ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරානයේ පාසලකට සහ ඒ අසල හමුදා කඳවුරකට කිහිප වතාවක් ප්‍රහාර එල්ල වී ඇති බව බව චන්ද්‍රිකා ඡායාරූපයකින් හෙළිවෙයි
- Author, මර්ලින් තෝමස්
- Author, ෂයාන් සර්දාරිසාදේ
- Author, බාබරා මෙට්ල්සර්
- Role, BBC Verify
- කියවීමේ කාලය: මිනිත්තු 7
අවවාදයයි: මෙම කතාවේ ඇතැම් පාඨකයින්ට පීඩාකාරී විය හැකි තොරතුරු අන්තර්ගත වේ.
දකුණු ටෙහෙරානයේ පාසලක් වටා බෝම්බ ප්‍රහාර සහ පිළිස්සුම් සලකුණු ඇති බවත්, ඊට එක් වරකට වඩා ප්‍රහාර එල්ල වී ඇති බවත් චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයකින් අනාවරණය වී ඇති අතර, ඉරාන බලධාරීන් පවසන පරිදි පෙබ: 28 (සෙනසුරාදා) සිදුවූ ප්‍රහාරයකින් පුද්ගලයින් 168 දෙනෙකු මිය ගොස් තිබේ.
මිනාබ්හි ෂාජාරේ ටයෙබේ ප්‍රාථමික පාසල සහ යාබද ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායට (IRGC) අයත් ගොඩනැගිල්ලකට දැඩි හානි සිදුව ඇති බව සත්‍යාපිත වීඩියෝ සහ චන්ද්‍රිකා ඡායාරූප මගින් පෙන්නුම් කෙරේ. එම ප්‍රදේශයට "එකවර ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති" බව ඉන් පෙනී යන බව යුද උපකරණ පිළිබඳ විශේෂඥ එන්.ආර්. ජෙන්සන් ජෝන්ස් පවසයි.
හානියට පත් ගොඩනැගිලි දෙකක් රූපයේ පැහැදිලිව දැකගත හැකි ය: එක් ගොඩනැගිල්ලක් IRGC කඳවුර තුළ සම්පූර්ණයෙන් ම බිමට සමතලා වී ඇති අතර අනෙක අර්ධ වශයෙන් හානි වී ඇති පාසල් ගොඩනැගිල්ල යි.
ප්‍රහාරවලින් පසු සිදුවූ සිද්ධිවල සත්‍යාපනය කරන ලද දර්ශනවල භීතියට පත්ව කෑගසන ජනතාව සහිත දර්ශන පෙන්වන අතර, සුන්බුන් අතර සිරවූවන් සොයද්දී ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ කෑගසති. ඇතැම් වීඩියෝවල, ජනතාව දරුවන්ගේ පාසල් බෑග් සහ පොත් කැමරාවට ඔසවා පෙන්වති.
දින තුනකට පසු, ගුවන් දර්ශනවල සලකුණු කරන ලද හෝ අලුතින් හාරන ලද මිනීවළවල් අවම වශයෙන් 100ක් පෙන්වන ලදී.
ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාන නිලධාරීන් ඇමෙරිකා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට දොස් පවරා ඇතත්, දෙරට කිසිදු වගකීමක් භාරගෙන නොමැත. ඊශ්‍රායලය පවසන්නේ, එම ප්‍රදේශයේ කිසිදු මෙහෙයුමක් පිළිබඳව තමන් දැනුවත් නැති බව ය. එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පැවසුවේ, වොෂින්ටනය තවමත් සිද්ධිය පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවත් එය "කිසි විටෙකත් සිවිල් වැසියන් ඉලක්ක නොකරන" බවත් ය.
ඉරානයේ ඉන්ටර්නෙට් සබඳතා බිඳවැටීමක් හේතුවෙන් සිද්ධිය පිළිබඳ තොරතුරු ස්වාධීනව සත්‍යාපනය කිරීම දුෂ්කර වී තිබේ.
සිද්ධිය ගැන අපි දන්නේ මොනවා ද?
ප්‍රහාරයේ අපේක්ෂිත ඉලක්කය කුමක් ද? යන්න පිළිබඳව අනුමාන පවතී.
ඉරාන බලධාරීන්ට අනුව, එය දේශීය වේලාවෙන් රාත්‍රී 10:45 ට පමණ (GMT 07:15) සිදු ව තිබේ.
ඉරානයේ වැඩ කරන සතියක පළමු දිනය ලෙස සැලකෙන සෙනසුරාදා උදෑසන සමාජ මාධ්‍යවල පළ කරන ලද දර්ශන BBC Verify මගින් තහවුරු කර තිබේ. එම දර්ශනවලින් පෙනී යන්නේ ප්‍රහාරය එල්ල වී සුළු වේලාවකට පසුව එය රූගත කර ඇති බව ය.
එක් වීඩියෝවක, IRGC කඳවුරට ඊසාන දෙසින් පිහිටි පාසලේ මිදුල වෙත වේගයෙන් දිව යන මිනිසෙකු රූගත කරන ආකාරය දැක්වේ. දොරටුවට ඉහළින් ඇති පුවරුවක කොටසක් පෙනෙන අතර එය පර්සියානු භාෂාවෙන් "ප්‍රාථමික පාසල" යන වචනයේ මුල් අකුරු තුනට ගැලපේ.
පාසල් මිදුලේ සිට නැගී එන කළු දුමාර හතරක් දැකිය හැකි අතර, ප්‍රධාන පාසල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ ජනේලවලින් කුඩා දුමාර දෙකක් ගලා එයි.
ළමා සිතුවම්වලින් සහ පර්සියානු හෝඩියේ අකුරුවලින් සරසා ඇති තාප්පයෙන්, පාසල් මිදුල සහ IRGC කඳවුර වෙන් කෙරේ.
IRGC පරිශ්‍රයේ දකුණු කෙළවරේ චලනය වන වාහනයකින් රූගත කරන ලද තවත් ක්ලිප් එකක පිවිසුම සලකුණු කරන ලකුණක් පෙන්වයි. "Seyed al-Shohada අධ්‍යාපනික හා සංස්කෘතික බළකාය" සහ වෛද්‍ය සායනයකට පිවිසෙන දොරටුවල දෘශ්‍ය IRGC ලාංඡන දෙකක් ඇති අතර, එය IRGC නාවික හමුදාවට අයත් බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
දර්ශනවල අවම වශයෙන් කළු දුමාරයන් තුනක්වත් දැකිය හැකි ය: දෙකක් කඳවුරේ ප්‍රවේශ දොරටුවට ආසන්නව සහ එකක් වෛද්‍ය සායනයට පිටුපසින් දිස්වේ.
සත්‍යාපනය කරන ලද වීඩියෝවල දුම් වළලු ඇති ස්ථානය චන්ද්‍රිකා ඡායාරූපවල හානිය පෙනෙන ස්ථානයට අනුරූප වේ.
පසු දින රූගත කරන ලද දර්ශනවලින් පාසල් ගොඩනැගිල්ලට සැලකිය යුතු හානියක් පෙන්නුම් කරන ලදී. හදිසි සේවා කණ්ඩායම් සුන්බුන් අතර සෝදිසි කිරීම් සිදු කරන අතර, පීඩාවට පත් පවුල් සෙමින් මිදුල වටා ගමන් කරන අතර ඇතැමෙකු විලාප නගිති.
එම ස්ථානයේ සිටි ගලවා ගැනීමේ කණ්ඩායම් සුන්බුන් යට තිබී දරුවෙකුගේ කැපුණු අතක් සොයා ගන්නා ආකාරය පාසලේ දර්ශන සහිත වීඩියෝවක දැක්වෙයි. පාසල් පොත් සහ ලේ වැගිරෙන පාසල් බෑග් ද සුන්බුන් අතර දර්ශනවල දැකිය හැකි ය.
චන්ද්‍රිකා ඡායාරූපවලින් අපට පෙනීයන්නේ කුමක් ද?
භූමියේ ඇති තවත් දර්ශන හෝ ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් ලබාගත් තොරතුරු නොමැතිව, සිදුවූයේ කුමක් ද? යන්න පිළිබඳව අපගේ අවබෝධය සඳහා චන්ද්‍රිකා ඡායාරූප ඉතා වැදගත් වේ.
සිද්ධියෙන් දින හතරකට පසු මාර්තු 4 වන දින ප්ලැනට් ලැබ්ස් විසින් ලබා ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූපවලින් හෙළි වන්නේ, සත්‍යාපනය කරන ලද වීඩියෝවල කලින් තහවුරු කළ ප්‍රමාණයට වඩා පුළුල් විනාශයක් සිදුවී ඇති බව ය.
ප්‍රදේශයේ ගොඩනැගිලි කිහිපයක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති අතර, BBC Verify විසින් ප්‍රහාරවලින් හෑරුණු වළවල් සහ කළු පැහැති පිළිස්සුම් සලකුණු සහිත අවම වශයෙන් ගොඩනැගිලි පහක් හඳුනාගෙන ඇත - එයින් පෙන්නුම් කරන්නේ පහරදීම් කිහිපයක් සිදුවී ඇති බව ය.
"(සාපේක්ෂව කිවහොත්) ඉතා සමීපව [බලපෑම් ස්ථාන] බොහෝමයක් තිබීමෙන් ඇඟවෙන්නේ එකිනෙකට සමීපව ඉලක්ක එකක් හෝ කිහිපයක් තිබූ බව යි," ඔරිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ චන්ද්‍රිකා රූප විශ්ලේෂක ජැමොන් වැන් ඩෙන් හෝක් පැවසීය.
"[එය] එම ප්‍රදේශයට හිතාමතා කළ පහර දීමක් බව පෙනේ," ඔහු පැවසීය, "නමුත් ඔවුන් පහර දීමට අදහස් කළේ කුමකට දැයි අප දන්නෙ නෑ."
මැකෙන්සි බුද්ධි සේවා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විශ්ලේෂකයෙකු වන ඕස් ස්මිත් BBC Verify වෙත පැවසුවේ, දෙමහල් පාසල් ගොඩනැගිල්ලේ බිම් මහලේ ඇති ආවාටයෙන් ඇඟවෙන්නේ, "පහළ මට්ටම්වලට විනිවිද යාමට" විශේෂිත උණ්ඩයක් භාවිත කර ඇති බව ය.
පාසල පිහිටා ඇත්තේ IRGC කඳවුරින් පිටත ද?
පාසල් ගොඩනැගිල්ල IRGC කඳවුර අසල පිහිටා ඇත.
2013 වසරේ චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනී යන්නේ, පාසල් ගොඩනැගිල්ල එක ම සංකීර්ණයක කොටසක් වූ බවත්, 2016 දී එය වෙන් කරන තාප්පයක් දක්නට ලැබෙන බවත් ය.
ප්‍රහාරයට වග කිය යුත්තේ කවුද?
ඉරානය පවසන්නේ, මෙම ප්‍රහාරය ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලැබූ බව ය. නමුත් පාසලට සිදුවූ හානිය සම්බන්ධයෙන් ඊශ්‍රායලය හෝ ඇමෙරිකා එක්සත් ජනපදය වගකීම භාරගෙන නොමැත.
එම ප්‍රදේශයේ කිසිදු ඊශ්‍රායල් ආරක්ෂක හමුදා මෙහෙයුමක් පිළිබඳව "දැන නොසිටි" බව ඊශ්‍රායලය පවසා ඇතත්, සිද්ධිය පිළිබඳව සොයා බලන බව BBC Verify වෙත පැවසීය.
බදාදා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් බීබීසී වෙත පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජනපදය තවමත් විමර්ශනය කරමින් සිටින බව ය.
"ඇත්ත වශයෙන් ම අපි කිසි විටෙකත් සිවිල් ඉලක්ක ඉලක්ක කරන්නේ නැහැ, නමුත් අපි ඒ පිළිබඳව කරන විමර්ශනය දිහා බලාගෙන ඉන්නවා," ඔහු තවදුරටත් පැවසීය.
ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුර, ඉරානය සමග එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයේ "පළමු පැය 100" පිළිබඳ නිදර්ශන සිතියමක් පෙන්වනු ලැබූ අතර, එය ඉරානයේ දකුණු වෙරළ තීරයේ ප්‍රහාර එල්ල වූ ස්ථාන සහ ඉරාන ගුවන් ආරක්ෂක ස්ථාන සලකුණු කරන අතර එයට මිනාබ් ප්‍රදේශය ද ඇතුළත් වේ.
ඉතිරිව ඇති අවි ආයුධවල තවත් දර්ශන නොමැතිව, වගකිව යුත්තේ කවුරුන් ද? යන්න පැහැදිලිව හඳුනාගත නොහැක.
සමාජ මාධ්‍යවල පළ කරන ලද පුළුල් ලෙස සංසරණය වූ ඡායාරූපයක් හේතුවෙන්, පිපිරීම IRGC විසින් දියත් කරන ලද අසාර්ථක මිසයිලයක් නිසා සිදුවී ඇති බවට ප්‍රකාශ විය. කෙසේ වෙතත්, BBC Verify විසින් එම රූපය මිනාබ් සිට කිලෝමීටර් දහසකට වඩා දුරින් පිහිටි සැන්ජන්හි සම්බන්ධයක් නොමැති සිදුවීමක් ලෙස සොයා ගන්නා ලදී.
"මෙහි දක්නට ලැබෙන සැලකිය යුතු පිපිරුම් හානිය ඉරාන මතුපිට සිට ගුවනට එල්ල කරන මිසයිලයක් නිසා සිදු වූවක් බව සිතන්න බැහැ," යනුවෙන් අවි පර්යේෂණ සේවා අධ්‍යක්ෂ ජෙන්සන් ජෝන්ස් පැවසීය.
ඝාතනය වූයේ කවුද?
ඉරාන නිලධාරීන් පැවසුවේ, මියගිය 168 දෙනාගෙන් වැඩි දෙනෙක් ළමුන් බව ය.
සිද්ධියේ ඇති දර්ශන හරහා එම තොරතුරු ස්වාධීනව සත්‍යාපනය කිරීමට BBC Verify කණ්ඩායමට නොහැකි වී තිබේ. කිසියම් IRGC සාමාජිකයෙකු මිය ගොස් තිබේ ද, නැතහොත් එහි සේවය කළේ කවුරුන් ද? යන්න පැහැදිලි නැත.
ඉරාන අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව පාසලේ මුළු සිසුන් සංඛ්‍යාව 264කි.
ඉරාන මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතින් ලියන ලද ලැයිස්තුවක සිද්ධියෙන් මියගිය බවට වාර්තා වන පුද්ගලයින් 56 දෙනෙකුගේ නම් සහ ඔවුන්ගේ උපන්දින ද දක්වා ඇත. මෙම නම්වලින් හතළිස් අටක් වයස අවුරුදු හයත් 11ත් අතර අය වෙති.
මෙම තොරතුරු ස්වාධීනව සත්‍යාපනය කිරීමට BBC Verify හට නොහැකි වී ඇත. කෙසේ වෙතත්, ලැයිස්තුවේ ඇති නම්වලින් අවම වශයෙන් තුනක් තවත් වීඩියෝවක දිස්වන අතර එහිදී මිනී පෙට්ටි එක ම නමකින් ලේබල් කර ඇත.
මළ සිරුරු බෑග් තුළ දරුවන් තිදෙනෙකු සිටින බව ඡායාරූපවලින් පෙනේ.
යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා ඉරාන සිවිල් වැසියන් 1,114 දෙනෙකු මිය ගොස් ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කර ගත් මානව හිමිකම් ප්‍රවෘත්ති ඒජන්සිය (හ්‍රානා) මේ වන විට ලේඛනගත කර ඇති අතර, ඒ අතර ළමුන් 183 දෙනෙකු ද වෙති.
දින කිහිපයකට පසු, අවමංගල්‍ය පෙරහැර සඳහා පෙළ ගැසී සිටින දහස් සංඛ්‍යාත ජනතාවගේ දර්ශන ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් විකාශනය කරන ලදී. ඉස්ලාමීය ජනරජයේ ධජය ඔතා ඇති, ළමුන්ගේ ප්‍රමාණයේ කුඩා මිනී පෙට්ටි රැගෙන යන පිරිමින් දැකි ය හැකි ය. කාන්තාවන් විශාල පිරිසක් පිරිමි ළමයින්ගේ සහ ගැහැනු ළමයින්ගේ ඡායාරූප ද අල්ලාගෙන සිටියහ.
IRGC සමග අනුබද්ධිත අර්ධ-නිල තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය, ඡායාරූපයක් ප්‍රකාශයට පත් කරමින්, ප්‍රහාරයෙන් පාසල් ගුරුවරුන් 14 දෙනෙකු මිය ගොස් ඇති බව පැවසීය.
අතිරේක වාර්තාකරණය: පෝල් බ්‍රවුන්