අෆ්රිඩිගේ අධිවේගී ශතකය සහ තිසරගේ කඩුලු ත්‍රිත්වය: ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර වසර 50ක අමතක නොවන ක්‍රිකට් සබඳතාව

    • Author, උමෙයිර් අලි
    • Role, වාර්තාකරු

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අඟහරුවාදා (නොවැ: 11) රාවල්පින්ඩිහිදී පළමු එක්දින ජාත්‍යන්තර (ODI) ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ අතර, එය මෙවර එක්දින තරගාවලියේ ආරම්භය පමණක් නොව, වසර 50කට පෙර පළමු ක්‍රිකට් ලෝක කුසලානයේදී ආරම්භ වූ සම්බන්ධතාව සනිටුහන් කළේය.

දශක පහකට පෙර, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට නවකයෙකු වූ අතර, පකිස්ථානය ලෝකයේ හොඳ ම කණ්ඩායම්වලින් එකක් ලෙස පැවතිණි. 80 සහ 90 දශකවලදී, ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරමින් තම ප්‍රමිතීන් වැඩිදියුණු කර ගැනීමට බලපෑ දක්ෂ කණ්ඩායම් අතර පකිස්ථානය ද විය.

මේ දක්වා දෙරට අතර එක්දින ජාත්‍යන්තර තරග 157ක් පවත්වා ඇති අතර, ඉන් තරග 93ක් පකිස්ථානය සහ තරග 59ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත.

1996 දී, ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව පරාජය කර ලෝක ශූරයන් බවට පත් වූයේ පකිස්ථානයේදී ය. එම තරගය නැරඹූ ක්‍රිකට් ලෝලීන්ගෙන් බහුතරය ද පකිස්ථාන වැසියෝ වූහ.

1996 ලෝක කුසලානයේදී ආරක්ෂක ගැටලු හේතුවෙන් බටහිර රටවල ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ විට, තම ක්‍රීඩකයින් කොළඹට යැවීමට තීරණය කළ රටවල් අතර පකිස්ථානය ද විය.

ඒ හා සමානව, 2009 මාර්තු 3 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ ලාහෝර්හි සිටියදී බරපතළ සිදුවීමක් සිදුවිය. පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවති ටෙස්ට් තරගයේ තුන්වන දිනය ආරම්භ වීමට ආසන්නව තිබියදී, එරට වේලාවෙන් පෙ.ව. 9 ට සන්නද්ධ පුද්ගලයින් 12 දෙනෙක් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් බස් රථයට ප්‍රහාරයක් එල්ල කළහ.

මෙම සිද්ධියෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් හය දෙනෙක් සහ රියැදුරා මිය ගියහ. තුවාල ලැබූවන් අතර තිලාන් සමරවීර, අජන්ත මෙන්ඩිස්, කුමාර් සංගක්කාර සහ තරංග පරණවිතාන යන ක්‍රීඩකයින් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහු පැවසූහ.

සයීඩ් අන්වර්ගේ පළමු ජාත්‍යන්තර ශතකය සහ පකිස්ථාන ආරම්භක පිතිකරුවන් අතර ද්විත්ව ශතක සබඳතාව

1990 දී, පකිස්ථාන කණ්ඩායම අත්හදා බැලීම්වලට මුහුණ දෙමින් සිටියදී, ශ්‍රී ලංකා කණ්ඩායම අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් තරුණ ක්‍රීඩකයින්ට අවස්ථා ලබා දෙමින් සිටියේ ය. එබැවින්, එම වසරේ පෙබරවාරි මාසයේ ඇඩිලේඩ්හි පැවති ලෝක තරගාවලියේදී කණ්ඩායම් දෙක එකිනෙකාට මුහුණ දුන් විට, අමතක නොවන තරගයක් දක්නට ලැබිණි.

මෙම තරගයේදී, මෙතෙක් පකිස්ථානය වෙනුවෙන් වැඩි ම ශතක (20) ලබා ඇති සයීඩ් අන්වර්, ඔහුගේ එක්දින දිවියේ පළමු ශතකය වාර්තා කළේ ය.

ශ්‍රී ලංකාවට එරෙහිව ඔහුගේ මංගල ශතකය ඔහුගේ එක්දින දිවියේ පළමු ශතකය ද විය. එම වමත් පිතිකරුවාගේ ඉනිමට හයේ පහර හයක් සහ හතරේ පහර අටක් ඇතුළත් වූ අතර එය ඔස්ට්‍රේලියාවේ වේගපන්දු යවන්නන්ට සුදුසු තණතිලි මත ඕනෑ ම පිතිකරුවෙකු ප්‍රකට කළ විශිෂ්ට දස්කමකි.

රමීස් රාජා සමග එක්ව සයීඩ් අන්වර් පළමු කඩුල්ලට ලකුණු 202ක් එක් කළ අතර, පකිස්ථානය පන්දු වාර 50 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 315ක් රැස් කළේ ය. රමීස් රාජා ද මෙම ඉනිමේදී නොදැවී ලකුණු 107ක් රැස් කළේ ය.

ලකුණු 316ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි සටනක නිරත වූ නමුත් කඩුලු 8ක් දැවී රැස් කළේ, ලකුණු 288ක් පමණි. මෙහිදී නායක අර්ජුන රණතුංග සහ රොෂාන් මහනාම අර්ධ ශතක රැස් කළ අතර, වකාර් යුනිස් සහ ආකිබ් ජාවෙඩ් කඩුලු දෙක බැගින් දවා ගත්හ.

වකාර් යුනිස්ගේ හොඳ ම පන්දු යැවීම

1990 අප්‍රේල් මාසයේදී සාජාහි පැවති මෙම තරගයේදී, පළමුව ඉජාස් අහමඩ් පන්දු 64කින් ලකුණු 89ක් රැස් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසරණ වූ අතර, පසුව වකාර් යුනිස්ගේ අකුණු සැර මෙන් වේගවත් පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවෝ අපහසුතාවට පත් වූහ.

ලකුණු 312ක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 221කට දැවී ගිය අතර, 18 හැවිරිදි වකාර් යුනිස් ක්‍රීඩකයින් හය දෙනෙකු ලකුණු 26කට ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ අතර, ඒ අතර, මුහුණ දුන් පළමු පන්දුවෙන් ම අරවින්ද ද සිල්වා දැවී යාම කැපී පෙනුණු සිදුවීමක් විය.

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීම සනිටුහන් කළේ, ක්‍රීඩකයින් සිව් දෙනෙකුගේ කඩුලු බිඳ හෙළමින් සහ කඩුල්ල මුවා කිරීම් වලින් ක්‍රීඩකයින් දෙදෙනෙකු දවා ගනිමිනි.

මංගල එක්දින ජාත්‍යන්තර තරගයේදී ම වාර්තා අතරට එක්වූ සලීම් එලාහි

වයස අවුරුදු 18 පසුවෙද්දී පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා නොකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු රැස් කිරීම ඕනෑ ම තරුණයෙකුට දුෂ්කර කාර්යයකි. පකිස්ථානයේ සලීම් එලාහි ඔහුගේ ජාත්‍යන්තර මංගල එක්දින තරගයේදී මෙය වැරදි බව ඔප්පු කළේ ය.

1995 සැප්තැම්බර් මාසයේදී ගුජ්රන්වාලාහිදී ඔහු සිය එක්දින ජාත්‍යන්තර මංගල තරගයට පිවිසියා පමණක් නොව, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවීන්ද්‍ර පුෂ්පකුමාර, කුමාර් ධර්මසේන සහ සනත් ජයසූරිය යන පන්දු යවන්නන්ගෙන් සමන්විත පන්දු ප්‍රහාරයකට එරෙහිව නොදැවී ලකුණු 102ක් ද රැස් කළේ ය.

ඔහුගේ ඉනිමට හතරේ පහර හතක් සහ හයේ පහරක් ඇතුළත් විය. පළමු කඩුල්ලේ සම්බන්ධතාවයේදී, ඔහු අමීර් සොහයිල් සමග ලකුණු 156ක සබඳතාවක් ගොඩනගා, ලකුණු 234ක හඹා යාමක් සඳහා ප්‍රබල අඩිතාලමක් දැමීය.

පකිස්ථානය තරගය කඩුලු නවයකින් ජයග්‍රහණය කළ නමුත්, මාස හයකට පසු සියලු දෙනා පුදුමයට පත් කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා ගත්තේ ය.

සනත් ජයසූරියගේ වේගවත් ම අර්ධ ශතකයෙන් පසු පකිස්ථානයේ නැවත නැගිටීම

1996 ක්‍රිකට් ලෝක කුසලානය පකිස්ථානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව සත්කාරකත්වය දැරූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම එය ජයග්‍රහණය කර ලෝක ශූරයින් බවට පත්විය.

එම දැවැන්ත ඉසව්වෙන් පසු, සිංගප්පූරුවේ පැවති සිංගර් කුසලානයේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් ද කැපී පෙනුණු අතර ඊට සනත් ජයසූරියගේ දක්ෂතාව බලපෑවේ ය.

1996 අප්‍රේල් මාසයේ පැවති අවසන් තරගයේදී පකිස්ථානය රැස් කළ ලකුණු 216 හඹා ගිය අර්ජුන රණතුංග ඇතුළු කණ්ඩායමේ ආරම්භය ලෝක කුසලාන තරගාවලියේදී මෙන් අතිශය වේගවත් විය.

සනත් ජයසූරිය පකිස්ථාන පන්දු යවන්නන් තඹයකට මායිම් නොකරමින් පිටිය පුරා පහරවල් එල්ල කළ අතර පන්දු 28කින් ලකුණු 76ක් රැස් කළේ ය.

එම ඉනිමේදී ම, ඔහු පන්දු 17කින් අර්ධ ශතකයක් ලබා ගනිමින් ලෝක වාර්තාවක් තැබුවා පමණක් නොව, ප්‍රතිවාදී කණ්ඩායමේ චිත්ත ධෛර්යය ද පහත හෙළීය.

ඔහුගේ ඉනිමට හයේ පහර පහක් මෙන් ම හතරේ පහර අටක් ද ඇතුළත් විය. ඔහු ලකුණු පුවරුවේ කොතරම් ආධිපත්‍යය පැතිරුවා ද යත්, ඔහුගේ අනෙක් ආරම්භක පිතිකරු රොමේෂ් කළුවිතාරණ ලකුණක් ලබා නොගෙන දැවී යන විට කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 70ක් විය.

මෙම වාර්තාව තිබියදීත්, ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් තරගය ජයග්‍රහණය කිරීමට නොහැකි වූ අතර 33 වන ඕවරයේදී මුළු කණ්ඩායම ම ලකුණු 172කට දැවී ගියේ ය.

පිට දඟ පන්දු යවන සක්ලේන් මුෂ්තාක් සහ වේග පන්දු යවන අතා-උර්-රෙහෙමාන් කඩුලු 3 බැගින් දවා ගනිමින් ජයග්‍රහණය උදුරා ගත්හ.

6 පහර සිව් දෙසට එල්ල කළ 16 හැවිරිදි ෂහීඩ් අෆ්රිඩි

ස්ථානය කෙන්යාවේ නයිරෝබි ක්‍රීඩාංගණය වූ අතර පකිස්ථානය ලෝක ශූර ශ්‍රී ලංකාවට මුහුණ දුන්නේ ය.

1996 ඔක්තෝබර් මාසයේදී රටවල් 4ක් අතර පැවති මෙම තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට නම්, පකිස්ථානයට හොඳ ලකුණු සාමාන්‍යයක් සහිතව තරගය ජයග්‍රහණය කිරීමට සිදුවූ අතර, ශ්‍රී ලංකාවට ඔවුන්ගේ ලකුණු සාමාන්‍යය වැඩි කිරීමට සිදු විය. නායක සයීඩ් අන්වර් සහ වකාර් යුනිස් තීරණය කළේ, පුහුණුවීම්වලදී හයේ පහර එල්ල කරන දඟ පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කළ ෂහීඩ් අෆ්රිඩිට උසස්වීමක් දී පිතිකරු අනුපිළිවෙළෙහි ඉහළට දැමීමට ය. එම තීරණය ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළේ ය.

ෂහීඩ් අෆ්රිඩි වයස අවුරුදු දහසයේදී තුන් වන පිතිකරුවා ලෙස පන්දුවට පහර දීමට පැමිණි විට, පකිස්ථානයේ ලකුණු සංඛ්‍යාව එක් කඩුල්ලකට ලකුණු 60ක් විය. නමුත් ඔහු තුන් වන පිතිකරුවා ලෙස එවූ නායකයා පවා ඊළඟට රැස් කරන ලකුණු 126න් 102ක් අෆ්රිඩි ලබා ගනු ඇතැයි සිතන්නට නැත. ඔහු පන්දු 40කදී එම දක්ෂතාව දැක්වීමට සමත් විය.

ෂහීඩ් අෆ්රිඩි පන්දු 37කින් ඔහුගේ පළමු ජාත්‍යන්තර ශතකය ලබා ගැනීමෙන් සනත් ජයසූරිය ඉදිරියේ තිබූ වේගවත් ම ශතක වාර්තාව අහිමි කළා පමණක් නොව, එම ශතකයේ වැඩි ම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ, සනත් ජයසූරියගේ පන්දු හමුවේ ය.

ඊළඟ දශක කිහිපය තුළ, මෙම තරගය ෂහීඩ් අෆ්රිඩිගේ ශතකය හේතුවෙන් අමතක නොවන තරගයක් බවට පත්විය. සයීඩ් අන්වර් ද එහිදී ලකුණු 115ක ඉනිමක් ක්‍රීඩා කළේ ය.

ෂහීඩ් අෆ්රිඩිගේ දැවැන්ත හයේ පහර 11ක් සහ හතරේ පහර 6ක් ආධාරයෙන්, පකිස්ථානයේ ලකුණු රැස් කිරීමේ වේගය වැඩි වූවා පමණක් නොව, කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 371ක් ලෙස සටහන් විය.

ඊට පිළිතුරු වශයෙන්, අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව ලකුණු 290ක් ලබා ගත යුතු වූ නමුත්, වකාර් යුනිස් ලකුණු 52කට කඩුලු 5ක් දවා ගැනීම නිසා, ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 289ක් පමණි.

ජයසූරිය සහ අරවින්ද අතර ද්විත්ව ශතක සබඳතාවක්

1997 දී, පකිස්ථානයේ අඩ සියවස් සැමරුමේ කොටසක් ලෙස රටවල් හතරක තරගවලියක් පැවැත්වූ අතර, එයට දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම් සත්කාරක පකිස්ථානය සමග සහභාගී විය.

තරගාවලියේ සියලු ම තරග ලාහෝර්හිදී පැවති අතර, එය ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව පරාජය කර වසරකට පෙර ලෝක කුසලානය දිනා ගත් ක්‍රීඩාංගණය යි.

ඔවුන් පාකිස්තානයට මුහුණ දුන්නේ, එම ක්‍රීඩාංගණයේදී ම වන අතර, අවසන් තරග දිනයේදී තරගාවලිය අවසන් වූ ස්ථානයේ සිට ම නැවත ආරම්භ විය.

ඉජාස් අහමඩ්ගේ ලකුණු 94ක ඉනිම හේතුවෙන් පකිස්ථානය රැස් කළ ලකුණු 280, ලෝක කුසලාන වීරයන් වූ සනත් ජයසූරිය සහ අරවින්ද ද සිල්වා විසින් ඕවර 40කින් හඹා යන ලදී.

තුන්වන කඩුල්ලේ සම්බන්ධතාවයේදී ඔවුන් ක්‍රීඩා කළ ලකුණු 213ක ඉනිම පකිස්ථානයට අවසන් තරගයට පැමිණීමේ අවස්ථාව අහිමි කළේ ය.

අරවින්ද පන්දු 90 කදී හතරේ පහර දොළහක් සමඟින් ලකුණු 102ක් නොදැවී ලබා ගත් අතර, ජයසූරිය පන්දු 114 කදී නොදැවී ලබා ගත් ලකුණු 134ට හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.

පකිස්ථාන ක්‍රීඩකයින් ඔවුන්ගේ මව්බිමේදී ම පරාජය කළ තිලකරත්න ඩිල්ෂාන්ගේ ශතකය

1995 සිට ශ්‍රී ලංකා කණ්ඩායම කිහිප වතාවක් ම පකිස්ථානයේ සංචාරය කර ඇතත්, ද්විපාර්ශ්වික එක්දින තරගාවලියක සාර්ථකත්වය සඳහා බලා සිටීමට සිදු විය.

වසර 14කට පසු එම බලා සිටීම අවසන් වූයේ, තිලකරත්න ඩිල්ෂාන් තරගාවලියේ අවසන් තරගයේදී ශතකයක් ලබා තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමත් සමග ය.

2009 ජනවාරි මාසයේදී ලාහෝර්හි පැවති මෙම තරගයේදී, පන්දු 139කදී ලකුණු 137ක් ලබා ගනිමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව කඩුලු 5 කට 309 දක්වා ගෙන ඒමට ඩිල්ෂාන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේ ය. ඔහුගේ ඉනිමට හතරේ පහර දහයක් ඇතුළත් විය.

ප්‍රතිචාර වශයෙන්, පකිස්ථාන කණ්ඩායම 23 වන ඕවරයේදී ලකුණු 75කට දැවී ගිය අතර, නායක ෂොයිබ් මලික් සහ උමාර් ගුල් හැර වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 පසු කිරීමට නොහැකි විය.

තිලාන් තුෂාර සහ නුවන් කුලසේකර කඩුලු 3 බැගින් දවා ගනිමින් කණ්ඩායමට අමතක නොවන ජයග්‍රහණයක් අත්කර දුන්හ.

තිසර පෙරේරාගේ කඩුලු ත්‍රිත්වය

පසුගිය දශකය ගැන කතා කරන විට, ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව අවස්ථා රැසකදී විස්මිත දස්කම් දක්වා ඇත.

2012 ජූනි මාසයේදී කොළඹදී එවැනි තරගයක් පැවැත්විණි, එහිදී තිසර පෙරේරාගේ පන්දු යැවීම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ ය.

මෙම තරගයේදී, පකිස්ථානයට ජයග්‍රහණය සඳහා ලකුණු 244ක ඉලක්කයක් ලැබුණු අතර, පකිස්ථාන නායක මිස්බා-උල්-හක් සහ අස්හර් අලි තුන්වන කඩුල්ලට ලකුණු 113ක් එක් කළහ. කෙසේ වෙතත් යුනිස් ඛාන්, ෂහීඩ් අෆ්රිඩි සහ සෆ්රාස් අහමඩ් පන්දු තුනකදී දැවී යාම හේතුවෙන්, මුළු කණ්ඩායමට ම ලබා ගත හැකි වූයේ ලකුණු 199ක් පමණි.

එම දක්ෂ පිතිකරුවන් තිදෙනාගේ කඩුලු ත්‍රිත්වය ලබා ගත්තේ, තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ය. ඔහු ඉනිමේ 41 වන පන්දු වාරයේ දෙවන, තුන්වන සහ සිව්වන පන්දුවලදී කඩුලු ලබා ගනිමින් කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළේ ය.

සමස්තයක් වශයෙන්, ඔහු තරගයේදී ක්‍රීඩකයින් හතර දෙනෙකු දවා ගැනීමට සමත් වූ අතර, එය ශ්‍රී ලංකාවට තරගාවලිය තුනට එකක් ලෙස ජයග්‍රහණය කිරීමට උපකාරී විය.