ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
PayPal සේවා ශ්‍රී ලංකාව තුළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක ද? බලධාරීන් පවසන්නේ කුමක් ද?
- Author, තාරක සම්මාන්
- Role, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 5
PayPal සේවා පූර්ණ වශයෙන් ශ්‍රී ලංකාව තුළ දැන් ක්‍රියාත්මක බවට සමාජ මාධ්‍යවල මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
"ඔන්න එහෙනම් PayPal එකත් ආවා," එක් පරිශීලකයෙක් ලිවීය. තවත් සටහනක, PayPal is now fully operational and officially available to Sri Lanka," යනුවෙන් සඳහන් විය.
වෙනත් පරිශීලකයෙකු සඳහන් කර තිබුණේ, "වැඩේ ගොඩක් දුරට හරි, ඔක්කොම ගිහින් accounts හදන්න එපා, වැඩේ වෙන විදිහ වෙනස්, පොඩ්ඩක් ඉවසල ඉන්න," යනුවෙනි.
කෙසේ වෙතත්, තවමත් ශ්‍රී ලංකාව තුළ PayPal සේවා පූර්ණ වශයෙන් ක්‍රියාත්මක නොමැති බවටත් ඉදිරියේදී එම සේවා ක්‍රියාත්මක වනු ඇති බවටත් තවත් පිරිසක් සඳහන් කර තිබිණි.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, ශ්‍රී ලංකාවට PayPal භාවිතයෙන් ගෙවීම් සිදු කිරීමට හැකියාව පැවතිය ද, ගෙවීම් ලබා ගැනීමේ හැකියාව මේ දක්වා ලබා දීමක් සිදු කර නොතිබිණි.
ඒ අනුව, බීබීසී සිංහල මෙම ප්‍රකාශවල සත්‍ය-අසත්‍යතාව පිළිබඳව විමසා බැලීය.
'නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරලා නැහැ'
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්නගේ ප්‍රධානත්වයෙන් බදාදා (පෙබ. 25) පැවති මාධ්‍ය හමුවකදී PayPal පිළිබඳව අවධානයට ලක් වූ අතර එහිදී එම අමාත්‍යංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල අදහස් දැක්වීය.
"මේ සම්බන්ධයෙන් මම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණ සහ ගෙවීම් සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ගෙන් විමසුවා. නිලවශයෙන් ඒ අය තවම නිවේදනයක් නිකුත් කරලා නැහැ," ඔහු පැවසීය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට PayPal සේවා ලබා ගැනීමේ "යම් ප්‍රගතියක්" ඇති බව ඔහු පැවසීය.
"පෞද්ගලික බැංකු කිහිපයක් PayPal සමාගමේ මව් සමාගමත් එක්ක ඒකාබද්ධ වෙලා මෙතෙක් සීමා වෙලා තිබුණ ආමුඛ ප්‍රේෂණ (inward remittances) ලංකාව වෙත ලබා ගැනීමට තිබුණ බාධක අඩු කර ගැනීමේ සූදානම තියෙනවා. ඒක අවසන් අදියරේ තියෙනවා කියලා තමයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම් දීලා තියෙන්නේ," ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේ ය.
මහ බැංකුවේ ප්‍රතිචාරය කුමක් ද?
සමාජ මාධ්‍යවල පළ වන මෙම ප්‍රකාශ පිළිබඳව බීබීසී සිංහල ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් විමසීමක් කළේ ය.
"අපේ පැත්තෙන් එහෙම ලොකුවට මොනවත් නැහැ. සාමාන්‍යයෙන් අපි දන්නවා පාර්ශව කිහිපයක් මේකට උත්සහ දරනවා කියලා. ඒ පැත්තෙන් සාර්ථක වුණොත් ඒ අය දැනුම් දීමක් කරයි. ඒ අදාළ පාර්ශව සාර්ථක තැනකට ආවට පස්සේ ඒ අය සන්නිවේදනය කරයි," එම නිලධාරියා පැවසීය.
ඔහු තවදුරටත් සඳහන් කළේ, එම ක්‍රියාවලිය කොතෙක් දුරට සාර්ථක වී ඇතැයි ද යන්න පිළිබඳව තමන්ට නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ය.
"මේ අවස්ථාව වෙනකොටත් තාම තියෙන්නේ තිබ්බ තත්ත්වයෙන් ම යි," PayPal සේවා සම්බන්ධයත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසීය.
PayPal සේවා පූර්ණ වශයෙන් ලැබීමේ වාසි මොනවා ද?
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ මහාචාර්ය රොහාන් සමරජීව බීබීසී සිංහල සමග PayPal පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ, "බැංකු ගනුදෙනුවකට වඩා" ඒ හරහා සිදුවන ගනුදෙනු "සුමටව, අඩු වියදමකින්" කෙරෙන බව ය.
"ඔන්ලයින් ෆ්‍රීලාන්සර්ස්ලා කිව්වේ දේශ සීමා හරහා ඔවුන්ගේ මුදල් එහාට මෙහාට යද්දී ඒ අයගෙන් ඒ සේවය සඳහා අය කර ගන්න කොමිස් මුදල PayPal එකේ වාසිදායකයි කියලා," යැයි ඔහු පැවසුවේ ඔවුන් පිළිබඳව සිදු කළ පර්යේෂණයක් අනුව ඔවුන්ගේ ගැටලු ගැන 2015 වසරේ රජයට දැනුම් දුන් බව ද පවසමිනි.
"බැංකුවක් හරහා කරන ගනුදෙනු සහ ඒක අතර ගුණාත්මක වෙනසක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ," මහාචාර්යවරයා තවදුරටත් පැවසීය.
"අපි මේ ප්‍රශ්නයත් එක්ක පොරබැදුවේ මීට අවුරුදු 8කට 9කට විතර කලින්. ඒ කාලයේ ඒ සමාගමට තිබුණා අවශ්‍යතාවක් ඇමෙරිකානු රාජ්‍යයේ යම්කිසි අනුමැතියක් ගන්න. එතකොට ඒ අය ඒ අනුමැතිය අරගෙන තිබුණා ඉන්දියාව කියන ලොකු රටට. නමුත් ඒ අය කිව්වා, අපි වගේ පොඩි රටකට ඒ අයට තේරුමක් නැහැ කියලා.
"ඉතින් අපි ඒකට විවිධ විසඳුම් හොයන්න උත්සහ කළා, ඒක සාර්ථක වුණේ නැහැ. ඒ නිසා මේ ෆ්‍රීලාන්ස් සේවකයින්ට සිද්ධ වුණේ, විවිධ වක්‍ර ක්‍රමවලින් මුදල් ගෙන්න ගන්න. හැබැයි ගොඩක් අයගේ අසතුටක් තිබ්බා, මේ ක්‍රමවලින් ගෙවුම් පද්ධතියට ගෙවන්න තියෙන කොමිස් ප්‍රතිශතය වැඩියි කියලා," ඔහු වැඩිදුරටත් පැවසීය.
සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පෙන්වා දුන්නේ, ඔන්ලයින් නිදහස් සේවකයින් තමන් වෙනත් රටවල සේවාලාභීන් වෙත ලබා දෙන සේවා සඳහා මුදල් ලබා ගැනීමේදී ගැටලුවලට මුහුණ දෙන බව ය.
"ඒ අය තමන් කරන වැඩවලට මුදල් ලබා ගන්නවා. දැනටත් ඒ අය Payoneer වගේ වේදිකා තමයි පාවිච්චි කරන්නේ. එතැනදී පොඩි ප්‍රමාදයක් වෙනවා. ඉතින් මේ වගේ දෙයක් තියෙනවා නම්, ඒ මොහොතේ ම ගෙවීම් ලැබෙන්න පුළුවන්," PayPal සේවා ශ්‍රී ලංකාව තුළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමේ වාසි පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසීය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල පෙන්වා දුන්නේ, මෙම ක්‍රමවේදය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීම හරහා "උන්ඩියෙල් වැනි ක්‍රමවලින් බැහැර වී විධිමත් ක්‍රමවලින් මුදල් ලබා ගැනීම ඔස්සේ අයවිය යුතු බදු මුදල් ලබා ගැනීම රජයට වාසිදායක වන බව ය.
PayPal යනු කුමක් ද?
ඇමෙරිකානු ඊ-වාණිජ්‍ය සමාගමක් වන PayPalහි මූලාරම්භය 1998 දක්වා දිවෙන අතර Confinity සහ X.com ඒකාබද්ධ වීමෙන් පසුව 2000 වසරේදී නිල වශයෙන් PayPal ලෙස පිහිටුවන ලදී.
එය අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීම සඳහා භාවිත කරන අතර පරිශීලකයින්ට ඔවුන්ගේ PayPal ගිණුම් තම බැංකු ගිණුම් සහ ක්‍රෙඩිට් කාඩ්පත් සමග සම්බන්ධ කිරීමට හැකියාව ලබා දෙයි.
එමගින් මුදල් හුවමාරු කිරීමේ ඇනලොග් ක්‍රමවලට වඩා වේගයෙන් මාරුවීම් සහ ගෙවීම් සිදු කරයි.
PayPal වෙබ් අඩවියට අනුව, වසර 25කට අධික කාලයක් පුරා ඔවුහු රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සහ මාර්ගගත ගෙවීම් සාර්ථක කර ගැනීමට දායක වෙති.
බ්‍රිටැනිකා විශ්වකෝෂයට අනුව, PayPal ප්‍රධාන වශයෙන් ආදායම් උපයා ගන්නේ ගනුදෙනු සඳහා වෙළෙන්දන්ගෙන් සහ පාරිභෝගිකයින්ගෙන් අය කරන ගාස්තුවලිනි.
ඔවුහු තවත් ආකාරවලින් මුදල් උපයති. දේශසීමා අතර සිදුවන ගනුදෙනු, මුදල් මාරු කිරීම්, ගනුදෙනුකරුවෙකුගේ ඩෙබිට් කාඩ්පතට හෝ බැංකු ගිණුමකට මුදල් වේගවත්ව මාරු කිරීමෙන්, ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු ඔවුන් මුදල් උපයා ගන්නා වෙනත් ආකාර වේ.
මුදල් සම්බන්ධ බොහෝ තාක්ෂණික නවෝත්පාදන මෙන් PayPal ද මතභේදවලට ලක්ව තිබේ.
2015 වසරේදී, ඉරානය, කියුබාව සහ සුඩානයට එරෙහි එක්සත් ජනපද සම්බාධක උල්ලංඝනය කරමින් ගෙවීම් සඳහා අවසර දුන් බවට චෝදනා එල්ල වීමෙන් පසුව, PayPal සමාගම එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 7.7ක් ගෙවීමට එකඟ විය.
2022 වසරේදී, ස්වාධීන ප්‍රවෘත්ති ආයතන දෙකක ගිණුම්, පැහැදිලි කිරීමකින් තොරව හදිසියේ ම අවලංගු කිරීම සම්බන්ධයෙන් PayPal දැඩි ලෙස කතා බහට ලක් විය.
අවම වශයෙන් ප්‍රධාන අවස්ථා දෙකකදී PayPal වේදිකාවෙන් පරිශීලක දත්ත වෙනත් පාර්ශව අතට පත්වී තිබිණි. 2017 වසරේදී, මිලියන 1.6කට අධික ගනුදෙනුකරුවන්ගේ පෞද්ගලික තොරතුරු අවදානමට ලක්ව ඇති බව ඔවුහු හෙළි කළහ.