යුක්තිය ඉටු වන තුරු වසර 32ක් බලා සිටීමට සිදුවූ ස්ත්‍රී දූෂණ සිද්ධියක වින්දිත තරුණිය

    • Author, චෙරිලන් මෝලන්
    • Role, බීබීසී, මුම්බායි

"මගේ හදවත වේදනාවෙන් පිරිලා තියෙන්නෙ. එක සිද්ධියකින් මගේ ජීවිතය විනාශ වුණ හැටි මතක් වෙනකොට අදටත් මට ඇඬෙනවා."

ඒ, 1992 වසර යි. සුෂ්මා* (සැබෑ නම නොවේ) පැවසුවේ, ඇය දන්නා හඳුනන පුද්ගලයෙකු වීඩියෝ පටයක් නැරඹීමට යැයි කියමින් ඇයව අතහැර දැමූ ගබඩාවකට රැගෙන යන විට ඇය 18 හැවිරිදි වියේ පසුවූ බව ය. එහිදී, පිරිමින් 6ක් 7 දෙනෙකු ඇය බැඳ දමා, දූෂණය කර, එහි ඡායාරූප ගෙන තිබිණි.

එම පිරිස රාජස්ථාන් ප්‍රාන්තයේ අජ්මර් නමැති නගරයේ, ධනවත් සහ බලපෑම් කළ හැකි පවුල් කිහිපයකට අයත්වූවන් වූහ.

"එයාලා මාව දූෂණය කළාට පස්සෙ, එක් කෙනෙක් මට රුපියල් 200ක් දුන්නා ලිප්ස්ටික් ගන්න. මම සල්ලි ගත්තෙ නෑ," ඇය පැවසීය.

පසුගිය සතියේ, එනම්, වසර 32කට පසු, ඇයව දූෂණයට ලක් කළ පුද්ගලයින්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරමින් අධිකරණ නියෝගයක් නිකුත් වූ බව සුෂ්මා දුටුවේ ය.

"මගේ වයස දැන් අවුරුදු 50ක්. අන්තිමට මට දැනෙනවා මට යුක්තිය ඉටු වුණා කියලා," ඇය පැවසීය. "ඒත් ඒකෙන් මට නැතිවුණ දේවල් සියල්ල ආපසු ගන්න බැහැ."

තමාට සිදු වූ දේ නිසා සමාජයෙන් වසර ගණනාවක් අපවාද සහ උපහාස විඳ දරා ගත් බවත්, ඇගේ ස්වාමි පුරුෂයන් ඇගේ අතීතය දැන ගැනීමෙන් පසු, සිය විවාහයන් දෙක ම දික්කසාදයෙන් අවසන් වූ බවත් ඇය පැවසුවා ය.

1992 වසරේදී මාස කිහිපයක් තිස්සේ අජ්මර් නගරයේ ස්ථාන කිහිපයක බලවත් පිරිමින් පිරිසක් විසින් දූෂණය කර බ්ලැක්මේල් කරන ලද පාසල් සිසුවියන් වූ වින්දිතයින් 16 දෙනාගෙන් සුෂ්මා ද කෙනෙකි. මෙම සිද්ධිය විශාල ආන්දෝලනයකට තුඩු දුන් අතර දැවැන්ත විරෝධතා ද පැවැත්විණි.

පසුගිය සතියේදී, චූදිතයින් 18 දෙනාගෙන් 6 දෙනෙකුට අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේ ය. ඔවුන් 6 දෙනා නම්: නෆීස් කිෂ්ටි, ඉක්බාල් භාත්, සලීම් කිස්ටි, සයෙඩ් ජමීර් හුසේන්, ටාසන් යනුවෙන් හැඳින්වූ නසීම් සහ සුහේල් ඝානි අයයි.

ඔවුන් අපරාධයට වරදකරුවන් බව පිළිගෙන නැති අතර, ඔවුන්ගේ නීතිඥයින් පැවසුවේ, අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් ඉහළ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව ය.

ඉතිරි චූදිතයින් 12 දෙනාට සිදුවූයේ කුමක් ද?

1998 වසරේදී 8 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ නමුත්, ඉහළ අධිකරණයක් විසින් ඉන් සිව් දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලද අතර අනෙක් සිව් දෙනාගේ සිර දඬුවම් කාලය වසර 10 දක්වා අඩු කරන ලදී.

ඉතිරි සිව් දෙනාගෙන් එක් අයෙකු සිය දිවි නසා ගත්තේ ය. තවත් චූදිතයෙකුට 2007 වසරේදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ අතර, වසර 6කට පසු නිදොස් කොට නිදහස් කරන ලදී. එක් අයෙක් සිද්ධියට අදාළ සුළු නඩුවකට වරදකරු වූ නමුත් පසුව නිදොස් කොට නිදහස් කරන ලද අතර තවත් එක් විත්තිකරුවෙක් තවමත් සැඟවී සිටියි.

"අගෝස්තු 20 වෙනි දා දුන්න තීන්දුව යුක්තිය ඉටුවීමක් කියලා කියන්න පුළුවන් ද? නඩු තීන්දුවක් කියන්නේ යුක්තිය ඉටු වීමක් නෙවෙයි," මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටිමින් සිද්ධිය පිළිබඳව ලිපි සැපයූ මාධ්‍යවේදියෙකු වන සංතෝෂ් ගුප්තා පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ රෙබෙකා ජෝන් විසින් ප්‍රතිරාවය කරන ලද අදහසක් වූයේ, එය "යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ප්‍රතික්ෂේප කිරීම යි" යන්න තහවුරු කෙරෙන තවත් නඩුවක් යන්න ය.

"මෙය නීති පද්ධතියෙන් ඔබ්බට විහිදෙන ගැටලුවක් ගැන පෙන්වා දෙනවා. අපේ පීතෘ මූලික සමාජය බිඳ වැටී තියෙනවා. අපට අවශ්‍ය වන්නේ මානසික වෙනසක්, නමුත් එයට කොපමණ කාලයක් ගත වෙයි ද?"

චූදිතයන් තම බලය සහ බලපෑම් භාවිත කරමින් වින්දිතයන් රැවටීමට, තර්ජනය කිරීමට සහ ආකර්ෂණය කර ගැනීමට කටයුතු කළ බව පැමිණිල්ලේ නීතිඥ විරේන්ද්‍ර සිං රතෝර් පැවසීය.

ඔවුන් වින්දිතයින් අපහසුතාවට පත් කරන ඡායාරූප සහ වීඩියෝ ලබා ගත් අතර ඔවුන් නිහඬ කිරීමට හෝ තවත් වින්දිතයින් වැඩි කිරීමට ඔවුන් ඒවා යොදා ගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

"එක් අවස්ථාවකදී, විත්තිකරු ඔවුන් දන්නා හඳුනන පිරිමියෙකුට සාදයකට ආරාධනා කර ඔහුව බීමත් කර තිබුණා. ඔවුන් ඔහු අපහසුතාවට පත් කරන ආකාරයේ ඡායාරූප ලබා ගත් අතර ඔවුන් හමුවීමට ඔහුගේ ගැහැනු ළමයින් ගෙන්වා නොගතහොත් ඒවා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කළා," ඔහු පැවසීය. "ඔවුන් දිගට ම ගොදුරු වුණේ ඒ විදිහට."

විත්තිකරුවන්ට ප්‍රබල දේශපාලන හා සමාජ සම්බන්ධතා ද තිබිණි. ඔවුන්ගෙන් සමහරුන් නගරයේ ප්‍රසිද්ධ දර්ගා (මුස්ලිම් ආගමික සිද්ධස්ථානයක්) හා සම්බන්ධ අය වූහ.

"ඔවුන් ඒ කාලේ පැවති කුඩා නගරයේ බයිසිකල් සහ මෝටර් රථවල සැරිසැරුවා," ගුප්තා පැවසීය. "සමහර අය මේ මිනිසුන්ට බය වුණා, සමහරුන්ට ඔවුන්ට ළං වීමට අවශ්‍ය වූ අතර සමහරුන්ට ඔවුන් වගේ වීමට අවශ්‍ය වුණා."

මාස ගණනාවක් තිස්සේ නඩුව යටපත් කර තැබීමට ඔවුන්ගේ බලය සහ සබඳතා උපකාර වූ බව ඔහු පැවසීය. නමුත් සිදුවෙමින් පවතින දේ ගැන දන්නා අය අතර, ඡායාරූප සංවර්ධනය කරන ලද ඡායාරූපාගාරයේ සේවය කරන්නන් සහ ඇතැම් පොලිස් නිලධාරීන් පවා සිටියහ.

දිනක්, ඡායාරූප කිහිපයක් ගෙන තිබූ චූදිතයෙකු, ගුප්තා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළේ ය. ඔවුහු ඔහුට සූක්ෂම ලෙස බලපෑම් කළහ.

"මෙන්න නගරයේ අහිංසක තරුණ ගැහැනු ළමයින් සමග නින්දිත ක්‍රියාවල යෙදී සිටි බලවත් පිරිමි කට්ටිය - ඊට සාක්ෂිත් තිබුණා. නමුත් පොලිසියෙන් හෝ මහ ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ," ඔහු පැවසීය.

ඔහු ඒ පිළිබඳ ලිපි කිහිපයක් රචනා කළ ද, නඩුව සම්බන්ධයෙන් පුළුල් අවධානයක් ඇති කිරීමට ඒවාට නොහැකි විය.

පසුව, දිනක, ඔහුගේ පුවත්පත "නිර්භීත තීරණයක් ගත්" බව ඔහු පැවසීය.

එහිදී, එම පුවත්පත ප්‍රකාශයට පත් කර තිබුණේ, ඉඟටිය දක්වා නිරුවතින් සිටි තරුණියක තම පියයුරු සිප ගනිමින් සිටි පිරිමින් දෙදෙනෙකු අතර තදවී සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයකි. එක් අයෙක් කැමරාව දෙස බලා සිනාසෙමින් සිටියේ ය. තරුණියගේ මුහුණ පමණක් බොඳ කර තිබිණි.

එම ලිපිය හේතුවෙන් නගරය කැළඹී ගියේ ය. ජනතාව කෝපයට පත්වූ අතර, දින කිහිපයක් පුරා පැවති විරෝධතා හේතුවෙන් නරගය අකර්මණ්‍ය විය. කෝපය ලැව් ගින්නක් සේ රාජස්ථාන් ප්‍රාන්තය පුරා පැතිරී ගියේ ය.

"අවසාන වශයෙන්, රජයෙන් යම් නිශ්චිත ක්‍රියාමාර්ගයක් ගත්තා. පොලිසිය විත්තිකරුට එරෙහිව ස්ත්‍රී දූෂණය සහ තර්ජනය කිරීමේ නඩුවක් ගොනු කරලා ප්‍රාන්තයේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට [CID] භාර දුන්නා," රතෝර් පැවසීය.

විත්තිකරුවන්ගේ උපක්‍රම ප්‍රමාද කිරීම සහ අධිකරණ පද්ධතිය තුළ ඇති පද්ධතිමය ගැටලු ඇතුළු කරුණු කිහිපයක් නිසා නඩු විභාගය වසර 32ක් තිස්සේ ඇදී ගිය බව රතෝර් පැහැදිලි කළේ ය.

1992 වසරේදී පොලිසිය මූලික චෝදනා ගොනු කරන විට, විත්තිකරුවන්ගෙන් හය දෙනෙකු - පසුගිය සතියේ වරදකරුවන් වූ - සැඟවී සිටි නිසා ඔවුන්ව අත්හැර දමන ලදී.

2002 වසරේදී පොලිසිය එම චූදිතයින් 6 දෙනාට එරෙහිව චෝදනා ගොනු කරන විටත් ඔවුන් සැඟව සිටි බැවින් මෙය වැරදීමක් බව රතෝර් විශ්වාස කරයි. ඔවුන්ගෙන් දෙදෙනෙකු 2003 වසරේදී ද, තවත් අයෙකු 2005 වසරේදී ද, තවත් දෙදෙනෙකු 2012 වසරේදී ද අත්අඩංගුවට ගෙන ඇති අතර, අවසන් පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ 2018 වසරේදී ය.

විත්තිකරුවෙකු අත්අඩංගුවට ගත් සෑම අවස්ථාවකදී ම, විත්තිකාර පාර්ශ්වයෙන් වින්දිතයන් සහ පැමිණිල්ල විසින් සාක්ෂි දීමට ඉදිරිපත් කරන ලද සාක්ෂිකරුවන් නැවත කැඳවමින් නැවත අලුතින් නඩු විභාගය ආරම්භ විය.

"නීතිය අනුව, සාක්ෂිකරුවන් සාක්ෂි දෙන විට විත්තිකරුට අධිකරණයේ පෙනී සිටීමට අයිතියක් තියෙන අතර ඔවුන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමට විත්තිකරුට අයිතියක් තියෙනවා," රතෝර් පැහැදිලි කළේ ය.

මෙමගින් වින්දිතයින් නැවත නැවතත් තම කම්පනයෙන් මිදීමේ උත්සහය දුෂ්කර තත්ත්වයට පත් විය.

දැනට වයස 40 සහ 50 ගණන්වල පසුවන වින්දිතයින්, දූෂණයට ලක්ව වසර ගණනාවකට පසුව, උසාවියට ​​කැඳවන්නේ මන්දැයි විමසමින් විනිසුරුවරයාට කොපමණ වාරයක් කෑ ගැසුවේ දැයි රතෝර් සිහිපත් කළේය.

කාලය ගෙවී යද්දී, සාක්ෂිකරුවන් සොයා ගැනීම පොලිසියට ද අභියෝගයක් විය.

"බොහෝ දෙනෙකුගේ ජීවිත ඉදිරියට ගිය නිසා ඔවුන්ට මේ නඩුවට සම්බන්ධ වෙන්න ඕන වුණේ නැහැ," රතෝර් පැවසීය.

"මේ වෙද්දිත් එක් විත්තිකරුවෙක් හැංගිලා ඉන්නේ. ඔහුව අත්අඩංගුවට ගත්තොත් හෝ අනෙක් විත්තිකරු තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයකට අභියාචනයක් ඉදිරිපත් කළොත් වින්දිතයන් සහ සාක්ෂිකරුවන් නැවත සාක්ෂි දීමට කැඳවනවා."

විත්තිකරුවන් හය දෙනා වරදකරුවන් කිරීමට සාක්‍ෂි දෙමින් ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කළ වින්දිතයන් තිදෙනාගෙන් එක් අයෙකු වන සුෂ්මා, තමන් සත්‍යය පවසන හෙයින් තමන් අත්විඳි දුක්ඛිත සිද්ධිය ගැන මාධ්‍යයට හෙළිදරව් කළ බව පැවසුවා ය.

"මම මගේ කතාවේ කිසි ම වෙනසක් කළේ නැහැ. මේ මිනිස්සු මට එහෙම කරනකොට මම අහිංසක පුංචි දරුවෙක්. ඒ සිද්ධිය මගේ ජීවිතයේ ඔක්කොම පැහැර ගත්තා. මට දැන් නැති වෙන්න දෙයක් ඉතිරි වෙලා නෑ," ඇය පැවසීය.

*නම වෙනස් කර ඇත. ස්ත්‍රී දූෂණයකට ගොදුරු වූවෙකුගේ අනන්‍යතාව හෙළි කිරීමට ඉන්දීය නීති යටතේ ඉඩක් නැත.