩායමට රුපියල් කෝටි 21ක මුදල් ත්‍යාගයක් ලබා දීමට තීරණය කර තිබෙනවා. මෙම ත්‍යාගය ක්‍රීඩකයින් සහ සහයක කාර්ය මණ්ඩලය අතර බෙදා දෙන්න කටයුතු කරනවා," ඔහු තවදුරටත් පැවසීය.
පකිස්ථාන නායකයා පැවසුවේ කුමක් ද?
තරගයෙන් පසුව, පකිස්ථාන නායක සල්මන් අලි අගාගෙන් කුසලාන මතභේදය සහ ඉන්දීය කණ්ඩායම පිළිබඳව ප්‍රශ්න කිහිපයක් අසන ලදී.
මෙම මතභේදයන් හේතුවෙන් ඔවුන්ගේ දක්ෂතාව යටපත් වූයේ දැයි විමසූ විට, ඔහු පැවසුවේ, "අපිව නිතර ම විවේචනය කරනවා. ක්‍රිකට් දන්නා අය ක්‍රිකට් ගැන පමණක් කතා කරනවා. අනෙක් සියල්ල එතරම් වැදගත් නැහැ. මෙම තරගාවලියේදී අපගේ පිතිකරණය ප්‍රමාණවත් වුණේ නැහැ, අප වැඩි දියුණු කළ යුතු දේ අපි දන්නවා. අපි ඒ කෙරෙහි අවධානය යොමු කරනවා, වෙනත් කිසි ම කරුණක් ගැන අවධානය යොමු කරන්නේ නැහැ."
අතට අත දීම සහ ක්‍රීඩාවේ ජීව ගුණය ගැන විමසූ විට, සල්මන් ආගා පැවසුවේ, ඉන්දීය ක්‍රීඩකයන්ගේ මෙවැනි හැසිරීම් කලකිරීමට කරුණක් බව ය.
"ක්‍රිකට් ක්‍රීඩාවේදී, අතට අත දීම ප්‍රතික්ෂේප කිරීම හෝ එසේ ක්‍රියා කිරීම අපිට නොවේ ක්‍රීඩාවට ම කරන අගෞරවයක්. ක්‍රිකට් ක්‍රීඩාවට අගෞරව කරන ඕනෑ ම කෙනෙකු කොතැනකදී හෝ හෙළිදරව් වෙනවා. මම හිතන්නේ නැහැ කිසි ම හොඳ කණ්ඩායමක් අද ඔවුන් කළාක් මෙන් කටයුතු කරයි කියලා. කුසලානය එක්ක ඡායාරූප ගන්න එක පදක්කම් ලබා ගන්න එක වගේ දේවල් සම්බන්ධයෙන් හොඳ කණ්ඩායමක් නම් අපි කළ දේ තමයි කරන්නේ," ඔහු පැවසුවේ ය.
තරගාවලිය ආරම්භයට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවලදී හෝ විනිසුරු රැස්වීම් අතරතුර ඉන්දීය නායකයා තමාට අතට අත දුන් බවත්, නමුත් පිටියේදී ප්‍රසිද්ධියේ ඔහු එසේ නොකළ බවත් සල්මන් පැවසීය. "මම හිතන්නේ ඔහුට ලැබුණු උපදෙස් අනුගමනය කළා පමණ යි. ඒක එහෙම නම්, කමක් නැහැ," ඔහු තවදුරටත් පැවසීය.
ඉන්දීය කණ්ඩායම හමුවේ මෑත කාලීන පරාජයන් ගැන විමසූ විට, සිය කණ්ඩායමේ දක්ෂතා හොඳ මට්ටමක නැති බව ඔහු පිළිගත් නමුත් එය එක්තරා කාල රාමුවක් සඳහා පමණක් බව පැවසීය. "අපි දැන් ඔවුන්ට එරෙහිව හොඳින් ක්‍රීඩා නොකරන බව අපි දන්නවා. නමුත් සමස්තයක් වශයෙන්, අපි තවමත් ඉදිරියෙන් සිටින්නේ. සෑම කණ්ඩායමක් ම යම් ආකාරයේ කාල රාමුවක් හරහා ගමන් කරනවා. අපි 90 දශකයේ ඔවුන් පරාජය කළා, දැන් ඔවුන්ගේ කාලය යි, ඔවුන් අපව පරාජය කරනවා. නමුත් ඉක්මනින්, අපි ඔවුන්ට එරෙහිව නැවත ජයග්‍රහණය ලබන්න පටන් ගන්නවා," ඔහු පැවසුවේ ය.
පකිස්ථාන නායකයා චෙක්පත ඉවත දමයි
2025 ආසියානු කුසලාන අවසන් තරගයේදී ඉන්දියාව හමුවේ පරාජයට පත්වීමෙන් පසු පකිස්ථාන නායක සල්මන් අලි අගා සම්මාන ප්‍රදානෝත්සවයේදී දැක්වූ ප්‍රතිචාරයක් පිළිබඳව ද පුළුල් ලෙස කතාබහක් නිර්මාණය වී තිබේ.
තරගයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රදාන උත්සවයේදී චෙක්පතේ අනුරුව භාරගත් පසු අගා එය ඉවතට විසි කර දමනු දක්නට ලැබිණි.
ඔහු චෙක්පත විසි කරන විට, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොෂින් නක්වි ද එහි සිටියේ ය.
ඉන් අනතුරුව සම්මුඛ සාකච්ඡාව සඳහා සල්මන් අගා ඉදිරියට ගියේ ය.
ඉන්දියාව සහ පකිස්ථානය අතර අවසන් තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී පකිස්ථාන නායක සල්මන් අලි අගා ප්‍රකාශයක් කළේ ය.
"මුළු කණ්ඩායමේ ම සිය තරග ගාස්තුව ඉන්දියානු ප්‍රහාරයෙන් පීඩාවට පත් සාමාන්‍ය පුරවැසියන්ට සහ දරුවන්ට පරිත්‍යාග කරනවා," පකිස්ථාන නායකයා පැවසීය.
කෙසේ වෙතත්, මෙම ගාස්තුව මුළු තරගාවලියේ ම ද නැතහොත් එක් තරගයක පමණක් ද යන්න ඔහු පැහැදිලි නොකළේ ය.
ඉන්දියාවේ ජයග්‍රහණයෙන් පසු, නායක සූර්යකුමාර් යාදෙව් නිවේදනය කළේ, ඔහුගේ සම්පූර්ණ තරග ගාස්තුව ඉන්දීය හමුදාවට සහ අප්‍රේල් 22 වන දින පෙහෙල්ගාම් ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට පරිත්‍යාග කරන බව ය.
"අපේ සන්නද්ධ හමුදාවන්ට සහ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ පවුල්වලට උපකාර කිරීම සඳහා මෙම තරගාවලිය සඳහා හිමි වන මගේ තරග ගාස්තුව පරිත්‍යාග කිරීමට මම තීරණය කළා," සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර තිබිණි.
මුල් තරගවල සිට පැවති විරසකය
2025 ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දියාව සහ පකිස්ථානය තුන් වරක් එකිනෙකා සමග ක්‍රීඩා කළ අතර ඉන්දියාව පළමු තරග දෙක පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් විය.
නමුත් මෙම තරගවලදී පවා පිටියෙන් පිටත දැඩි උණුසුම් තත්ත්වයක් දක්නට ලැබිණි.
ආරම්භක තරගයේ සිට ඉන්දීය කණ්ඩායම පකිස්ථාන ක්‍රීඩකයින් සමග අතට අත දීම ප්‍රතික්ෂේප කර තිබිණි. එම ජයග්‍රහණයෙන් පසු නායක සූර්යකුමාර් යාදව් පැවසුවේ, පෙහෙල්ගාම් ප්‍රහාරයෙන් මිය ගිය අයගේ පවුල්වලට සිය ජයග්‍රහණය කැප කරන බව ය.
ඉන්දිය කණ්ඩායම පළමු කාණ්ඩයේ තරගය ජයග්‍රහණය කළ විට, නායකයින් දෙදෙනා කාසියේ වාසිය විමසීමේදී අතට අත දී ආචාර කිරීමක නොයෙදුණි. මෙයින් පසු, පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.
පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොෂින් නක්වි ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ: "තරග තීරකවරයා විසින් ICC චර්යා ධර්ම සංග්‍රහය සහ ක්‍රිකට් ජීව ගුණයට අදාළ MCC නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ICC වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත." යනුවෙනි.
"සමහර දේවල් ක්‍රීඩාශීලීත්වයට වඩා ලොකු යි" යනුවෙන් තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී අතට අත නොදීම පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය කණ්ඩායමේ නායක සූර්යකුමාර් යාදව් පවසා තිබිණි.