හිටපු ජනපති රනිල්ට බන්ධනාගාර රෝහලේදී ප්‍රතිකාර: රෝහල්ගත කළ පසු සිදුවූයේ කුමක් ද?

    • Author, බීබීසී සිංහල

රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට මේ වන විට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස් සහ එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ බීබීසී සිංහල විසින් සිදු කරනු ලැබූ විමසීමකදී තහවුරු කළේ ය.

සාමාන්‍ය සැකකරුවෙකු ගෙන ඒමේදී සිදු කරනු ලබන ක්‍රියාවලියේදී මෙන් ම මෙහිදී ද ලියාපදිංචි කටයුතු සිදු කර පසුව වෛද්‍යවරයෙකු වෙත යොමු කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

"උසාවියෙන් කෙලින් ම හිටපු ජනාධිපතිතුමාව ගේන්නේ මැගසින් බන්ධනාගාරයට. එයාව අයිති බන්ධනාගාරය ඒක. මැගසින් බන්ධනාගාරයේදී අපි එයාව රෙජිස්ටර් කරලා ඔක්කොම කරලා අවසන් වුණාට පස්සේ ඕන ම සැකකරුවෙක් අපි ඩොක්ටර් කෙනෙක් ගාවට දානවා. ඒ වගේ ම එයාගේ රිමාන්ඩ් වොරන්ට් එකේ ගහලා තිබුණා මෙයාට ආරක්ෂාව සහ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න කියලා මහේස්ත්‍රාත්තුමිය විසින්."

එහිදී වෛද්‍යවරිය විසින් පරීක්ෂා කිරීමේදී හිටපු ජනාධිපතිවරයාගේ රුධිර පීඩනය සහ රුධිරයේ සීනි මට්ටම ඉහළ ගොස් තිබීම හේතුවෙන් ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරිය තීරණය කර ඇති බව මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ පවසයි.

"ඒ විදිහට අපි ඩොක්ටර් කෙනෙක් ගාවට දැම්මට පස්සේ ඒ ඩොක්ටර් තීරණය කරලා තියෙනවා, මෙයාගේ බ්ලඩ් ප්‍රෙෂර් එකයි ෂුගර්වලයි ලොකු ඉහළ යාමක් තිබිලා තියෙනවා කියලා. එහෙම තමයි දැන ගන්න ලැබුණේ. එයාගේ රෝග ඉතිහාසයේ ගොඩක් ලෙඩ තියෙනවා. ඒ නිසා වෛද්‍යතුමිය තීරණය කරලා තියෙනවා මෙයාව බන්ධනාගාර රෝහලට දාලා ප්‍රතිකාර කරන්න ඕනේ කියලා. ඒ නිසා දැනට බන්ධනාගාර රෝහලට දාලා තමයි ප්‍රතිකාර කරන්නේ."

මේ වන විට හිටපු ජනාධිපතිවරයාට විශේෂ ආරක්ෂාවක් ද බන්ධනාගාරය තුළ ලබා දී ඇතැයි ඔහු පැවසුවේ ය.

"බන්ධනාගාර රෝහලේ වෙන ම කොටසක අපි එයාව දාලා විශේෂ ආරක්ෂාවක් යොදවලා තියෙනවා. අපි දන්නේ නෑනේ එයාට මොන වගේ තර්ජනයක් තියෙනවා ද කියලා. තදබදයකුත් තියෙන නිසා පරිස්සම් කර ගන්න ඕනේ කොහොම වුණත්," මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ඊයේ [අගෝස්තු 22] දිනයේදී ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් සහ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙම නියෝගය නිකුත් කළා ය.

2023 වසරේ සැප්තැම්බර් මස 22 සහ 23 යන දිනවල බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් ඒ සඳහා රුපියල් ලක්ෂ 166ක රජයේ මුදල් වැය කර රජයේ අරමුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

වීඩියෝව නරඹන්න

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේ අගෝස්තු 22 වන දා පස්වරුවේදී ය.

ඒ, ඔහු ජනාධිපති ධූරය දැරූ සමයේ සිදුකළ විදෙස් සංචාර සම්බන්ධයෙන් සිදු කරමින් ඇති විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පෙරවරුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී ය.

ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ ඉන් අනතුරුව ය.

මිනිත්තු 30කට කල් ගිය ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය

නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තැබිණි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් අධිකරණය හමුවේ සඳහන් කළේ, සැකකරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බව ය.

විමර්ශන කටයුතු අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේ ය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූෂ ප්‍රේමරත්න ධිකරණයේ කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේ ය.

ඉන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබන බව මහේස්ත්‍රාත්වරිය නිවේදනය කළා ය.

හිටපු ජනපති රනිල්ගේ සංචාර 23කට මිලියන 600කට වැඩි වියදමක්

2022 වසරේ ජූලි 20 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා වසර දෙකකට ආසන්න කාලය තුළ බලයේ සිටි ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ විදෙස් සංචාර 23කට සහභාගී වී ඇති අතර, එක් එක් විදේශ සංචාර පිළිබඳව තොරතුරු පරීක්ෂා කිරීම මෙතෙක් අවසන් වී නොමැති බවට මීට පෙර තොරතුරු දැනගැනීමේ පනත යටතේ බීබීසී සිංහල කළ තොරතුරු විමසීමකදී ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ ය.

එක් එක් වර්ෂයේ ඔහුගේ විදේශ සංචාර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ වැය වී ඇති වියදම් පහත පරිදි ය.

රනිල් වික්‍රමසිංහ යනු කවු ද?

ශ්‍රී ලංකා සිවිල් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුව සිට පසුව ඩීආර් විජේවර්ධන සමයෙහි 'ලේක්හවුස්' මාධ්‍ය ලෝකය පාලනය කළ එස්මන්ඩ් වික්‍රමසිංහ රනිල්ගේ පියා වන අතර මව, නාලිනී, ඩීආර් විජේවර්ධනගේ දියණියයි.

තරුණ වියේ දී 'සම සමාජ වාදියකුව' සිටි එස්මන්ඩ් පසු කාලයෙහි 'ලේක්හවුස්' පාලනය පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු හදන අදිසි හස්තය වූ බව ප්‍රකට රහසක් විය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පමණක් නොව රටේ පාලකයන් තීන්දු කිරීමෙහිලා සිය පියා විසින් ගෙනයන ලද "එස්මන්ඩ් මෙහෙයුම්" රනිල් ඇතුළු ඔහුගේ දරුවන්ට රහසක් නොවන්නට ඇත.

රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබ කොළඹ සරසවියේ නීති පීඨයට සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හැදෑරූ රනිල් වික්‍රමසිංහ පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 1977 මැතිවරණ සමඟ බියගම ආසනයේ තරුණ මන්ත්‍රීවරයා වශයෙනි.

1977 එක්සත් ජාතික පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස වයස අවුරුදු 28 දී ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ජේ.ආර්. ජයවර්ධන රජය යටතේ සහ ප්‍රේමදාස රජය යටතේ ඔහු අමාත්‍ය ධූර කිහිපයක් දැරූ අතර, ඔහු අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කළ කාලයේ ගෙන ආ "අධ්‍යාපන ධවල පත්‍රිකාව" රට තුළ දැඩි විවාදයකට ලක් විය.

රනිල් වික්‍රමසිංහ 6 වරක් දෙවන පුරවැසියා, එසේත් නොමැති නම්, අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් අතර 6 වරක් විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කළේ ය.

ඔහු පළමු වරට අගමැති ධූරයට පත්වූයේ, 1993 වසරේදී ය. ඉන්පසු ඔහු 2001දී, 2015දී දෙවතාවක්, 2018 සිදුවූ බල පෙරළියෙන් පසු නැවත වතාවක් සහ, 2022 අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

එපමණක් නොව, ඔහු 1994 සිට 2001 දක්වාත්, 2004 සිට 2015 දක්වාත් සය වතාවක් විපක්ෂ නායක ධූරයේ ද කටයුතු කර තිබේ.

පසුව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් වීමෙන් පසු පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයෙන් ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්විය.