ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාව වෙනුවෙන් පකිස්ථාන පාර්ලිමේන්තුවට යෝජනාවක්: ක්‍රීඩකයින්ට 'රාජ්‍ය නායක ආරක්ෂාව' ලැබෙන්නේ මෙහෙමයි
නොවැම්බර් 11 වන දා පකිස්ථානයේ ඉස්ලාමාබාද්හිදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යවරයා අමතා ඔහුගේ සහතිකය මත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පකිස්ථාන සංචාරය දිගට ම කරගෙන යාමට කැමැත්ත පළ කළ බව පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොෂින් නක්වි පැවසීය.
ඉස්ලාමාබාද්හි සිදුවූ පිපිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින්ට නැවත සිය රටට යාමට අවශ්‍ය වූ බවට බදාදා රාත්‍රියේ වාර්තා පළ විය.
ඉන්පසුව පකිස්ථාන සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර සාකච්ඡා පැවති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින්ට උපදෙස් දුන්නේ, ඔවුන්ගේ සංචාරය දිගට ම කරගෙන යන ලෙස ය.
ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර් සහ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යවරයා අතර ඇති වූ සාකච්ඡා හේතුවෙන් සංචාරක කණ්ඩායමේ ක්‍රීඩකයින් පකිස්ථාන සංචාරය දිගට ම කරගෙන යාමට තීරණය කළ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොෂින් නක්වි බදාදා (නොවැ: 12) පකිස්ථාන සෙනෙට් සභාවේදී ප්‍රකාශ කළේ ය.
පකිස්ථාන හමුදාව සහ ඉස්ලාමාබාද් පොලිසිය ශ්‍රී ලංකා කණ්ඩායමට ආරක්ෂාව සපයන බව මොෂින් නක්වි පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායමට රාජ්‍ය අමුත්තන්ගේ තත්ත්වය ලබා දී ඇති බවත්, ඒ යටතේ ඔවුන්ට රාජ්‍ය නායකයන්ට හිමි ආරක්ෂාව ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර, ෆෙඩ්රල් නීති අමාත්‍ය අසාම් නසීර් තරාර් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට සහ රජයට උපහාර දැක්වීමේ යෝජනාවක් සෙනෙට් සභාවට ඉදිරිපත් කරනු ලැබූ අතර එය ඒකමතිකව සම්මත විය.
ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාශීලිත්වය ප්‍රදර්ශනය කළ බවත් ත්‍රස්තවාදී ප්‍රහාරය නොතකා ක්‍රීඩා කිරීමට තීරණය කළ බවත් එම යෝජනාවේ සඳහන් වේ.
එම යෝජනාවට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පුළුල් සැලසුම්සහගත ආරක්ෂාවක් ලබා දෙනු ඇත.
පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ඉතිරි එක්දින තරග නොවැම්බර් 14 සහ 16 යන දිනවල රාවල්පින්ඩිහිදී පැවැත්වේ. මීට පෙර මෙම තරඟ නොවැම්බර් 13 සහ 15 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබිණි.
රාජ්‍ය අමුත්තන් සඳහා සැපයෙන ආරක්ෂාව කෙබඳු ද?
ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පකිස්ථානයේ තරග සංචාරවලට සහභාගි වෙද්දී ආරක්ෂාව සැපයූ හිටපු පොලිස් නිලධාරියෙකු නම හෙළි නොකිරීමේ කොන්දේසිය මත බීබීසී පුවත් සේවයට පැවසුවේ, 'බ්ලූ බුක්' නියමයන්ට අනුව ජනාධිපතිවරයෙකුට සපයන ආරක්ෂාව ලබා දෙන බව ය.
'බ්ලූ බුක්' යනු රාජ්‍ය නායකයින්ට සහ අගමැතිවරුන්ට ලබා දුන් ආරක්ෂාව පිළිබඳ විස්තර ඇතුළත් නිල ලේඛනයකි.
ඕනෑ ම කණ්ඩායමක සංචාරයකට පෙර මේ සියලු තොරතුරු සලකා බලන බව ද ඔහු පැවසීය.
ඔහුට අනුව බුද්ධි තොරතුරු කාර්යාංශය (IB) මෙන් ම අනෙකුත් බුද්ධි අංශ සමග සාකච්ඡා කර සවිස්තරාත්මක ආරක්ෂක සැලැස්මක් සකස් කිරීම පිළිබඳ උපදෙස් 'Blue Book' හි සඳහන් වේ.
ඔහු පවසන්නේ, ක්‍රීඩාංගණයේ සිට හෝටලයට ආපසු යන තෙක් සිදුවන සෑම ක්‍රියාකාරකමකදී ම ආරක්ෂක ආයතන සහ බුද්ධි අංශ එකිනෙකා සමග සම්බන්ධ වී සිටින බව ය.
ඔහුට අනුව, IB, Counter-Terrorism Department (CTD), Special Branch සහ ISI යන ආයතන මේ සඳහා එක්ව ක්‍රියා කරන අතර යමෙකුට කිසියම් තොරතුරක් ඇත්නම් ඔවුහු එය එකිනෙකා සමග බෙදා ගනිති.
පොලිස් නිලධාරියා පැවසුවේ, 2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරයේ සිට පකිස්ථානයේ සංචාරය කරන කණ්ඩායම්වලට ජනාධිපති ආරක්ෂාව ලබා දී ඇති බව ය.
ඔහු පවසන පරිදි මෙම ආරක්ෂක සැලැස්ම යටතේ හෝටලයේ සිට ක්‍රීඩාංගණය දක්වා මාර්ගයෙන් ජනතාව ඉවත් කර, මාර්ග පරීක්ෂා කර වැදගත් ගොඩනැගිලිවල ස්නයිපර්වරුන් යොදවා තිබේ.
අමුත්තන්ගේ තොරතුරු ප්‍රාදේශීය පොලිස් ස්ථානවලට දැනුම් දිය යුතු ය.
"මූලික වශයෙන්, එතන අදියර හතරක ආරක්ෂක පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. විවිධ අදියර හතරකදී පරීක්ෂා කිරීම් සිදු කරනවා. ක්‍රීඩාගාරය සහ ක්‍රීඩකයින් අසුන් ගන්නා ස්ථාන පරීක්ෂා කරනවා. ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගණයට ඇතුළු වෙන්න තියෙන්නේ, ආරක්ෂක ස්ථාන හතරක් පසුකරමින්."