ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වෛද්‍යවරියක දූෂණය කර මරා දැමූ ඉන්දීය ජාතිකයාට අධිකරණය දුන් දඬුවම
- Author, චෙරිලන් මෝලන්
- Role, බීබීසී, මුම්බායි
කනිෂ්ඨ වෛද්‍යවරියක දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට ඉන්දියාවේ අධිකරණයක් තීන්දු කර තිබේ.
විනිසුරුවරයා මරණ දණ්ඩනය සඳහා වූ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ නමුත් වරදකරු වූ රෝහල් ස්වේච්ඡා සේවකයෙකු වන සන්ජෝයි රෝයිට සිය ජීවිතයේ ඉතිරි කාලය බන්ධනාගාරගතව ගෙවා දැමීමට සිදුවන බව පැවසීය.
රෝයි තමන් නිර්දෝෂී බව කියා සිටි අතර තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයක අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.
වින්දිතයාගේ පවුලේ සාමාජිකයින් කියා සිටියේ, ඔහු එල්ලා මැරීමට අවශ්‍ය වූ බවත්, එම දඬුවමෙන් ඔවුන් "කම්පනයට" පත් වූ බවත් ය.
"අපි අපේ සටන දිගට ම කරගෙන යනවා, පරීක්ෂණ නවත්වන්න දෙන්නේ නැහැ... මොනවා වුණත් අපි යුක්තිය වෙනුවෙන් සටන් කරනවා," වෛද්‍යවරියගේ පියා AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.
සඳුදා (ජන:20) විනිසුරුවරයා රෝයිට දඬුවම් නියම කිරීමට පෙර ප්‍රකාශයක් කිරීමට අවසර දුන්නේ ය.
රෝයි කියා සිටියේ තමා නිර්දෝෂී බවත් නඩුවට "කොටු" කර "ව්‍යාජ ලෙස සම්බන්ධ කර ඇති" බවත් ය. ඔහු නිශ්චිත පුද්ගලයෙකු ගැන සඳහන් නොකළ නමුත් "වෙනත් පුද්ගලයින් පිරිසක් අපරාධයට සම්බන්ධ" බවට චෝදනා කළේ ය.
විනිසුරුවරයා රෝයිගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, ඔහුට එරෙහි චෝදනා අධිකරණයේදී ඔප්පු වී ඇති බැවින් ඔහු දැනටමත් වරදකරු වී ඇති බව ය.
මෙම අපරාධය සම්බන්ධයෙන් රෝයි එල්ලා මරා දැමිය යුතු බවට පැමිණිල්ල විසින් ඉල්ලා සිටිනු ලැබූ නමුත්, ඔහුගේ නීතිඥවරයා තර්ක කළේ, රෝයි පුනරුත්ථාපනය කිරීමට හෝ ප්‍රතිසංස්කරණයට සුදුසු නොවන්නේ මන්දැයි පැමිණිල්ල ඔප්පු කළ යුතු බවත් සමාජයෙන් ඉවත් කළ යුතු බවත් ය.
අධිකරණ තීන්දුව බොහෝ දේශපාලනඥයින් සහ සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ විවේචනයට ලක්ව තිබේ.
බටහිර බෙංගාල ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය මමතා බැනර්ජි පැවසුවේ, අධිකරණ නියෝගය පිළිබඳව සෑහීමකට පත් නොවන බව යි. "අපට යුක්තිය අවශ්‍ය යි. මෙවැනි අපරාධකරුවන් එල්ලා මරා දැමිය යුතු යි," ඇය මාධ්‍ය වෙත පැවසුවා ය.
තීන්දුව ප්‍රකාශයට පත්වූ වහා ම වෛද්‍යවරුන් විශාල පිරිසක් උසාවිය ඉදිරිපිට විරෝධතාවක නිරත වූයේ, වරදකරුට දැඩි දඬුවම් ලබා දෙන ලෙස බලකරමිනි.
වින්දිතයාගේ මව්පියන් පවසන්නේ, මෙම අපරාධයට සුදුසු දඬුවම මරණ දඬුවම බව ය.
"දූෂණය කරලා මරා දැම්මේ රාජකාරියේ හිටිය වෛද්‍යවරියක්. අපි කම්පාවට පත් වෙලා ඉන්නේ. මේ අපරාධය පිටිපස්සේ විශාල කුමන්ත්‍රණයක් තිබුණා," වින්දිතයාගේ මව ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා වෙත පැවසුවා ය.
සියලු වැරදිකරුවන්ට දඬුවම් ලැබෙන තුරු තම අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව දෙමාපියන් පවසා තිබේ.
ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන්ගේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ අනන්‍යතාව හෙළි කිරීම ඉන්දීය නීතිය අනුව තහනම් ය.
පසුගිය අගෝස්තු මාසයේදී කොල්කටා නගරයේ රෝහලකදී අභ්‍යාසලාභී වෛද්‍යවරියගේ ඝාතනය රට පුරා දැඩි ආන්දෝලනයක් ඇති කළේ ය.
31 හැවිරිදි ඇය රාත්‍රී වැඩ මුරයකින් පසු RG Kar රජයේ වෛද්‍ය විද්‍යාල රෝහලේ සම්මන්ත්‍රණ ශාලාවේ නිදා ගැනීමට ගොස් තිබිණි. ඇයගේ අඩ නිරුවත්, බරපතළ තුවාල ලැබූ සිරුර පසුව වේදිකාවක් අසල තිබී තවත් අභ්‍යාසලාභියෙකු විසින් සොයා ගන්නා ලදී.
මෙම අපරාධය ඉන්දියාවේ සෞඛ්‍ය සේවකයින්ගේ, විශේෂයෙන් කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පුළුල් අවධානයක් ඇති කළේ ය.
බීබීසී පුවත් සේවය දැක ඇති මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) විසින් ගොනු කරන ලද චෝදනා පත්‍රයට අනුව, රෝයි බීමත්ව රෝහලට ගොස් වෛද්‍යවරිය තනිව ම නිදා සිටිනු දැක ඇත.
මරණ පරීක්‍ෂණ වාර්තාවේ දැක්වෙන්නේ, කාන්තාවගේ ගෙළ මිරිකා මරා දමා ඇති අතර ඇය පෙරළා සටන් කළ බව පෙන්නුම් කරන තුවාල සලකුණු තිබූ බව ය.
අපරාධයෙන් දිනකට පසුව රෝයි අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු දිගින් දිගට ම චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.
කොල්කටාහි වෛද්‍යවරුන් සති ගණනාවක් පුරා වැඩ වර්ජනයක නිරත වූයේ, විමර්ශනය ප්‍රමාද කිරීමට හෝ වෙනත් අතකට හැරවීමට හවුල් වූ බවට ඔවුන් පවසන චූදිතයින්ට සහ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස බලකරමිනි.