වේගයෙන් ඉහළ ගිය ගෝලීය බොරතෙල් මිල හදිසියේම පහත වැටුණේ ඇයි?

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ආසියාවේ අඟහරුවාදා උදෑසන ගෝලීය වෙළඳ කටයුතු ආරම්භයේදී බොරතෙල් මිල පහත වැටුණි.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 8.5% කින් පමණ පහළ ගොස් ඩොලර් 92.50 (£68.85) ක් ලෙස සටහන් විය. එක්සත් ජනපදය වෙළඳාම් කරන තෙල් බැරලයක මිල ද 9% කින් පමණ පහළ ගොස් ඩොලර් 88.60 ක් විය.

සඳුදා එක් අවස්ථාවකදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 115 දක්වා ඉහළ ගොස් තිබිණි.

ගැටුම ආරම්භයේදී තිබූ මිල ගණන් සමග සැසඳීමේදී බොරතෙල් බැරලයක මිල තවමත් 30% කින් පමණ ඉහළ ය.

2026 පෙබරවාරි 28 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩි කිරීමෙන් දින 10කට පසු ශ්‍රී ලංකාවද (මාර්තු 9 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට යළි තෙල්මිල ඉහළ දැමීමට පියවර ගත්තේය.

මේ යටතේ පෙට්‍ර්ල්, ඩීසල්, භූමිතෙල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල ඉහළ දමා තිබේ.

තෙල් මිල ආසියානු රටවල බලපා ඇති අයුරු

ඉරාන ගැටුම හේතුවෙන් ඇති වූ ඉහළ යන තෙල් මිල ගණන්වල බලපෑම සමනය කිරීම සඳහා ආසියාවේ ඇතැම් රටවල් පියවර රැසක් ප්‍රකාශයට පත් කර තිබේ.

දකුණු කොරියාවේ සහ තායිලන්තයේ බලධාරීන් පැවසුවේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම සඳහා සීමාවන් පනවන බවයි.

දකුණු කොරියානු නායකයින් ද තෙල් සමාගම්වලට අනතුරු අඟවා ඇත්තේ අර්බුදයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන ඕනෑම සමාගමකට එරෙහිව කටයුතු කරන බවයි.

අනෙකුත් රටවල් බලශක්තිය ඉතිරි කර ගැනීම සඳහා ගොඩනැගිලි වසා දමා ඇති අතර බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල සඳුදා සිට වසා දමා ඇත.

පිලිපීනයේ, රජයේ ආයතන ගිනි නිවන ස්ථාන සහ රෝහල් වැනි තීරණාත්මක සේවාවන් නිදහස් කරමින් දින හතරක වැඩ සති ප්‍රතිපත්තියක් ආරම්භ කර ඇත. වායු සමීකරණ යන්ත්‍ර සඳහා 24C (75F) ප්‍රමිතියක් ද නියම කර ඇත.

අද උදෑසන ආසියාවේ තෙල් මිල 10% කින් පමණ පහත වැටී ඇත. නමුත් ඒවා තවමත් යුද්ධය ආරම්භ වීමට පෙර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි ය.

යුද්ධය 'ඉතා ඉක්මනින්' අවසන් වන බවට ට්‍රම්ප්ගෙන් සංඥාවක්

යුද්ධය "ඉතා ඉක්මනින්" අවසන් වන බවට සඳුදා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් පසුව මෙම මිල පහත වැටීම සිදුව තිබේ.

ඉරානය ගෝලීය තෙල් ප්‍රවාහන මාර්ගයට බාධා කළහොත් 'මරණය, ගින්න සහ කෝපය' ඇති කරනු ඇති බවට ට්‍රම්ප් අනතුරු අඟවා සිටියේය.

හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනයට බාධා කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් මෙම අනතුරු ඇඟවීම කළේය.

"ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධිය තුළ තෙල් ප්‍රවාහනය නතර කිරීමට යමක් කළහොත්, මෙතෙක් එල්ල කළ ප්‍රහාරයට වඩා විසි ගුණයකින් දරුණු ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය පහර දෙනවා," නිවේදනයක් නිකුත් කරමින් ට්‍රම්ප් කියා සිටියේය.

ලෝකයේ තෙල්වලින් 20% ක් පමණ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කරන අතර යුද්ධය හේතුවෙන් මුහුදු ගමනාගමනය දැඩි ලෙස අඩු වී ඇති අතර ගෝලීය තෙල් මිල ඉහළ ගොස් තිබේ.

"ඊට අමතරව, අපි පහසුවෙන් විනාශ කළ හැකි ඉලක්ක විනාශ කරනවා, එමඟින් ඉරානය නැවත කිසිදා ජාතියක් ලෙස ගොඩනැගීමට නොහැකි වනු ඇත; ඔවුන් මරණය, ගින්න සහ කෝපය මත දැවෙනු ඇත - නමුත් එය සිදු නොවේවායි මම බලාපොරොත්තු වෙමි, යාච්ඤා කරමි!" ඔහු සඳහන් කළේය.

ජනාධිපති ඩොනල්ඩ් ෆ්ලෝරීඩාවේදී අදහස් දක්වමින් කියා සිටියේ, යුද්ධය "ඉතා ඉක්මනින් අවසන් වනු ඇත" යනුවෙනි.

"සතියක් ඇතුළත ඔවුන් අපට 100% පහර දෙන්නයි හිටියේ. ඔවුන් සූදානම් වෙලා හිටියේ. කිසිවෙකු සිතුවාට වඩා මේ සියලු මිසයිල ඔවුන් සතුව තිබුණා, ඔවුන් අපට පහර දෙන්නයි හිටියේ, ඔවුන් මුළු මැද පෙරදිගටම සහ ඊශ්‍රායලයටම පහර දෙන්නයි හිටියේ."

"ඔවුන් ළඟ න්‍යෂ්ටික අවියක් තිබුණා නම්, ඔවුන් එය ඊශ්‍රායලයට එරෙහිව භාවිතා කරනු ඇත. මෙය විශාල ප්‍රහාරයක් වනු ඇත. මම දන්නවා ඔවුන් සතුව ඒ සියලුම මිසයිල ස්ථාන වලින් 80% ක් පමණ විනාශ කරලා තියෙන්නේ."

හමුදාව "පුදුම සහගත" යැයිද ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

"මිසයිල බොහෝ දුරට බිම හෙළා තිබෙනවා. ඩ්‍රෝන යානා බිම හෙළා තිබෙනවා, අපි ඔවුන් ඩ්‍රෝන යානා නිපදවන ස්ථානවලට පහර දෙනවා," ට්‍රම්ප් කියා සිටියේ ය.

"දැන්, ඔවුන් ඩ්‍රෝන යානා නිෂ්පාදනය කරනවා.දක්ෂ වැඩක්. නමුත් එවා විනාශ කළ වහාම අපට වඩාත් ආරක්ෂිත ලෝකයක් ලැබෙනු ඇති අතර එය ඉතා ඉක්මනින් අවසන් වනු ඇත." ට්‍රම්ප් පවසයි.