'මම සම්පූර්ණ වාර්තාව ම ප්‍රතික්ෂේප කරනවා': බටලන්ද ගැන හිටපු ජනාධිපති රනිල් කළ ප්‍රකාශයේ විශේෂ කරුණු 4ක්

    • Author, බීබීසී සිංහල

පසුගිය මාර්තු 14 වන දින සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කළ බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මාර්තු 16 වන දින විශේෂ ප්‍රකාශයක් නිකුත් කරන ලදී.

තමා මෙම වාර්තාව සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බව ඔහු එහි දී ප්‍රකාශ කළේ ය.

1. 'නිවාස ලබා දුන්නේ නි. ආරක්ෂක ඇමතිගේ ඉල්ලීමට'

කොමිසමේ වාර්තාවේ සඳහන් අන්දමට එවකට කර්මාන්ත අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ එවකට රාජ්‍ය පොහොර නිෂ්පාදන සමාගමේ ඈවරකරු වූ අසෝක සේනානායක දුරකතනයෙන් අමතා පොලිස් නිලධාරීන්ට බටලන්ද නිවාස සංකීර්ණයෙන් නිවාස කිහිපයක් වෙන් කර දෙන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

පොලිස් නිලධාරීන්ට බටලන්ද නිවාස සංකීර්ණයේ නිවාස ලබාදීම හුදෙක් ම රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත සිදුවූවක් බව ද, ඔහු එසේ උපදෙස් නොදුන්නේ නම් තමා එසේ පොලිස් නිලධාරීන්ට නිවාස ලබා දීමක් සිදු නොකරන බව රජයේ පොහොර නිෂ්පාදන සංස්ථාවේ ඈවරකරු වන අසෝක සේනානායක කොමිසම හමුවේ සාක්ෂි ලබා දී තිබේ.

මෙම නිවාස ලබා දීම සිදු කෙරුණේ හිටපු ආරක්ෂක නියෝජ්‍ය ඇමති රන්ජන් විජේරත්නගේ ඉල්ලීමක් අනුව බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ය.

"ආරක්ෂක නියෝජ්‍ය ඇමති රන්ජන් විජේරත්න මට කතා කර යුද්ධ හමුදා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා නිවාස සංකීර්ණයේ හිස් ව පැවති නිවාස ඔවුන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව එවකට ඈවරකරු මගින් අදාළ නිවාස කැළණි පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ මහතා වෙත පැවරීමට පියවර ගත්තා," ඔහු පැවසීය.

කෙසේ නමුත් පොහොර සංස්ථාව හරහා මෙම නිවාස භාරගෙන ඇති නිලධාරියා වශයෙන් කොමිසම විසින් හඳුනාගෙන ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු වූ ඩග්ලස් පීරිස් ය.

2. 'පොලිස් නිලධාරීන්ට නිවාස ලබාදීම හැර වෙනත් චෝදනා නෑ'

නිවාස ලබා දීම හැර වෙනත් චෝදනාවක් වාර්තාවේ ඔහු සම්බන්ධයෙන් නැතැයි රනිල් වික්‍රමසිංහ පැවසුවේ ය. ඔහු අනියමින් වගකිවයුතු බවට සඳහන් වන්නේ ඒ සම්බන්ධයෙන් බව ඔහු පැවසීය.

"වාර්තාවේ තීරණවල මා සම්බන්ධයෙන් සඳහන් කර තිබෙන්නේ ඇමති හැටියට පොලිස් අධිකාරීවරයා මගින් පොලිස් නිලධාරීන්ට නිවාස දීම නිවැරදි නොවන බවයි. එහි නියම ක්‍රමවේදය විය යුත්තේ පොලිස්පතිවරයාට නිවාස භාර දී ඒ හරහා අදාළ නිලධාරීන්ට පැවරීමයි. මේ ක්‍රියාකාරකම නිසා මමත් නලින් දෙල්ගොඩ මහතාත් වක්‍රාකාරයෙන් වගකිවයුතු බව කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනවා," යනුවෙන් රනිල් වික්‍රමසිංහ සිය විශේෂ ප්‍රකාශයේ සඳහන් කළේ ය.

"කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් වෙන වෙනත් කිසිඳු කරුණක් මට අදාළ වන්නේ නෑ."

කෙසේ නමුත් නිවාස ලබා දීම මෙන් ම කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වාර්තාවේ ඔහුගේ නම සඳහන් ව තිබේ.

පුද්ගලයන් වධ හිංසාවට යොදාගත් නිවසක් ලෙස හඳුනාගෙන ඇති නිවාස යෝජනා ක්‍රමයේ B 2 නිවස රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයක් ලෙස භාවිත කර තිබේ. මෙම නිවාස යෝජනා ක්‍රමයේ වධ හිංසන සිදුවීම සම්බන්ධයෙන් "නොවැළැක්විය හැකි ලෙස ම බැසිය යුතුව තිබෙන නිගමනය නම් වික්‍රමසිංහ මහතා (අඩුම වශයෙන් කිවතොත්) B 2 නිවාසය ඉහත සඳහන් නීති විරෝධී ක්‍රියා සඳහා පාවිච්චි කරනු ලැබූ," දැන සිටි බවට කොමිසම් වාර්තාවේ සඳහන් ය.

මෙම බටලන්ද නිවාස යෝජනා ක්‍රමය තුළ යම් යම් රැස්වීම් පවත්වා ඇති බවත්, එහි මුලසුන දරා ඇත්තේ එවකට ආරක්ෂක ඇමතිවරයා හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා නොවූ, කර්මාන්ත ඇමතිවරයා වූ රනිල් වික්‍රමසිංහ විසින් බව කැලණිය පොලිස් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ ම නිලධාරියා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලීන් දෙල්ගොඩ කොමිසමේ රජයේ නිතිඥවරයාගේ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබේ.

තවද නීතිඥ විජේදාස ලියනාරච්චිගේ මරණය සම්බන්ධයෙන් ද රනිල් වික්‍රමසිංහගේ නම මෙම වාර්තාවේ සඳහන් ව තිබේ.

කොමිසමේ ඉංග්‍රීසි වාර්තාවේ පිටු අංක 72හි සඳහන් ආකාරයට, හිටපු පොලිස්පති අර්නස්ට් පෙරේරාගේ සාක්ෂියට අනුව, 1988 අගෝස්තු 31 දින දහවල් 12ට පමණ රනිල් වික්‍රමසිංහ ඔහුව දුරකතනයෙන් අමතා සැකකරු [නීතිඥ විජයදාස ලියනආරච්චි] කොළඹට ගෙනැවිත් "කැළණි කොට්ඨාසය තුළ ක්‍රියාත්මක වන විශේෂ කණ්ඩායමට" භාරදීමට පොලිස්පතිවරයා විසින් කටයුතු කරනු ඇතැයි "තමා අපේක්ෂා කරන" බව දන්වා තිබේ.

රනිල් වික්‍රමසිංහ පොලිසියේ රාජකාරීවලට සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාමාර්ගවලට මැදිහත් වී ඇති බවත්, රනිල් වික්‍රමසිංහ විසින් සිදුකළ ඉල්ලීම් අනුව ලබා දුන් නිවාසවල නීතිවිරෝධී රැඳවුම් මධ්‍යස්ථාන පිහිටුවීමට පහසුකම් සැලසී ඇති නිසා මෙම ස්ථානයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන සහ වධකාගාර පැවැත්වීම සම්බන්ධයෙන් රනිල් ව්ක්‍රමසිංහ අනියමින් වගකිව යුතු බව වාර්තාවේ පෙන්වා දී තිබේ.

3. 'බටලන්ද කොමිසම දේශපාලන මඩගැසීමක්'

රනිල් වික්‍රමසිංහ සිය විශේෂ ප්‍රකාශයේදී පැවසුවේ බටලන්ද කොමිසම පත් කිරීම 'දේශපාලන මඩගැසීමක් බව' ය.

තමා එම කොමිසමට කැඳවූයේ සාක්ෂිකරුවෙකු ලෙස පමණක් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

"1994න් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බටලන්ද ප්‍රදේශයේ වධකාගාරයක් තිබුණේදැයි සෙවීමට කොමිසමක් දැම්මා. ඊට නොයෙකුත් පුද්ගලයින් කැඳෙව්වා. මම එහි කැඳෙව්වේ සාක්ෂිකරුවෙක් ලෙස පමණයි."

"බටලන්ද කොමිසම පත්කළේ සම්පූර්ණ දේශපාලන මඩගැසීමක් අරමුණු කරගෙන. නමුත් ඒක සාර්ථක වුණේ නෑ."

4. 'ඒ වාර්තාව මම සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරනවා'

මෙම වාර්තාව තමා සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බවට ත් එය සැඟවී තිබූ වාර්තාවක් නොවන බවට ත් රනිල් වික්‍රමසිංහ පැවසුවේ ය.

"ඒ වාර්තාව මම සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරනවා. බටලන්ද වාර්තාව හංගාගෙන සිටියා කියා කිසිවෙකුටත් චෝදනා කළ නොහැකියි.

වර්ෂ 2000දී පාර්ලිමේන්තු සැසි වාර්තාවක් එයට තිබුණා."

කෙසේ නමුත් මෙතෙක් කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට යෝජනා නොකළ බව ඔහු පවසයි.

"නමුත් කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට ඉල්ලීමක් කළේ නෑ. අඩු තරමින් ජනතා විමුක්ති පෙරමුණවත් එවැනි ඉල්ලීමක් කළේ නෑ."

"මෙතෙක් බලයට පත්වූ කිසිඳු දේශපාලන පක්ෂයක් මේ වාර්තාව හරහා පටු දේශපාලන වාසි ගැනීමට කටයුතු නොකළ බව ද කිව යුතුයි. ඒ වගේ ම පාර්ලිමේන්තු සැසි වාර්තාවක් අවුරුදු 25කින් පසුව පාර්ලිමේන්තුවේ විවාද කිරීමේ කිසිම සම්ප්‍රදායක් මේ රටේ වත් අනෙක් පාර්ලිමේන්තුවල වත් නෑ."

පසුගිය මාර්තු 14 සභාගත කෙරුණු මෙම වාර්තාව සම්බන්ධයෙන් දෙදින විවාදයක් පැවැත්වීමට සභානායක බිමල් රත්නායක යෝජනා කළේ ය.

ඒ අනුව මෙම වාර්තාව සමබන්ධ දෙදින විවාදය අප්‍රේල් 10 සහ 11 දින පැවැත්වීමට නියමිත ය.