ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට සිදුකළ ලිංගික අපරාධය: වෛද්‍යවරියගේ දුරකතනය සොරා ගැනීමේ වරදට හිටපු සෙබළාට මාස 6ක සිර දඬුවම්
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 3
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු වෛද්‍යවරියක බරපතළ ලෙස ලිංගික අපරාධයකට ලක් කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද්ධ හමුදා සෙබළාට මාස 6ක අනිවාර්ය සිර දඬුවම් නියම කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න සඳුදා (පෙබ. 23) නියෝග කළේ ය.
ඒ, සැකකරු ඇය සතුව තිබූ ස්මාර්ට් ජංගම දුරකතනය සොරා ගැනීමේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව ය. සිර දඬුවමට අමතරව සැකකරුට රු. 1500ක දඩ මුදලක් ද නියම කෙරිණි.
තව ද වෛද්‍යවරියගේ ජංගම දුරකතනය සොරා ගෙන ගොස් සඟවා තබා ගැනීමට විත්තිකාර හිටපු හමුදා සෙබළාට ආධාර අනුබල දීමේ චෝදනාවට වරද පිළිගත් ඔහුගේ සහෝදරියකට සහ තවත් සැකකරුවෙකුට වෙන් වෙන් වශයෙන් මාස 6 බැගින් සිර දඬුවම් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම සිර දඬුවම වසර දෙකකට අත් හිටුවීමට නියෝග කළේ ය.
ඊට අමතරව ඔවුන්ට රුපියල් 1,500 බැගින් වෙන් වෙන්ව වශයෙන් දඩ ද නියම කෙරිණි.
පෙර නඩු විභාගවලදී සිදු වූයේ කුමක් ද?
වෛද්‍යවරිය බරපතළ ලිංගික අපරාධයකට ලක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා මාස 7කට ආසන්න කාලයක් අඛණ්ඩව රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර යුද්ධ හමුදා සෙබළා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර මාස තුනකට අධික කාලයක් ගත වුව ද එම ඇප කොන්දේසි සපුරාලීමට සැකකරුට මෙතෙක් හැකි වී නොමැත.
විත්තිකරුට විදෙස්ගත වීම වළක්වාලමින් තහනම් නියෝගයක් ද පනවා තිබේ.
එදින සැකකරු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට නියෝග කළ ද ඔහුට යළි රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදු වූයේ ජීව අත් බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවකට ය.
ඔහු ඩී.එන්.ඒ පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද අනුරාධපුර මූලස්ථාන පොලිසියට මීට පෙර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.
සැකකරු මීට පෙර හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කළ අතර එහිදි පැමිණිලිකාර වින්දිත වෛද්‍යවරිය ඔහු පහසුවෙන් හඳුනා ගැනීමට සමත් වූවා ය.
විත්තිකරුට ඉදිරියේදී අධිචෝදනා
මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිසිය දැනට පවත්වා ඇති විමර්ශනවල උදෘත (සටහන්) නීතිපතිවරයාගේ දැනුම් දීම මත නීතිපතිවරයා වෙත යැවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ උපපොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද අධිකරණයට දැනුම් දුන්නේ ය.
ඒ අනුව, විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරියේදී අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නියමිත ය.
සැකකරු වෙනුවෙන් කිසිදු නීතඥවරයෙක් ඉදිරිපත් නොවෙයි
පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිශානි සෙනවිරත්නගේ උපදෙස් මත උපපොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද පෙනී සිටියේ ය.
සැකකරු රිමාන්ඩ් වූ දිනයේ සිට ඇප නියම වන තෙක් ම ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනී නොසිටී ම විශේෂත්වයකි.
අගතියට පත් පාර්ශවයේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්සගේ උපදෙස් මත නීතිඥවරයෙක් පෙනී සිටියේ ය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාන්තා වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයට අනවසරයෙන් ඇතුළු වූ අයෙකු එහි සිටි වෛද්‍යවරියක ලිංගික අපරාධයකට ලක් කර තිබුණේ, ඉකුත් අවසරේ මාර්තු 10 වන දින රාත්‍රියේදී ය.
ස්ත්‍රී දූෂණයකදී දැනුම් දෙන්න
ස්ත්‍රී දූෂණයක්, කාන්තා හෝ ළමා හිංසනයක් පිළිබඳව දැනුම් දීම සඳහා ගාස්තු රහිත ක්ෂණික දුරකතන අංක කිහිපයක් හඳුන්වා තිබේ.
එම අංක මෙසේ ය.
109 - පොලිස් ළමා හා කාන්තා කාර්යංශය
1929 - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
1938 - කාන්තා කටයුතු අමාත්‍යංශය